‘උතුරේ කඩු කල්ලි හමුදා බුද්ධි අංශයේද?’ උත්තර නොදී ඇමැති පැන යයි | VIDEO

0
67

Sagala Avaa press

යතුරු පැදි වල නැගී කඩු ගෙන යාපනය බිය වද්දන කල්ලි හමුදා බුද්ධි අංශයේ බවට දෙමළ ජනතාව නගන චෝදනා වල සත්‍යයක් ඇතිදැයි කළ විමසීමකට පිළිතුරු නොදී නීතිය හා සාමය භාර අමාත්‍ය වරයා මාධ්‍යවේදීන් සමග පැවති සාකච්ඡාවකින් නැගිට ගියේය.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේ යාපනයේ සරසවි සිසු මරණ සහ උතුරේ තත්වය ගැන නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායක දැක්වූ අදහස් පැහැදිලි කර ගැනීම සඳහාය.

“පළාතේ ක්‍රියාත්මක වන යතුරු පැදි කල්ලි ගැන ඔබ කතා කළා. බොහෝ දෙමළ පිරිස් අපට කියා තිබෙන්නේ මෝටර් සයිකල් කල්ලි ගොඩක් තියෙන එක ඇත්තයි. ඒ අයට කියන්නේ හමුදා බුද්ධි අංශය කියලයි. ඒගැන ඔබේ ප්‍රතිචාරය කුමක්දැ,” යි මාධ්‍යවේදියකු විමසද්දී අමාත්‍යවරයා නැගිට ගියේය.

“ඒකෙ අදහස ඔව් ද, නැද්ද?” යි මාධ්‍යවේදියා විමසද්දී සභාවෙන් පිටව යන ඇමතිවරයා පිළිතුරු දුන්නේ “මං මොකවත් කීවේ නෑ,” යනුවෙනි.

මැති ඇමැති සිනා

මාධ්‍ය හමුව පවත්වමින් සිටි ගයන්ත කරුණාතිලක, කරු පරණවිතාන, සහ සුජීව සේනාසිංහ යන මැති ඇමතිවරුන් සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ඇමැති නැගිට යාමට සිනහසෙමින් ප්‍රතිචාර දක්වනු දකින්නට ලැබුනි.

නීතිය හා සාමය භාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියා තිබුනේ ‘ආවා’ නමින් හැඳින්වෙන කඩු ගත් යතුරු පැදි කල්ලියක සාමාජිකයන් යයි සැක කොට පොලිසිය යාපන සරසවියේ විජයරාජා සුලක්ෂන් සහ නඩරාසා ගජන් සිසුන් දෙදෙනාට වෙඩි තබා ඇති බවයි.

සැරයන් පී එස් නවරත්න සහ කොස්තාපල් නිමල් බණ්ඩාර යන ජාතික බුද්ධි කාර්යාංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනා යාපනයේ චුන්නාකම් නගරයේදී කපා කොටා තුවාල කිරීමේ වගකීම ‘ආවා’ නම් සංවිධානයක් විසින් භාරගන්නා බව සඳහන් පෝස්ටර් යාපනය නගරයේ අලවා තිබෙනු දක්නා ලදී.

කෙසේ වෙතත්, ලක්ෂ එකහමාරක හමුදා බලඇණියක් රඳවා ඇති උතුරේ එවැනි කල්ලි ක්‍රියාත්මක වීමේ හැකියාව ගැන මහ ඇමැති සී වී විග්නේස්වාරන් විමතිය පල කොට තිබුනි.
http://www.radiogagana.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here