එජාප සම්මේලනයේදි යෝජනා 6ක් සම්මත කර ගනී.!

0
165

IMG-20191003-WA0030එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය අද (ඔක්තෝබර් 03 වන දින ) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස යෝජනා කරන ලද අතර, එය ඇතුළුව යෝජනා 6ක් ඉදිරිපත් කොට සම්මත කරගන්නා ලදී

2019 ඔක්තෝබර් 03 දින කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී රැස්වූ එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයේදී සම්මත කරගනු ලැබූ යෝජනා:

යෝජනා අංක 1: (පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.)
2019 ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීමටත්, එක්සත් ජාතික පෙරමුණේ සියළු පක්ෂ සහ අපගේ ප්‍රතිපත්ති අනුමත කරන සියළු පාර්ශ්වයන්ගේ සහ පුද්ගලයන්ගේ සහයෝගය පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා ගැනීමටත් මෙම සම්මේලනය යෝජනා කරන්නීය.

යෝජනා අංක 2: (පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.)

2019 සැප්තැම්බර් 29 දින කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කරන ලද; “1. බලය බෙදා හැරීම, 2. මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ සහ 3. අගමැතිවරයාගේ එකඟතාවය මත ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ධුරය ආදී අපගේ රජය විසින් ආරම්භ කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ තවදුරටත් ඉදිරියට ගෙන යාමට අපි කැපවී සිටින්නෙමු. මේ සම්බන්ධයෙන් සියළු පාර්ශ්වයන්ගේ අදහස් ද අපි සැලකිල්ලට ගන්නෙමු” යන යෝජනාව මෙම සම්මේලනය විසින් යළි තහවුරු කරන්නීය.

යෝජනා අංක 3: (පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.)
පක්ෂ ව්‍යවස්ථාවේ 8 (1) (අ ) වගන්තියට අනුව 2019 ජනවාරි 24 වනදා රැස්වූ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පක්ෂ නායක ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමට ගත් තීරණය මෙම සම්මේලනය විසින් යළි තහවුරු කරන්නීය.

යෝජනා අංක 4: (පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මගින් දින 51 ක කාලයක් පුරා එක්සත් ජාතික පෙරමුණ බලයෙන් ඉවත් කර දැමීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා පිළිවෙත පිළිකුළෙන් යුතුව හෙළා දකින මෙම සම්මේලනය, ඒ අවස්ථාවේදී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා පෙරට පැමිණි බහුජනතාව වෙත සිය ප්‍රසාදයත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය අරභයා ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ලබා දුන් තීන්දු අගැයීමත්, එකී කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම උදෙසාත්, මහජන අයිතීන් ආරක්ෂා කිරීම සඳහාත් නො බියව සහ නො පැකිල ක්‍රියා කළ කථානායක ගරු කරු ජයසූරිය මහතා වෙත ගෞරවනීය ආචාරය පුද කළ යුතු බවත් යෝජනා කරන්නීය.

යෝජනා අංක 5: (පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.)
බහුතර බලයක් රහිත පාර්ලිමේන්තුවක් මගින් දේශය ඉදිරියට ගෙන යාමේ අභියෝගාත්මක වෑයමක නිරත වෙද්දී, යම් යම් අගතිගාමී සහ දුෂ්ඨ බලවේගයන්ගේ බලපෑම මතුවන බවත්, ඒ බලපෑම් සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කරදැමීමට පාදක වන බවත් අවබෝධ කරගෙන ඇති මෙම සම්මේලනය ඉදිරියට ඒ සකලවිධ දුෂ්ඨ බලවේග පරාජය කළ හැකි අන්දමේ බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් පිහිටුවීම සඳහා එළැඹෙන ජනාධිපතිවරනය පිමි පුවරුවක් කරගත යුතු බව යෝජනා කරන්නීය.

යෝජනා අංක 6: (පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.)
දේශපාලන පළිගැනීම් නිසා ශාරීරික සහ දේපල හානි සිදුවූ පුද්ගලයන්ගෙන් කොටසකට සෑහීමකට පත් විය හැකි වන්දි පිරිනැමීම සහ තවත් කොටසකට වන්දි ගෙවීම සඳහා කටයුතු සිදුවෙමින් පැවතුණු අතර, මෙම කුලකයට අයත් නොවන තවත් සමහරුන්ගේ පැමිණිලි අස්ථානගතව ඇති හෙයින් ඔවුනට පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා නිශ්චිත සහන කාලයක් ලබා දිය යුතු බව අවධාරණය කරමින්, රාජ්‍ය සේවයේ පළිගැනීම් වලට ලක්වූවන්ට සහන ලබා දීමේ ක්‍රියාවලිය තව තවත් කඩිනම් සහ පහසු කර ලීම උදෙසා ඒ ඒ විෂය භාර ඇමැතිවරුන්ට බලය ලබා දෙන ලෙසද, ජනාධිපතිවරණයෙන් වසරක් තුළ සියළුම පළිගැනීම් සඳහා සහන ලබා දෙන ලෙසද මේ සම්මේලනය යෝජනා කර සිටින්නීය.
මෙම යෝජනා සියල්ලම පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී එම් ස්වාමිනාදන් මහතා විසින් දෙමළ බසින්ද සම්මේලනය වෙත ඉදිරිපත් කරන ලදී.

මේ යෝජනා සියල්ලම සභාව වෙත ඉදිරිපත් කළ පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රාම්සිංහ මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර, එක් එක් යෝජනාවට පක්ෂ අය අත ඔසොවා සහයෝගය දක්වන ලෙස ඉල්ලා සිටීමෙන් අනතුරුව යෝජනා සියල්ලම වෙන වෙනම සභා සම්මත කර ගන්නා ලදී.

මෙම අවස්ථාවට පක්ෂයේ උප නායක රවි කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, සභාපති කබීර් හෂීම්, මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ඇතුළු පක්ෂ නායකයෝන්ද, හේමා ප්‍රේමදාස මහත්මිය සහ ජලනි ප්‍රේමදාස මහත්මියද සහභාගි වූහ.

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නියෝජනය කරමින් රාජිත සේනාරත්න, රවුෆ් හකීම්, රිෂාද් බදියුදීන්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් යන මහත්වරුද මේ අවස්ථාවට එක්වූහ.