එළියට පැන්න මහින්දගේ බළලා …..

0
84

එල්ටීටීඊ සංවිධානයේ යළි පිබිදීමක් පිළිබදව ආණ්ඩුව ගෙන ගිය විශාල ප්‍රචාරය සහ ‘ගෝපී’ නැමති රියදුරෙකු නව කොටි නායකයා ලෙස හදුන්වාදෙමින් ඔහු සෙවීමට යැයි සිදුකළ සෝදිසි මෙහෙයුම් උතුරේ මිලිටරි පාලනය දිගටම පවත්වාගෙන යෑමේ ආණ්ඩුවේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් සිදුකරන මවාපෑම් බවට එල්ල වූ විවේචනය අමාත්‍ය මහින්ද සමරසිංහ සනාථ කරයි.
ආරක්ෂක හමුදා උතුරෙන් ඉවත් කරන ලෙස, ජිනීවා සාකච්ඡාවලදී නොයෙක් අවස්ථාවල බටහිර රටවල් තරයේම ඉල්ලා සිටි බවත්, යුද්ධය නිමවී වසර 4-5ක තරම් කෙටි කාලයක් තුළ එය කිසිසේත්ම සිදු කිරීමේ අවකාශයක් නැති බව රජයේ ස්ථාවරය වූ බවත් ප්‍රකාශකරන අමාත්‍ය මහින්ද සමරසිංහ, ගෝපී ඇතුළු කොටි නායකයින් පිළිබද සිදුවීම නිසා රජයේ ස්ථාවරය නිවැරදි බව ජාත්‍යන්තරයට පෙන්වීමට අවස්ථාවක් ලැබී ඇති බව පෙන්වා දෙයි.
ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී සම්මත වූ යෝජනාව හා ඒ සම්බන්ධ තත්ත්වය පැහැදිලි කිරීම සදහා ඊයේ (12) මල්වතු- අස්ගිරි මහ නාහිමිවරුන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය‍ වෙත අදහස් පළකරමිනි.
එහිදී ‘ගෝපී’ නම් එල්ටීටීඊ සාමාජිකයා ඇතුළු තිදෙනෙක් හමුදාව විසින් මරා දැමීමේ සිද්ධියේ දේශපාලන වැදගත්කම මහනාහිමිවරුන් හමුවේ පැහැදිලි කර දුන් ආකාරය ඇමතිවරයා මෙසේ විස්තර කළේය.
”ගෝපී කියන ත්‍රස්තවාදීයා ඇතුළු එල්.ටී.ටීඊ. සාමාජිකයින් 3 දෙනෙක් හමුදාවෙන් වෙඩි තබා මරා දාපු ඒ සිද්ධිය පිළිබඳ පැහැදිලි කිරීමක් කරලා, මම උදාහරණයක් හැටියට ගත්තේ ජිනීවා අපි සාකච්ඡා කරන කොට බටහිර රටවල් නොයෙකුත් අවස්ථාවලදී අපෙන් තරයේම ඉල්ලා සිටියා හමුදාව ඒ ප්‍රදේශවලින් ඉවත් කරන්න කියලා. ඉතින් ඒ අවස්ථාවෙදිත් අපි රජය වෙනුවෙන් කතා කරලා කිව්වේ අවුරුදු හතරක 5ක විතර කෙටි කාලයක් තුළදී එවැනි දෙයක් කරන්න කිසිසේත්ම අවකාශය නැහැ. ඊයේ ඒ වුණ සිද්ධියෙන් අපිට දැන් ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තරටත් කියන්න අවස්ථාව ලැබිලා තියෙනවා අපි ගත්ත තීරණය හරියි කියලා.”
(ලංකා හෙරල්ඩ් ඇසුරිනි.)
mahinda s