(මීට දින කිහිපයකට උඩදි පෙරියමුල්ල මාර්ග සංඥා අසලදි ලොරි රථ රියදුරෙකුගේ අවිනිත හැසිරිම අවසන්ව තිබුනේ දරුවන් සිව්දෙනෙකුට ආදරණිය මවක් අහිමි කරමිනි.
විශේෂයෙන්ම කාන්තාවන් කිසියම් වාහනයක් පැදවාගෙන යන බොහෝ අවස්ථාවලදි ඇතැම් පිරිමි රියදුරන් හැසිරෙන්නෙ ඉතාමත් අශෝභන ලෙසිනි.එවන් අයට පාඩමක් ඉගෙන ගන්නටත් ,එවන් නොහොබිනා හැසිරිම් සහිතවුවන්ට පාඩම් උගන්වන්ටත් මේ අනුවේදනිය කෙටි සටහන උපකාරයක් වේවා.)
මීගමුව , පෙරියමුල්ල මාර්ග සංඥා ආසන්න ප්‍රදේශයේදී පසුගිය දා සිදු වූ මාරක රිය අනතුරෙන් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ දළුපත, සිරකදවුර පාරේ අංක 510/01 නිවසේ පදිංචි 59 හැවිරිදි, සිවු දරු මවක් වූ ජසින්තා අයිරානංගනී ප්‍රනාන්දු මහත්මියගේ එකම දියණිය , 21 හැවිරිදි නිලූකා ප්‍රියදර්ශණීගේ දුක් මුසු හැඩුම් ස්වරය නිවස තුල දෝංකාර දෙන්නට විය. අප ඇයට සිත් සේ තම හඩ අවදි කරන්නට ඉඩ දී නිසොල්මන්ව ඇයට සවන් යොමු කලෙමු.
මම කොහොමද ඒක ඉවසන්නේ. ? මට අවශ්‍ය වුනේ මගේ අම්මාව සංතෝෂයෙන් තියන්න. මම එයාර් ෆෝර්ට් එකේ ඩියුටි ප්‍රි ෂොප් එකක වැඩ කරන්නේ. මම වැඩට ගියදා ඉදලා මම හැම මාසෙකම ගෙදරට උවමනා දේවල් ඒත් එක්කම අම්මට අවශ්‍ය දේවලූයි මාසෙකට සැරයක් අම්මා එක්කම ගිහිල්ලා අරං දෙන්න පුරුදු වෙලා හිටියා. ඒ සෑම දෙයකින්ම මට අවශ්‍ය වුනේ මාගේ අම්මව සතුටින් තියන්නයි. ඒ තරමටම මගේ අම්මව මට වටිනවා. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක් . තාත්තා හිටියට තාත්තාගේ අතින් කෙරෙන්න ඕනේ වැඩ කටයුතුත් කෙරුණේ මගේ අම්මා අතින්. මගේ විතරක් නෙවෙයි මගේ අයියලාගේ වැඩ කටයුතු පවා අම්මා අතින් තමයි කෙරුනේ. මගේ තාත්තා වුනෙත් මගේ අම්මාමයි.
එදා මම මාසේ පඩි අරගෙන අම්මා එක්ක වෙනදා වාගේම මගේ ප්ලේෂර් ස්කූටරයෙන් අම්මාවත් නග්ගගෙන මීගමුවේ ලාෆ් සුපර්මාර්කට් එකට ගියා . මම අම්මත් එක්ක ළග එහාට මෙහාට යන්න උවමනා හන්දයි මේ ස්කූටරය ගත්තෙත් . ඒකේ තව වාරික කීහිපයක් ගෙවන්නත් තියෙනවා. අම්මා වාහන වල යන්න ටිකක් විතර බයයි. මුලදී මුලදී අම්මා බය වුනා මමත් එක්ක යන්න. පස්සේ මම කියලා කියලා. අම්මාගේ හිතේ තිබුණු බය ටිකක් අඩු කර ගත්තා. හැම මාසෙම පඩි අරගෙන ඒ වාගේ මාසෙට උවමනා කරන බඩු ගන්න අම්මයි මමයි මේ විදිහට යනවා. වෙනදා අම්මා රු.2000 ක විතර බඩු ගත්තත් මේ පාර අම්මා රු4000 ක විතර බඩු අරන් තිබුනා. ඒත් මම ඒ වෙලාවේ අම්මාගෙන් විහිලූවට වාගේ ඇහැව්වා මොකද අම්මේ මේ පාර මෙච්චර බඩු ගත්තේ කියලත් . ඊට පස්සේ මාර්කට් එකට ඇවිල්ලා එළවළුයි මාළුයි ගත්තා .
ඒ අරගෙන යනකොට දවල් 11.00ත් 11.30 අතර වෙන්න ඇති එහෙම ගිහින් පෙරියමුල්ල රේල් ගේට්ටුව හරියේදී මට ඇහුනා කනට දරා ගන්න බැරි ශබ්දයකින් ගහන වාහනයක හෝන් ශබ්දයක්. මම ඒක ඒතරම් ගනන් ගත්තේ නැහැ . මොකද මම ඒ වෙලාවේ ආවේ පාරේ අයිනෙන්ම වාගේ . ලොකු වාහනයකට වුනත් යන්න පාරේ සෑහෙන්න ඉඩ තිබුනා. වාහන තිබුනෙත් නැහැ පාරේ ඒ වෙලාවේ. ඒත් එක්කම අර හෝන් පාර කිහිප වතාවක් වැදෙන්න පටන් ගත්තා. හැබැයි ඒ ගහපු හෝන් පාර ගැහැව්වේ ඒ වාහනයට යන්න පාරේ ඉඩ නැති නිසාවත් , ඒ වාහනයේ ගමනට බාධාවක් හන්දා නෙවේ කියලා මට තේරුනා.
ඒත් එක්කම අම්මත් මට කිව්වා දුවේ පිටිපස්සෙන් එන වාහනය අමුතු විදිහකට හෝන් ගහනවා කියලා. ඒ වෙලාවේ මම අම්මට කිව්වා අපිට ප්‍රශ්නයක් නැහැනේ අම්මේ අපි පාර අයිනෙන්නේ යන්නේ කියලත්. ඒහෙම කියලා ඒ වාහනය මාගේ දකුණු පැත්තෙන් ඉස්සර කරනවා විතරයි මට මතක. ඒ ඒකකම මාව පාර අයිනට වැටුනා. මට නැගිට ගන්න බැරිව තිබුනා. මාගේ කකුල් බයික් එකට හිර වෙලා වාගෙයි මට දැනුනේ. ඒ වෙලාවේ මම බැලූවා මගේ අම්මා කෝ කියලා . එතකොට මම දැක්කා අම්මාව මම හිටපු තැන ඉදලා මීටර් 20 ක් විතර එහායින් වැටිලා ඉන්නවා. මම අමාරුවෙන් එතනට යද්දී අම්මගේ ඇස් දෙක මගේ දිහා බලාගෙන හිටියා. මම අම්මාගේ ඔලූව මාගේ ඔඩොක්කුවේ තියා ගත්තා . වටේ පිටේ මිනිස්සු කෑගහන්න ගත්තා ළමයෝ ඔතනින් මෙහාට වෙන්න කියලා. හැබැයි කවුරුවත් අපේ උදව්වටවත් , අපේ ලගටවත් ආවේ නැහැ. මගේ ටී ෂර්ට් එක ලේ වලින් පෙගිලා . මිනිස්සු කොච්චර මට එන්න එන්න කියලා කැගැහැව්වත් මම කොහොමද එතැනින් මගේ රත්තරං අම්මාව තනි කරලා එන්නේ. කොච්චර ලේ ගැවුනත් ඒ මාගේ අම්මා. ඒ ලේ කිරි කරලා පොවලා තමයි අම්මා අපිව හැදුවේ. මම කෙහොමද ඒ සිද්ධිය මගේ හිතෙන් අයින් කරන්නද ? . මට ඒ මොහොත හැම තිස්සේම මට මැවී මැවී පේනවා වාගේයි.
මම මාස 06 ක ඩිප්ලොමා කෝර්ස් එකක් කෙරුවා ඇක්වයිනාස් එකේ මාර්කටින් මැනේජ්මන්ට් ගැන. එකේ සහතිකය ගන්න තිබුනේ මේ ඇක්සිඩන්ට් එක වුන දවසට පහුවෙනිදා . අම්මා හුගාක් ආසාවෙන් හිටියා එදාට මම සාරි ඇදලා අර උපාධි ලෝගුව වාගේ ඩිප්ලොමා ලෝගුවක් දාලා ඉන්නවා බලන්න . ඒකට යන්න මම අම්මට ලස්සන බලවුස් එකක් ගෙනත් දීලා තිබුනා. ඔය දවසේ අම්මා මාත් එක්ක මීගමු යන්න ලැහැස්ති වුනේ මම අම්මට ගෙනත් දීපු ඒ ලස්සනම බ්ලවුස් එක දාගෙන. මම ඒත් ඇහැව්වා ඇයි අම්මේ මේ හොදම බලවුස් එක ඇද ගත්තේ අද ඕක දාපුවාහම හෙට කොළඹ යද්දී මොකක්ද අදින්නේ කියලා. අම්මා ඒකට හිනහා වුනා. එදාට පහු වෙනිදා තිබුන ඒ උත්සවය ගැන අම්මා හුගාක් බලාපොරොත්තුවකිනුයි, ආශාවකුනුයි හිටියේ. අම්මා හරි ආශයි මම මේ ජොබ් එක කරනවාටත් මොකද මම යුනිෆෝම් එක විදිහට සාරිය ඇදලා යනකොට අම්මට හරි ආශයි. මගේ අම්මා හරියට සතුටු වෙනවා මම සාරිය ඇ`දගෙන ඉන්න කොට. ඒ වෙලාවට අම්මා මා දිහා බලලා හරියට සතුටු වෙනවා මම දැකලා තියෙනවා. මම ගියේ මීගමුව සෙන්ට් පීටර්ස් එකට, ඒ ලෙවල් කලේ එහේ. අම්මා මට මොන තරම් ආදරේද කියනවා නම්, මොනතරම් මා ගැන සැලකිලිමත් වුනාද කියනවානම් නම් මට ඉස්කෝලෙට අමතරව ටියුෂන් පංති එකකට නෙවෙයි 2කටම යැව්වා. ගනන් වලට ටියුෂන් 02 කට යැව්වා. ඉංගී්‍රසි වලටත් ටියුෂන් 2 කටම යැව්වා . ඔය වාගෙයි අම්මා මට ඉගැන්නුවේ.
ඒත් අය්යේ අම්මා අපිව දාලා යන්න කලින් මට එක දෙයක් කියා ගන්න බැරිව ගියා අම්මට.
මට ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියලා මට කියාගන්න බැරිවයි හිටියේ.
ඒත් අම්මා මැරුණට පස්සේ මේ ඊයේ පෙරේදා තමයි මම දැනගත්තේ. අම්මා ඒක දැනගෙන ඉ`දලා තියෙනවා කියලා. මගේ යාළුවන්ගෙන් අහලා. නමුත් අම්මා මට තියෙන ආදරේට මට දුකක් දැනෙයි කියලා අම්මා ඒක දැනගෙනත් මගෙන් කවදාවත් ඒ ගැන ඇහැව්වේ නැහැ. මගේ අම්මා ඒ තරම් මට ආදරෙයි. මම අම්මට ඒක කිව්වේ නැත්තේ මට තවම වයස 21 යි ඕවාට තව කල් තියෙන නිසයි. අනේ මගේ අම්මට මට ඒක කියා ගන්න බැරි වුනා.
මගේ මේ මුළු ලෝකයම වුනු අම්මා මම ඉදිරියේදීම අපිව අත් හැරලා ගියා. මට ඒ වෙලාවේ අම්මා වෙනුවෙන් මොනවක්වත් කර ගන්න බැරි වුනා. මම ඒ තරම් අවසානාවන්ත දුවක් වුනා. මම කොහොමද අය්යේ මේ දුක වි`ද දරා ගන්නේ .
ඇය මගෙන් අසයි . පිලිතුරක් නොමැති ප්‍රශ්ණයකට මා ඇයට කෙසේ නම් පිලිතුරක් කියම් ද ? කාගේ හෝ වරදකින් ඇගේ ජිනිතය අවසන් බවත් , ජීවිතය වු කලී මෙය බවත් අස්ථීර ලෝකය තුල ස්ථීර වූ එකම දෙය මරණය වන බවත් තම ආදරනීය මව වෙනුවෙන් වැලපෙන ඇයට මම කෙසේ නම් පවසම්ද. මව නැති සොවෙන් වැලපෙන ඇය එම පිලිතුරෙන් සැහීමකට පත් කල හැකිද?
අපිට කවදාවත්ම අපිව හප්පලා මගේ අම්මව අපිට නැති කරපු අයගෙන් පලිගන්න ඕනේ නැහැ. වන්දියක් ඕනෙත් නැහැ. පුළුවන් නම් එකම එක ඉල්ලීමක් ඉස්ඨ කරන්න කියන්න.
මොකක්ද ඔයාගේ ඉල්ලීම
ඒයාලට පුළුවන් නම් මට මගේ අම්මාව ආයෙත් ගෙනත් දෙන්න කියන්න.