ඒ මුහුදට අපි ආදරෙයි..

0
196

( මුන්නකරයේ පදිංචි ජොන් සිරිල් කියන්නේ දක්ෂ රුවල් ඔරු ධීවරවයෙක් වගේම හොද ධීවර නායකයෙක්. පහත පළවන්නේ මීට වසර කීපයකට පෙර ඔහු සමගින් අප කළ කථා බහකි.)

මුල් කාලෙ ධීවර කර්මාන්තය කරන්න යාන්ත්‍රික ක්‍රම තිබුණෙ නැහැ. හැමෝම ධීවර කර්මාන්තය කරන්න පාවිච්චි කළේ ඔරු, තෙප්පම්, මාදැල්, පාරු වගේ දේවල්. ඒ මීට අවුරුදු හතලිහකට විතර ඉස්සරින්. මගේ මතකයෙ හැටියට 1960 ගණන්වලදී තමයි යාන්ත්‍රික ක්‍රමයට ධීවර කර්මාන්තය කරන්න මුලින්ම පටන් ගත්තේ. මුල් කාලේ බෝට්ටු ගෙනල්ලා ධීවරයන්ට දුන්නේ නිකම්ම වගේ.
ඉස්සෙල්ලම ගෙනාවේ අඩි 28 ක් විතර දිග ඇතුලෙ ඇංජිම හයි කරපු ලොකු බෝට්ටු. මට මතක හැටියට බෝට්ටු නිකම්ම දීලා තෙල් තව රුපියල් දාහක් විතර අතට දුන්නා. ඔරු පාරුවලින් ධීවර කර්මාන්තයේ යෙදෙන්න ඕන තරම් ඉඩ තිබුණා. හොඳ අස්වැන්නකුත් ලැබුණා. ඒ හන්දා අපි ඔරු පාරු වලින්ම කර්මාන්තයේ යෙදුනා. බෝට්ටු ගත්තේ නැහැ. මේ යාන්ති්‍රක කරණයට මුල පටන්ම අපි විරුද්ධ වුණා. ඒ යාන්ත්‍රිකරණය නිසා මුහුදට හානිවෙන බව අපට දැනුන හන්දයි.
රජය ධීවර කර්මාන්තය යාන්ත්‍රිකකරණය කරනවට විරුද්ධව අපි නඩු කිව්වා. මාලූ විකිණුවම පල්ලියෙන් බදු අයකරනවා. ඒ සල්ලි ආපහු ලැඛෙන්නෙ අපටමයි. අපි ඒ සල්ලි වලින් ආණ්ඩුවට විරුද්ධව නඩු කිව්වා. අපේ පැත්තෙන් කතා කළේ පොන්නම්බලම් මහත්තයා.
කොහොමහරි අපි නඩුව පැරදුනා.
පස්සේ අඩි 18 – 20 විතර දිග පොඩි බෝට්ටු ආවා. ඉස්සර අපි දියඹට ගිහින් අරගෙන ආවේ හොඳ ලොකු මාළු. ඒත් බෝට්ටු ආවට පස්සෙ අපි ඔක්කොම රස්සාව අත්හැරියා. දැන් ඔරුකාරයන්ට කරන්න ඉතිරිවෙලා තියෙන්නෙ ඉස්සො අල්ලන එක. ඒකටත් ගැටළුවක් ආවා. ඒ බෝට්ටු වලින් ඉස්සො අල්ලන විදිහක් ආපු හන්දා. අපි ධීවර සමිති 32 ක් විතර එකතු වෙලා ඒකට විරුද්ධව නඩු කිව්වා. සරත් ඉද්දමල්ගොඩ පියතුමා අපිට සහය වුණා. කොහොමින් කොහොම හරි ඒ නඩුවෙන් අපි දිනුවා. ඒ 1989 දී විතර.
කොහොමටත් කලපු ධීවරයන්ට තියෙන ගැටළු එන්න එන්නම වැඩි වෙනවා. ඉස්සර අපි පොඩි කාලෙ රැජිණ පාර තිබුනෙ නෑ. එතන කලපුව. දැන් කලපුව කුඩා වෙලා. කලපුවේ බෝට්ටු නවත්තන නිසා බෝට්ටුවලින් වතුරට තෙල් කාන්දු වෙනවා. ඒ වගේම කලපුව ගොඩ කරනවා.
පාරම්පරික ධීවර කර්මාන්තයෙන් අළුත් පරම්පරාව වේගයෙන් බැහැර වෙනවා. ඒත් පාරම්පරික ධීවර කර්මාන්තයේ වාසි ගොඩක් තියෙනවා. ප්‍රධාන එක තමයි පාරම්පරික ධීවර කර්මාන්තයෙන් මුහුදු විනාශ වෙන්නෙ නෑ. මුහුදත් ආරක්ෂා කරගෙන තමයි අපි රස්සා වුණේ. අනික වියදමක් ඇත්තෙත් නෑ. දැනට ඔරු 100 ක් විතර තියෙනවා. ඒ කියන්නේ පවුල් 500 ක් විතර පාරම්පරික ධීවර කර්මාන්තයෙන් යැපෙනවා. මමත් බෝට්ටු වලින් රස්සාව කළා. ඒත් ඒක වියදම් වැඩියි. ඒ නිසා මම ආපහු ඔරුවලින් කලපුවේ ඉස්සෝ අල්ලන කර්මාන්තයට බැස්සා. බෝට්ටු රස්සාවෙදි ආදායමෙන් 65% ක් විතර යන්නෙ බෝට්ටු අයිතිකාරයට. ගොඩක් වෙලාවට බෝට්ටු අයිතිකාරයා කියන්නේ ව්‍යාපාරිකයෙක්. ඒ නැතිව ධීවරයෙක් නෙවෙයි. ධීවරයට ඉතිරි වෙන්නෙ 35% ක් විතර ප්‍රමාණයක්. ඉන්ධන වලටත් ලොකු වියදමක් යනවා.
හැබැයි දැන් පාරම්පරික ධීවර කර්මාන්තය කරන්න හොඳ කදන් ඔරු හොයාගන්න නෑ. තියෙන්නෙ ෆයිබර්ග්ලාස් ඔරු. ඉස්සර දියඹෙදි ඔරුව පෙරළුනත් ඒකෙ ලොකු අවදානමක් නෑ. කොහොම හරි කඳන් ඔරුව නොගිලී තියෙනවා. දැන් තියෙන ෆයිබර් ඔරු ඉක්මනට ගිලෙනවා. ඒ නිසා ජීවිත අවදානමත් වැඩි වෙලා.
මගේ තාත්තත් ධීවරයෙක්. ඒ වගේම තාත්තගේ තාත්තත් ධීවරයෙක්. මට ළමයි පස් දෙනෙක් ඉන්නවා. කොල්ලො දෙන්නයි කෙල්ලො තුන් දෙනයි. කොල්ලො දෙන්නා කරන්නෙ පාරම්පරික ධීවර රස්සාව. දුවල බැදල ඉන්න අයත් කරන්නෙ පාරම්පරික ධීවර රස්සාව. ධීවර රස්සාවට ගහන්න තරම් හොඳ රස්සාවක් නැහැ. ඒක නිදහස් රස්සාවක්. අපිට ඕන්නම් රස්සාවට යන්න පුළුවන්. නැත්නම් නිකන් ඉන්න පුළුවන්. ඔරු කාරයෝ කවුරුවත් බැංකු වලට ණය වෙලා නෑ. සහනාධාර අරගෙන නෑ. අනික ඉස්සර මිනිස්සුන්ට සත්ව ප්‍රෝටීන ලැබුනෙ මාළු කෑමෙන්. අද ට්‍රෝලර් යාත්‍රාවලින් ඈත දියඹට ගිහින් අල්ලන මාළු සති ගණන් පරණ වෙලයි මිනිස්සුන්ට ලැඛෙන්නෙ. ඉස්සර එහෙම නෑ. හොඳ අළුත් මාළු කන්න ලැබුණා. අනික විශාල මාළු අපි ඔරු වලින් ගිහින් අල්ලගෙන ආවා. දැන් ඔරුවලට යන්න ඉඩක් නැති තරම් බෝට්ටු පිරිලා. ඉස්සර අපි රස්සාව කරන කාලේ අල්ලගෙන එන මාළුන්ව දැම්මේ පන් මළු වල. දැන් එහෙම නෑ. හැමතැනම පොලිතීන් උර. ගොඩක් දේවල් වෙනස් උනා බෝට්ටු ආවට පස්සෙ. හොරෙන් ඉතාලියට සෙනඟ පටවන්න පටන් ගත්තේ මේ බෝට්ටු හරහා. ඒ වගේම කුඩු ජාවාරම ව්‍යාප්ත වුණා.