“ඔබ නැතුව ඔබ එක්ක” නැරඹුවෙමි, ආදරය වින්දෙමි

0
72

 යුද්ධයෙන් දිනූ කිසිවෙක් නොමැත” බර්ට්‍රන් රසල්ගේ ප්‍රකාශය චිත්‍රපටිය නරඹන විට සිහියට නැගුනත් එය සියයට සියයක්ම සත්‍ය නොවේ යයි සිතුනේ ශ්‍රී ලංකාවේ යුද්ධය පවතී කාලයේදීත් පශ්චාත් යුධ සමය තුළදීත් ඉන් නොයෙක් ආකාරයේ ප්‍රතිලාභ භුක්ති විඳිමින් සිටින නිසාය. With you, Without you චිත්‍රපටිය තුලදී ප්‍රසන්න විතානගේ පෙන්වීමට උත්සහ කරන්නේ යුද්ධය නිසා දෙපාර්ශවයේම සාමාන්‍ය ජන ජීවිතය අවුලෙන් අවුලට පත්වී ඇති බවය. යුද්ධයෙන් තම සහෝදරයින් සහ දෙමව්පියන් අහිමි වූ දෙමළ කාන්තාවක් සහ හිටපු හමුදා සොල්දාදුවෙකු අතර ඇතිවන ප්‍රේම සම්බන්ධය තුල වතුකරයේ ජනයා මුහුණ දෙන සමාජ ආර්ථික ගැටළු මෙන්ම යුද්ධය විසින් මිනිසුන්ගේ විඥානයට ඇති කර ඇති අනිටු බලපෑම් අප හමුවේ දිග හැර පෙන්වීමට ප්‍රසන්න සාර්ථක උත්සාහයක නිරත වන බව මගේ අදහසයි.

Oba-Nathuwa-Oba-Ekkaවර්තමානයේ ලාංකීය සමාජයේ ජනප්‍රිය මතය වන්නේ හමුදාවෙන් පැන ආ සෙබළුන් ස්ත්‍රී දුෂණ, මිනී මැරුම් සහ මංකොල්ලකෑම් වැනි විවිධ අපරාධ වලට සම්බන්ධ වන, රළු මිනිසුන් බවයි. එහි යම් සත්‍යතාවයක් නැතුවාම නොවේ. නමුත් ඊට ප්‍රතිවිරුද්ධව, යුධ මානසිකත්වයෙන් මිදී ආදරය, සෙනෙහස වැනි මනුෂ්‍ය හැගීම් වලින් පිරි සාමාන්‍ය මිනිසුන් බවට පත්වීමට අරගල කරන පුද්ගලයින්ද සිටින බව චිත්‍රපටිය තුලින් අපට පෙන්නීමට උත්සහ කරයි. තරුණිය සහ තරුණයා අතර ඇතිවන සම්බන්ධතාවය නිරුපනය කෙරෙන්නේ ජාති ආගම් බේද ඉක්මවා යන ආදරය සහ සෙනෙහස උත්කර්ෂයට නංවමිනි. චිත්‍රපටිය අවසානයේ ප්‍රේක්ෂකයා ප්‍රේක්ෂකාගාරයෙන් නික්ම යන්නේ අන්‍ය ජාතීන් හෙලා දකින, ඔවුන්ට එරෙහිව වෛරය වපුරවන මානසිකත්වයකින් නොව, එකිනෙකාගේ දුෂ්කරතාවයන් සහ මානසිකත්වයන් සහානුකම්පිතව (Empathetic) දකින්නට පෙළෙඹෙන මානසිකත්වයකිනි. සැබෑ සංහිඳියාව යනු එයම නොවේද? ජාතක කතා, අතීත කතා පෙරටු කොට ගත් “චිත්‍රපටි” රජවුණු යුගයක, අපේ යුගයේ සිදුවුණු ඛේදවාචකයක අපට දැනුනු, තවමත් දැනෙමින් පවතින ප්‍රතිඵල සහ ඒ නිසා සාමාන්‍ය ජනයා ලෙස අප මුහුණ දෙමින් සිටින තත්වයන් පිලිබඳ කතා කෙරෙන, මනස කිසියම් දුරකට ආදරයෙන් සනහා ලන මෙවන් චිත්‍රපටියක් නැරඹීමට ලැබීම ඇත්තෙන්ම භාගයකි.

ශ්‍යාම් ප්‍රනාන්දු සහ අන්ජලි පටෙල්ගේ රංගනය ඉතාම තාත්වික සහ ප්‍රශස්ත බව මා සිතන්නේ, චිත්‍රපටය නරඹන විට මා හට දැනුන හැඟීම් නිසාය. වර්තමානයේ බොහෝ දෙනෙක් හුරු වී සිටින්නේ ඝෝෂාකාරී, වේගවත් චිත්‍රපටි වලටය. නමුත් මෙම චිත්‍රපටියේ වචන භාවිත කෙරෙන්නේ එය අත්‍යවශ්‍ය මොහොතවල් වලදී පමණි. කතාව යනු එක් සන්නිවේදන ක්‍රමවේදයක් පමණක් බවත් මුහුණේ ඉරියව්, අංග චලන සහ අනෙකුත් ක්‍රමවේද වලින්ද සන්නිවේදනය සිදුකල හැකි බව චිත්‍රපටිය අපට පසක් කරයි. සමහර වෙලාවට එවැනි ඉරියව්, වචන වලට වඩා ප්‍රබල ලෙස හැඟීම් සන්නිවේදනය කරන බැව් මගේ අදහසයි. චිත්‍රපටිය නරඹන විට ඔබ උද්වේගකර වනවා වෙනුවට තව තවත් සන්සුන් කෙරෙන අතර එමඟින් චිත්‍රපටියට පසුබිම් වන සංකීර්ණ සමාජ ගැටළු වඩාත් හොඳින් අවබෝධ කර ගතහැකි මානසික පසුබිමක් ප්‍රේක්ෂකයා තුල ගොඩ නැගීමට අධ්‍යක්ෂවරයා සමත් වේ.

චිත්‍රපටියේ නිමාව කිසියම් අධිතාත්වික ස්වරූපයක් ගත්තද එමඟින් අප කිසියම් දුරකට අපහසුතාවයකට පත් වන්නේ අප බොහෝවිට හුරුවී සිටින්නේ සතුටුදායක නිමාවාක්‌ දැකීමට නිසා බව මගේ අදහසයි. ෆියදෝර් දොස්තවෙස්කිගේ කතාවක, පිරිමියා ගණිකාවක් ඉදිරියේ වැඳ වැටෙමින් කියා සිටින්නේ “මා වැඳ වැටෙන්නේ ඔබට නොව ඔබ තුල සිටින මනුෂ්‍යයාට” බවයි. චිත්‍රපටියේ අවසාන භාගයේදී ස්වාමිපුරුෂයා තම බිරිඳ ඉදිරියේ වැඳ වැටෙමින් නොකියා කියන්නේ, “මා වැඳ වැටෙන්නේ ඔබට නොව, ඔබ තුල පවතින- මාව නැවතත් ආදරය, සෙනෙහස පිරි හැඟීම් දැනීම් සහිත ප්‍රකෘති මනුෂ්‍යයෙකු බවට පත්කළ, ජාති, ආගම් සහ අනෙකුත් සමාජ විෂමතාවයන් අතික්‍රමණය කල ආදරය සහ සෙනෙහසටයි” යයි මට සිතේ.

ශ්‍රී ලාංකික යයි ආඩම්බරෙන් කිව හැකි මෑත කාලයේ බිහිවූ අතලොස්සක් චිත්‍රපටි අතරෙන් එකක් ලෙස “ඔබ නැතුව ඔබ එක්ක” හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ.
උපුල් වික්‍රමසිංහ