එසේ කියන්නේ 2011 වසරේ මැයි මාසේ 30 වෙනිදා පොලිස් වෙඩිපහරකින් තුවාල ලබා පසුව ජුනි මස පළමුවෙනිදා ජීවිතයෙන් සමුගත් රොෂේන් චානක නම් වු නිදහස් වෙළෙඳකළාපයේ තරුණ ශ‍්‍රමිකයාගේ මවය. මේ, ඇය යුක්තිය වෙබ් අඩවිය සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡවයි.
රාෂේන් චානක ඉපදෙන විටදි ප‍්‍රසිද්ධියක් තිබුණේ නැහැ. නමුත් අද 2014 ජුනි මාසේ 01 වන විට රොෂේන් යම්කිසි ප‍්‍රසිද්ධියක් උසුලනවා. ඔහු ගැන සමාජය, විශේෂයෙන් නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් රොෂේන් ගැන කථා කරනවා. ඔබ රොෂේන්ගේ මව විධියට මේ ප‍්‍රසිද්ධිය දකින්නේ කෙසේද? ඔහු ගැන ඔබ සතුටු වෙනවාද ?
1989 සැප්තෑම්බර් මාසේ 18 වෙනිදා මට පුතෙක් ලැබුණා. ඒ රොෂේන්. අපට හරිම සන්තෝෂයි. පවුලේ අයයි ගමේ අයයි හැරුණුකොට වෙන කවුරුත් දන්නේ නැහැ තමයි. මේ වන විට මගේ පුතා ජීවිතය පරිත්‍යාගකරල තිබෙනවා. ජිවිතය පරිත්‍යාග කළේ නරක වැඩ කරලා එහෙම නෙවෙයි, රට වෙනුවෙන් රටේ කම්කරුවන් වෙනුවෙන් තමයි ජිවිතය පරිත්‍යාග කළේ. රොෂේන්ගෙ ජිවිතය අපිට අහිමි වුනා. ඒ පාඩුව පාළුව තදින්ම දැනෙන්නෙ අපිට, පවුලේ අයටයි. ඒ පාළුව පාඩුව කියා නිමකරන්න බැහැ. අපේ පවුලට තිබුණු ශත්තියෙන් කොටසක් නැතිවෙලා ගිහිං කියලා තමයි මට දැනෙන්නෙ. නමුත් මම අම්ම කෙනෙක් විධියට රොෂෙන් ගේ ජීවිතය පරිත්‍යාග කිරීම ගැන සතුටු වෙනවා.
2011 ජනවාරි මාසේදි තමයි ඔබේ පුතා නිදහස් වෙළෙඳ කළාපයේ රැුකියාවට ඇතුලූ වෙන්නෙ, මාස 04ක් වැනි ඉතාම කෙටි කාලසීමාවකින් රොෂේන්ට සිදුවෙනවා රැකියාවත් ජීවිතයත් යන දෙකම අතහැර යන්නට. රොෂේන්ට විශේෂ හේතුවක් තිබුණද නිදහස් වෙළෙඳ කළාපයේ රැකියාවක් තෝරා ගන්නට ?
රොෂේන් උසස් පෙළ විභාගය නිම කරලා, රුපියල් විසිපන්දහසක් ගෙවලා රත්මලානේ වර්ක් ස්ටඩි කෝර්ස් එකක් කළා. එයා ගෙදරදීත් තාත්තා එක්ක එකතුවෙලා ඒ වැඩම කළා. පස්සේ කෝස් එක කරලා සහතිකත් අරගෙන රැකියාවක් සොයන්න පටන් ගත්තා. නමුත් ලැබුණේ නැති නිසා යාළුවෙකුගේ මාර්ගයෙන් තමයි කළාපේ රැකියාවට ගියේ. මාස 4ක් ගියා. එයාගේ ලොකු අයියගේ වෙඩිං එකත් ලං වෙමින් තිබුණේ , මෙයාට ඕනෙ උනා ගෙදර අනික් අයත් එක්ක එකතුවෙලා ගේ හදලා සම්පුර්ණකරගන්න. එයා කිව්වා බාත්රූම් එක හදන්න බඩුටික ගෙනත් දෙන්නම් කියලා, අපේ‍්‍රල් මාසේදි ඒ බඩු ටිකත් ගෙදරට ගෙනල්ලා දැම්මා. ඒ වුනාට ඒක හදන්නවත් දකින්නවත් එයාට ඉඩක් ලැබුණේ නැහැ.
රොෂේන්ගේ මේ කෙටි කාලීන ජිවිතය දිහා ඔබ ඔහුගේ මව විධියට දුටුවේ කොහොමද ?
ස්කෝලේ කරන ව්‍යාපෘති හරිම දක්‍ෂ විධියට කරනවා. ඒ වගේම තරග වලට එහෙම ඉදිරිපත්වෙලා තෑගි අරගෙන ඇවිත් මට දෙනවා මෙන්න අම්මේ කියලා බොහෝම සතුටින්. කතෝලික වුනත් රොෂේන් තමයි වෙසක් කූඩු හදල දෙන්නේ. ඒ වගේම අහල පහළ අයටත්, හිතවත් හැමදෙනාටත් පුතා හරිම ආදරයක් තිබුණේ. කිසිම ආගම් භේදයක් නැතිව එකමුතු කමකින් වැඩ කළා. සෙල්ලම් කළා. හැමදෙනාම පුතාටත් ආදරෙයි.
2014 ජුනි මාසේ පළමුවෙනිදා, 33 වැනි වරටත් ඔබ එකම ස්ථානයක සිට ගනිමින් රොෂේන්ව සිහිපත් කරනවා. මොකක්ද මෙහි අර්ථය, එසේ කිරිමෙන් ඔබ කුමක් ද සමාජයට කියන්න උත්සාහා ගන්නේ ?
යමක් සිදුවුනාට පස්සේ බොහෝම ඉක්මනින් ඒ දේ අමතක වෙලා යන රටක් ලංකාව! නමුත් මේ සැමරීම තුළින් මම ඒවගේම අපි සියලූම දෙනා උත්සාහා කරන්නේ අර්ථසාදකයක් වෙනුවෙන් තරුණයෙක් ජිවිතය පූජා කළා කියන පණිවුඩය මිනිස්සුන්ට අමතක වෙන්නට ඉඩනොදීමටත්, මහනාම තිලකරත්න වාර්තාව ඉල්ලා සිටීමටත් ,මරණ සහතිකය ඉල්ලා සිටීමටත් යන කරුණු පදනම්කරගෙන තමයි අපි සෑම මාසෙම පළමුවෙනිදා කටුණායකදි ඒකරාශි වෙන්නෙ.
ඔබ කොහොමද රයිට් ටු ලයිෆ් ආයතනයත් එක්ක සම්බන්ධ වුණේ ?
පුතාගේ මරණෙන් මාස එකහාමාරකට පස්සේ පන්සලේ පින්කමක් තිබුණා, දොස්තර ජයලත් ජයවර්ධන මහත්මයා අපිට ඒ අවස්ථාවට ආරාධනා කරලා තිබුණා. අපි ගියා. එතනදි අපේ පුතාලා එක්ක රයිට් ටු ලයිෆ් ආයතනයේ බි‍්‍රටෝ සර් කථාකරලා තිබුණා. එතෙක් අපි මේ ආයතනය ගැන දැනගෙන හිටියේ නැහැ. පසුව එයාලා අපේ ගෙදරටත් ආවා. අපිත් එක්ක කථා බහා කරලා අපිට කිව්වා පුතාගේ සිද්ධියත් එක්ක ඉදිරිකටයුතු කරන්න කැමති නම් ඒ ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න කියලා.
නමුත් ඒ වෙනකොට රොෂේන්ගේ මරණයේ අවසන් කටයුතු සියල්ලක්ම සිදු කළේ ආණ්ඩුවේ සහ කතෝලික සභාවේ අනුග‍්‍රහයෙන්. එතකොට කොහොමද ඔබ ඒ අත්වැල කඩාගෙන මෙවැනි රාජ්‍ය නොවන සංවිධානයකට සම්බන්ධ වෙන්නේ ?
ඔව් අපිට සිදුවුණා ඒ මොහොතෙදි පවතින රජයත් එක්ක එකතුවෙලා පුතාගේ අවසන් කටයුතු සිදුකරන්න. නමුත් මරණෙන් පස්සේ නිකමටවත් අපි ගැන සොයා බලන්න ආවේ නැහැ. මෙවැනි මරණයක් සිදුවුණාද කියලවත් ඒ අයට මතක නැහැ. මගේ අනික් ළමයිට රැකියාවන් දෙනවා කිව්වා ඒවා ලැබුණෙත් නැහැ. නමුත් අයැදුම්පත් එහෙමත් දීලයි තිබුනෙ. ඒ නිසා මට හිතුනා, රයිට් ටු ලයිෆ් ආයතනයත් එක්ක එකතුවෙලා දිගටම පුතාව මතක් කිරීමක් කරන්න තිබෙනවා නම් ඒක වඩාත්ම හොඳයි කියලා. දැන් මාසෙන් මාසෙටම ඒ සිහිකිරිම අපි කරනවා.
අපිට මතකයි ආණ්ඩුපක්‍ෂයේ ප‍්‍රසන්න රණතුංග නිමල් ලංසා යන අය නොයෙක් පොරොන්දු දී තිබුණා ඔබේ නිවස සාදා දෙන්න වගේම දරුවන්ට රැකියා අවස්ථා ලබාදෙනවා කියා. ඒවගේම ආණ්ඩුවෙන් වන්දි මුදලක් ලබාදෙන්නටත්. ඒවා පොරොන්දු වු ආකාරයට සිදුවුණේ නැද්ද ?
රැකියාවල් දෙනවා කිව්වට ඒවා ලැබුණෙ නැහැ. නමුත් අපේ එක පුතෙකුට හොටෙල් පාඨමාලාවක් කරන්න කියලා ප‍්‍රසන්න රණතුංග මහත්තයා ලිපියක් දුන්න. එච්චරයි. ජනාධිපතිතුමා එන්න කියලා රුපියල් ලක්‍ෂ 10යකුත්, බී ඕ අයි එකෙන් රුපියල් ලක්‍ෂ 10යකුත් , පොලිස්පති ලක්‍ෂ 10යකුත් දුන්නා. මුදල් දෙනකොට කිව්වා ඒ මුදල්වලින් අපේ ගේ හදාගන්න කියලා. නමුත් ඒ මුදල්වලට ජීවිතයක් මිළ කරන්න බැහැ කොහෙත්ම. ඒ පාඩුව බලපාන්නේ අපිටයි.
පුතාගේ මරණය වෙලාවෙදිත් අපි ඉල්ලූ එකම ඉල්ලීම තමයි මේවගේ මරණ යළිත් කවදාවත් සිද්ධකරන්න එපා කියලා. නමුත් හලාව ධිවරයෙක් වෙඩි තියලා මැරුවා, රතුපස්වල තුන්දෙනෙක්ව ම මැරුවා. මේවගේ අපරාධ කරන්න එපා කියල ඉල්ලනවා නැවත නැවතත්. මොකද තවමත් මම දුක් වේදනා විඳින අම්මා කෙනෙක්. පුතෙක් මැරුනොත් අම්මටත් ස්වාමිපුරුෂයෙක් මැරුනොත් භාර්යාවටත් දැනෙන්නෙ පුදුම වේදනාවක්.
-මෙලනි 31/05/2014-
www.right2lifelanka.org