ඔහු වික්‍රම බාහු නම් විය ..

0
343

බාහු සහෝදරයාගේ උපන්දිනය…

මේ සටහනෙන් බොහෝ විට බාහු සහෝදරයාට කිසිවක් දැනෙන එකක්වත්, සිදුවෙන එකක්වත් නැති බව මම දන්නවා. ඒ නිසා මේ බාහුට ලියවෙන්නක් නෙවෙයි.

පුද්ගලයෙක් හැටියට බාහු ගැන අපි කාටත් වගේ ම ඔහුටමත් විවේචන තියෙන්න පුළුවන්. හැබැයි බාහු කියන්නේ අපේ කාලයේ මහා ජීවිතයක්.

බාහුට ඩිමෙන්ෂියා තමයි. හැබැයි සාමුහික ඩ්මෙන්ෂියාවක ගිලුනු සමාජයක් තුළ බාහු පට්ට ම නිරෝගී චරිතයක්;ඒ සමාජය සුවපත් කරවන්නට කැප වුණ, වැය වුණ වීරයෙක්.

‘වික්‍රමබාහු නියත වශයෙන් ම වික්‍රමබාහු ම විය’ කියලා නව සමසමාජ පක්ෂයෙන් පොතක් (ඒකනම් අමු පිස්සු පොතක්) ප්‍රකාශයට පත්කරපු දවසේ නිර්මාල් රංජිත් කීවා මෙහෙම කතාවක්. “බාහු සුවිශේෂ වෙන්නේ වමට ඉතා ම අවාසිදායක කොන්දේසි යටතේ පවතින්න වෙලා තියෙන කාලයකත් වාමාංශිකයෙක් හැටියට පෙනී ඉන්න පුළුවන්කම නිසයි”

කෙනෙක් කියන්න පුළුවන්, “යූඑන්පීයෙන් ඡන්දෙත් ඉල්ලපු බාහු මොන වාමාංශිකයෙක්ද” කියලා.

අන්න ඒ තැන තමයි බාහු හැබෑවට ම වාමාංශිකයෙක් වෙන්නේ.

“අපි සමසමාජකාරයෝ. අපි මේ යූඑන්පී එකත් එක්ක වේදිකාවල මොකද කරන්නේ කියල සමහරු අහන්න පුළුවන්” බාහු ම මේ ප්‍රශ්නයට අභිමුඛ වෙලා උත්තර දෙනව මම අනන්ත අහල තියෙනවා. ඒක බාහුල මඟමැරිය ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් ඔය ප්‍රශ්නය ඉතිරි කරගත් ඇත්තෝ ඒ පිළිතුර මඟ හැරල ගිය අයයි.

අද පෙසපෙ කට්ටිය එදා ජවිපෙන් කැඩෙද්දී ඒ ⁣ගොල්ලන්ට වාම අනන්‍යතාවයක් මත තහවුුරු වෙන්න උදව් වෙන්න බාහු ලොකු මහන්සියක් කැප කළා. ජාතික ප්‍රශ්නයට ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් දීම වාම දේශපාලනය ඇතුළේ කිසිසේත් ම මඟහරින්න බැරි පදනම කියල පැහැදිලි කරමින් රට පුරා ම ගියා. ඒත් මුල් හමුවීම් කීපයකට පස්සේ ⁣මේ කණ්ඩායම බාහු මඟහරින්න ගත්තා. බාහු ගේ මැදිහත්වීම නිසාවෙන් ස්වෝත්තමවාදි ජවිපෙ ගර්භාෂය තුළ තමුන්ව ගබ්සා ⁣වීමේ අනතුරක් ඔවුන්ට දැනෙන්න ගත්තා. එතකොට වාම පුනරුප්පත්තියක හීන, මේ ජානවලට අප්සෙට් බව දැනුනා වෙන්න ඇති.

2020 අප්‍රේල් 17 වෙනිදා ‘මඟ හැරුනු සහෝදරයෙක්’ කියල බාහු ලීනස් ගැන හරය පත්තරයට ලිපියක් ලිව්වා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නය ලංකාව වගේ සමාජයක මූලික ම ප්‍රශ්නය හැටියට බාහු විසින් විස්තර කරල තියෙනවා. පටලවගන්න ඕන නෑ; ඒ කියන්නේ ඡන්දේ තියනවද, කල්දානවද වගේ ප්‍රශ්නනම් නෙවෙයි. බාහු පෙන්නල දීල තිබුණා ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලංකාවේ ප්‍රශ්නය, මේ භූමිය මත ජීවත්වෙන හැම ප්‍රජාවක් ම, විශේෂයෙන්ම ජාතීන් මේ බිමේ හැබෑ උරුමක්කාරයන් විදියට, ලාංකේය ජාතිය විදියට සංවිධානය කරගන්න ප්‍රශ්නයයි ඒ කියලා. ඒ නිසා ප්‍රධාන ගැටුම තියෙන්නේ කොතන ද ? එක පැත්තකින් එක්සත් ජාතියක් වෙනුවෙන් විවිධ හේතු නිසා පෙනී හිටින්න සිදු වුණ ප්‍රජාතන්ත්‍රවාදීන් සහ අනෙක් පැත්තෙන් සිංහලකමට අනිත් අය යට කරගැනීම වෙනුවෙන් එක එක ස්වරූපවලින් පෙනී හිටින ජාතික සමාජවාදීන්. බණ්ඩාරනායකලගෙන් පටන්ගත් මේ ජාතික සමාජවාදී ව්‍යාපෘතීන් එක්ක සිංහල-බෞද්ධ සුබසාධක රාජ්‍යයට තිබුණ සම්බන්ධය ගැනත් ⁣බාහු මෙතැනදී ඉඟිකරනවා.

මහා සම්ප්‍රදාය ඇතුළේ ඊනියා ‘ප්‍රගතිශීලීන්’ ස්ථානගත කරගත්තේ ‘යූඑන්පී විරෝධීන්’ හැටියට. යූඑන්පීය සැලකුනේ ‘පොදු හතුරා’ හැටියට. බාහුලා අහන ප්‍රශ්නය පැහැදිලියි. එක්සත් ජාතික ප්‍රජතන්ත්‍රවාදයයි, ජාතික සමාජවාදී සිංහල රාජ්‍යයයි අතරදී ‘පොදු හතුරා’ කව්ද ? එක්සත් හෝ සමඟියක් හෝ ඕන කා එක්ක ද?

ඉතිහාසයේ තීරණාත්මක මොහොතවලදී අපට අපේ ම අනන්‍යතා පවා අතාරින්න වෙනවා. ඒක තමයි විප්ලවවාදී භාවිතාව. ඒ වගේ වෙලාවක දී ඔබ කරන දේට කවුරුවත් ප්‍රශංසා කරන එකක් නෑ. ඔබට හිමිවෙන්නේ ද්‍රෝහියෙකුගේ, පාවාදෙන්නෙකුගේ, කුළියට විකුණුනෙකුගේ අනන්‍යතාවයක් වෙන්න පුළුවන්. අපි සාමය හා ජාතික සමඟිය වෙනුවෙන් පෙනී හිටින කොට මහා සම්ප්‍රදාය තුළ අපිව හැඳින්වෙන්න ඉඩ තියෙන්නේ සාම වෙ⁣ළෙන්දන්, රට-ජාතිය පාවාදෙන්නවුන්, ඩොලර් කාක්කන් ආදි ‘ගරු නම්බු නාම’ වලින්. කවුරුවත් කැමති වෙන එකක් නෑ එහෙම හැඳින්වීමක් බාරගන්න. සාමාන්‍ය මිනිස්සුන්ට එවැන්නක් කරන්න බෑ. ඒක කරන්න පුළුවන්කම, විප්ලවවාදී භාවිතයක් වෙන්නේ අන්න ඒකයි.

බාහු, අපේ කාලයේ අන්න ඒ විදියේ ඇත්ත විප්ලවීය භාවිතයේ දීප්තිමත් ම සංකේතය නෙවෙයි නම් අඩු ගානේ එක්කෙනෙක්.

අසූඑක් අවුරුද්දක් පුරා ඔහු වැය වූණේ සාමාන්‍ය මනුෂ්‍යයෙකුට වැයවෙන්න බැරි තරම් භාවිතයකට. ඒ වෙහෙස විසින් ඔහුව ඩිමෙන්ෂියා රෝගියෙක් කරවන්නට ඇති. සමහර විට අපේ ශරීරයන් අපට නියෝග කරනවා, ‘විවේකයක් ගනින්’ කියලා. බාහුට දැන් ඒ වගේ කාලයක් වෙන්න පුළුවන්. ඔහු ලියූ, කියූ දෑත්, අපේ මතකයනුත්, වාම ප්‍රජාතාන්ත්‍රික අරගල භාවිතයේ අඛණ්ඩ මොහොතවලුත් විසින් පුළුවන් විදියට මේ හිස්තැන් පුරවාවි.

පුද්ගලිකව වගේ ම දේශපාලනිකවත් මට වුණත් බාහු එක්ක ඇති නොඑකඟතා තිබියදී ඔහු විසින් අපට දුන් අති දැවැන්ත අනුප්‍රාණය ගැන අකෘතඥ වෙන්න බැහැ.

සුව-පහසු විවේක කාලයක් ඔහුට හිමි වේවා ! ආනන්දනීය උපන්දිනයක් වේවා !

(දර්ශණ කාහිංගලගේ ෆේස් බුක් පිටුවෙනි )