ඖෂධීය ගුණැති  ‘ගල්සියඹලා’

0
105
  

     කාලෙන් කාලෙට අපේ රටේ හැදෙන රස පලතුරු බොහොමයක් විකුණන්න අරන් එන ප්‍රධාන නගරයක් තමයි මීගමුව  කියලා කියන්නේ. ඔන්න දැන් මීගමුවට ගල් සියඹලා ගෙනල්ලා තියෙනවා.මේ කාලය ගල් සියඹලා වාරය නිසා  දැන් මීගමුව නගරයේ ඇතුළු නගරය ආශ්‍රිත ප්‍රධාන පාරවල් අයින් වල මේ දවස්වල ගල් සියඹලා විකුණන කීපදෙනෙක්ම ඉන්නවා දැක ගන්න පුළුවන්.

අපි කුඩා කාලයේ අපේ අම්මලා තාත්තලා අපිට අරන් දීපු, අපි ආසාවෙන් රස වින්ද රස පලතුරක් තමයි ගල් සියඹලා කියන්නේ.
අවුරුද්දේ අගෝස්තු මාසේ ඉඳලා නොවැම්බර් විතර වෙනකන් ගල් සියඹලා වාරේ . ඉතින් මීගමුවට ගල් සියඹලා අරන් ඇවිල්ල විකුණන වෙළෙන්දෝ අතරින් දිනපතා මොරටුව ඉඳලා මීගමුවට ඇවිල්ලා ගල් සියඹලා වෙළඳාම් කරන කුමාරව මුණගැසුණේ අලුත් පාරේ මීගමුව බස් නැවතුම්පොළ ආසන්නයේ. කුමාරගේ සහායට තව එයාගේ ඥාතියෙකුත් ඉන්නවා, එයා අශෙන්. ඉතින් මේ දෙන්නා එකතු වෙලා තමයි මේ ගල් සියඹලා වෙළඳාම මේ විදිහට කරගෙන යන්නේ.කුමාරලා මේ ගල් සියඹලා ගන්නේ දඹුල්ල වෙළඳපොලේ පලතුරු තොග වෙළඳාම් කරන කෙනෙක්ගෙන්ලු. කුමාර කියන විදිහට මේ දවස්වල ගල් සියඹලා ග්‍රෑම් 100 ක්  රුපියල් 200 ක් විතර වෙනවා. කුමාරලාට මේ ගල්සියඔලා ගෙනත් දෙන ඒ  දඹුල්ලේ කෙනා ගේන ඒ ගල් සියඹලා ඔහු වැඩිපුරම ගේන්නේ සියඹලාන්ඩුව , අම්පාර සහ මොනරාගල වගේ  ප්‍රදේශවලින්.මේවා කැලෑබදව වැවෙන නිසා  මෙවා කිසිම වස විසක් නැති ස්වභාවික පලතුරක් . ඉතින් ග්‍රෑම් 100ක් රුපියල් 200ක් හරි දීලා අරගත්තට පාඩුවක් නැහැ කියලයි  කුමාරයයි අශේනුයි දෙන්නම කියන්නේ.

ඩයිලියම් ඔවොයිඩියම් ( Dialium Ovoideum ) යන උද්භිත විද්‍යා නාමයෙන් හඳුන්වන ගල් සියඹලා රනිල කුලයට අයත් ශාකයකි. ඉංග්‍රීසි භාෂාවෙන් මෙය හඳුන්වන්නේ වෙල්වට් ටැමරින්ඩ් ( Velvet Tamarind ) යනුවෙනි .   ගල් සියඹලා දෙමළ භාෂාවෙන්   හඳුන්වන්නේ” කාඩ්ඩුප්පුලි ”  ලෙසය. අපේ රටට  ආවේණික පළතුරක් ලෙස හඳුන්වන මෙය  අසල්වැසි ඉන්දියාවේ මෙන්ම ගිනිකොණ දිග ආසියාවේ ව්‍යාප්තව ඇති පලතුරක් ලෙසද පිළිගැනේ.

විටමින් සහ ඛනිජ ලබන බහුල පළතුරක් ලෙස සැලකෙන ගල් සියඹලා පොටෑසියම් අධිකව ඇති නිසා ශරීරයේ රුධිර පීඩනය නිසි ලෙස පාලනය කිරීමට උපකාරී වන බව වෛද්‍ය පතපොතේ සඳහන් වේ. එමෙන්ම යකඩ ද බහුලව ඇති නිසා රතු රුධිරානු  වර්ධනය කිරීමට මහෝපකාරී වන බවත් විටමින් බී-2 (Vitamin B-2 ) යහමින් ඇති පළතුරක් නිසාත් මිග්‍රේන් හෙවත් ඉරුවාරුදාවෙන් ඇතිවන හිසේ කැක්කුමට සහනය සැලසීමට මහෝපකාරී වන බවද වෛද්‍ය පත පොතේ සඳහන් වෙනවා. එලෙසම ඇන්ටි ඔක්සිජන් අන්තර්ගත පලතුරක් වන නිසාවෙන්ම ශරීරය ඇතිවන විවිධ රෝගාබාධ වලට ප්‍රතිශක්තිකරණය ඇතිකරලීමටත් එලෙසම තරුණ පෙනුම සහ තරුණ බව  ආරක්ෂා කිරීමට ද ඒ වගේම රුධිරයේ ඇති සීනි ප්‍රමාණය පාලනය කිරීමට ද ගල් සියඹලා වලට විශේෂ හැකියාවක් පවතින බව ආයුර්වේද පත පොත වැඩිදුරටත් අනාවරණය කරනවා. ආයුර්වේද පත් පොත වැඩිදුරටත් පෙන්වා දෙන පරිදි හෘද රෝග ඇතිවීම වළක්වා ගැනීමටත්, ශරීරයේ කොලෙස්ටෙරෝල් ඇතිවීම වැළැක්වීමටත් එලෙසම මල බද්ධය වළක්වා බඩවැලේ ඇති තුවාල සුව කිරීම ඇතුළු ශරීරයේ තවත් රෝග ගණනාවකට ගල් සියඹලා ප්‍රත්‍යක්ෂ ඖෂධයක්

ඇඹුල් රස මෙන්ම පැණි රසකින් යුත් ගල් සි‍යඹලා මතුපිට ඇති ඝණකම් පොත්ත ඉවත් කල පසු එහි මදය ආහාරයට ගන්නවා. ඒ මදය වියළි බවින් වැඩි පිටි සහිත කුඩු ස්වරූපයක් ගන්නවා.ගල් සියඹලා මද ලුණු සහ මිරිස් කුඩු  මිශ්‍ර  කර ආහාරයට ගන්නත් පුළුවන්.  සමහරවිට ගල්සියඹලා මදවල කුඩා පණුවන් සිටින නිසා සුපරික්ෂාකාරීව ආහාරයට ගැනීම වඩාත් හොඳයි

ඉතින් අපේ විද්වත් වෛද්‍යවරු පෝෂණ වේදීන් හැමදාම කියනවා වගේ  මාස ගණන් තිස්සේ පිටරටින් ගේන එක එක කල් තියාගන්න රසායන වර්ග දාලා වෙළඳපොළට ගේන අධික මිල ගණන් වලින් යුතු පලතුරු ආහාරයට ගන්නවට වඩා අපේම රටේ හැදෙන ශරීරයට ඉතාම ගුණදායක මේ ගල්සියඹලා වැනි වස විස නැති නැවුම් පලතුරු ආහාරයට ගැනීම අපේ යහපත් ශරීර සෞඛ්‍යයට ගොඩක් හිතකරයි කියන එක තමයි අවසානයේදී මතක් කරන්න තියෙන්නේ.

ඉතින් ඔබේ බාල කාලයේ රසවිඳි  ගල් සියඹලා  කියන මේ සුවිශේෂී පලතුර ඔබේ කුඩා දරුවන් තවම රස බලලා නැතුව ඇති, ඉතින් ඔබේ දරුවන් තවම  ගල් සියඹලා රස බලලා නැත්නම්  මීගමුවට ආපු වෙලාවක ගල් සියඹලා ටිකක් ගිහින් දෙන්න අමතක කරන්න එපා.