කට්ටුව බැරිද ඇල්ල ස්ටේෂන් එක වගේ හදන්න ?

0
139
මෙරටට පැමිණෙන විදේශ සංචාරකයන් මීගමුවට ආකර්ෂණය කර ගැනීමටත්, එලෙසම මීගමුව ප්‍රබල සංචාරක ගමනාන්තයක් බවට පත්කර ගැතීම සඳහාත් ඉදිරි කාලයේදී ක්‍රියාවට නැංවිය යුතු සැලසුම් පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂිත  සාකච්ඡා රැස්වීම් සහ මාධ්‍ය හමු පසුගිය දිනවලදී පැවැත්විණි.විශේෂයෙන්ම, මීගමුව  සංචාරක ව්‍යාපාරිකයන්ගේ සංගමය සහ මීගමුව සංචාරක සංවර්ධන සංගමය ආදී සංවිධාන විසින් කථිකාවන් සංවිධානය කර තිබිණි. එහිදී මීගමු පුරවරයට ඉතාමත් ආසන්නව ඇති කට්ටුව දුම්රිය ස්ථානය පිළිබඳවද වැඩි වශයෙන් අවධානයට ලක් කෙරිණි.
මීගමුව සංචාරක කලාප⁣යට ඉතාම ආසන්නවම පිහිටා ඇති දුම්රිය ස්ථානය වන්නේ ,කට්ටුව දුම්රිය ස්ථානයයි.   කටුනායක ගුවන්තොටුපළ සිට හෝ කොළඹ ප්‍රදේශයේ සිට එසේ නොමැති නම් හලාවත , පුත්තලම ප්‍රදේශයේ සිට හෝ  දුම්රියෙන් කට්ටුව දුම්රිය ස්ථානයට පැමිණ   පා ගමනින්ම  ,ඉතාම ඉක්මනින් මීගමු සංචාරක පුරවරය වෙත ළඟාවිය  හැකිය. මේ හේතුව නිසාම කට්ටුව දුම්රිය ස්ථානය මීගමු සංචාරක පුරවරයට මුලික වන ඉතා වැදගත් මෙන්ම ප්‍රයෝජනවත් දුම්රිය ස්ථානයකි.
එහෙත්   කට්ටුව ප්‍රදේශවාසීන් ඇතුළු බොහෝ දෙනෙකු  දැනට කාලයක සිට මැසිවිලි නඟන්නේ කට්ටුව දුම්රිය ස්ථානයේ විදෙස් සංචාරකයන්ට තබා මෙරට සාමාන්‍ය දුම්රිය මගියෙකුට හෝ කිසිදු පහසුකමක් නැති දුම්රිය ස්ථානයක් බවයි. මේ හේතුව නිසාවෙන්ම පසුගියදා අප කට්ටුව දුම්රිය ස්ථානයේ නිරීක්ෂණයක යෙදුනෙමු.
කට්ටුව දුම්රිය ස්ථානය යනු මීගමුව සහ කොච්චිකඩේ යන ප්‍රධාන දුම්රිය ස්ථාන මධ්‍යයේ පිහිටි උප දුම්රිය ස්ථානයකි. මෙහි මූල්‍ය කටයුතු පාලනය වන්නේ මීගමුව දුම්රිය ස්ථානයෙන් වන අතර  මෙම දුම්රිය ස්ථානය 1998 වසරට පෙර  සිල්බරන් කොට සහ ලෑලි වලින් තනා තිබූ බව ප්‍රදේශවාසීහු පවසති. කට්ටුව දුම්රිය ස්ථානය සඳහා දැනට භාවිතා කරන කුඩා ගොඩනැගිල්ල එවකට ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යවරයව  සිටි ඒ.එච්.එම් ෆවුසි මහතා විසින්1998 මාර්තු මස 05  විවෘත කර තිබේ. එතැන් පටන් දශක තුනක් හෙවත් වසර 30 කට ආසන්න කාලයක් ගතවුවද මෙහි කිසිදු අලංකරණ ක්‍රියාවලියක් හෝ නවීකරණ ක්‍රියාවලියක් සිදු වී නොමැත.
දුම්රියක් බලාපොරොත්තුවෙන් කට්ටුව දුම්රිය ස්ථානයට පැමිණ රැඳී සිටින මගීන්ට  අසුන් ගැනීමට සිදුව ඇත්තේ කිසිදු පිරිසිදුකමක් නැති, දූවිලි වලින් හා වෙනත් අපද්‍රව්‍ය වලින් ගහන මීටවසර ගණනාවකට පෙර සිටම දුම්රිය ස්ථානයේ තිබූ  බංකු වැනි අසුන් වලය.
මෙම දුම්රිය ස්ථානයට පැමිණෙන බොහෝ විදේශිකයන්  දුම්රිය පැමිනෙන තුරු බොහෝවිට අසුන් ගන්නේ දුම්රිය ස්ථානයේ සිමෙන්ති පොළොවේය. බොහෝ විට දුම්රිය ස්ථානයේ ඇති අපිරිසිදු හා අපවිත්‍ර අසුන්වල , අසුන් ගැනීම ඔවුන් ප්‍රතික්ෂේප කරති. එම අසුන්වල ඇති දූවිලි සහ වෙනත් අපද්‍රව්‍ය ඔවුන් එලෙස මෙහි අසුන් ගැනීම ප්‍රතික්ෂේප කිරීමට හේතු වී තිබේ.
එලෙසම දුම්රියකින් පැමිණි මගියෙකුට හෝ දුම්රියක් බලාපොරොත්තුවෙන් රැඳී සිටින මගියෙකුට හෝ පිපාසයක් ඇතිවුවහොත්  පානය කිරීමට පිරිසිදු පානීය ජලය , මෙම දුම්රිය ස්ථානයේ නොමැතිවීම සුවිශාල ගැටලුවකි. මෙම දුම්රිය ස්ථානයේ ඇති සින්ක් එකක් සහිත ජල කරාමය බොහෝවිට ක්‍රියාත්මක තත්වයේ නොපවතී. එය බොහෝවිට පවතින්නේ අක්‍රියවය.
එමෙන්ම කට්ටුව දුම්රිය ස්ථානයේ ඇති එකම එක වැසිකිලිය කාලයකට සැරයක් හෝ ශුද්ධ පවිත්‍ර කරනවාද යන්න සැකසහිතය. එම වැසිකිළිය භාවිතා කිරීමෙන් පසු නිසි ලෙස ජලය යොදා සෝදා හැරීමක් සිදු නොවන තරම්ය.ඒ නිසාම එම වැසිකිළිය තුළට පිවිසීමටත් නොහැකි ලෙස දැඩි දුර්ගන්ධයක් එම වැසිකිළිය අවට සිසාරා පැතිර පවතී. මේ හේතුව නිසාම බොහෝ මගීහු තම  හදිසි ශරීර අවශ්‍යතාවයන් සිදුකර ගැනීමට වැසිකිලිය අසල ඇති ගස් පඳුරු ඇති ස්ථාන වෙත යෑමට යොමු වී සිටිති. ඒ නිසාම එම ස්ථානයේ කළු පැහැති තීන්ත වලින් ” මෙහි මුත්‍රා කිරීම තහනම්” යනුවෙන්  දුම්රිය ස්ථානයේ කම්කරුවන් විසින් ලියා තිබෙනු දැකගත හැකිය.   දුම්රිය ස්ථානයේ කැලිකසල දැමීමට පවා එකදු  කසල බඳුනක් නොමැත. මේ හේතුව නිසාම දුම්රිය ස්ථානයේ අවට ප්‍රදේශයේත් , දුම්රිය මාර්ගයේත් ප්ලාස්ටික් වතුර බෝතල්, ෂොපින් බෑග් වැනි නොදිරන අපද්‍රව්‍යද එලෙසම කඩදාසි කාඩ්බෝඩ් වැනි අපද්‍රව්‍යද එක්රැස් වී ඇති ආකාරය දැකගත හැකිය.  පෙනෙන්නට ඇති මෙවන් අඩුපාඩු ගණනාවක් කට්ටුව දුම්රි ස්ථානය තුළ පවතින බව අප කළ නිරීක්ෂණය තුළ තහවුරු විය.
මෙහිදී සඳහන් කළ යුතුම අඩුපාඩුවක් ලෙස පවතින්නේ නිසි ලෙස පාලනයක් හෝ නඩත්තුවක් නොමැති දුම්රිය කාලසටහන් පූවරුවයි. එය දුම්රිය ස්ථානයක ඉතා වැදගත්ම අංගයකි. එහෙත් සමහර අවස්ථාවල එය නිසි ලෙස ක්‍රියාත්මක නොවී තිබීම දැකගත හැකිය.
මෙවැනි අඩුපාඩු ගණනාවක්ම කට්ටුව දුම්රිය ස්ථානය තුළ පවතින අතර, කට්ටුව දුම්රි ස්ථානය මෙවැනි ආකාරයකට පවත්වාගෙන යෑම නසා මීගමුව සංචාරක කලාපයට එය ඉතා අහිතකර ලෙස බලපානු ඇත.මීගමුව සංචාරක ව්‍යාපාරිකයන්ගේ සංගමයේ කමිටු සාමාජිකයෙකු වන ජානක වීරමන්ත්‍රී මහතා සඳහන් කරන්නේ මෙරට තවත් සංචාරක කලාපයක් වන ඇල්ල සංචාරක කලාපය තුළ ස්ථාපිතව ඇති ඇල්ල දුම්රිය ස්ථානය  නිදසුනක් ලෙස ගත් විට එම දුම්රිය ස්ථානය, එම සංචාරක කලාපයට අනන්‍ය වූ සංකේතයක්  බවට පත්ව ඇති බවයි. ඉතාම ආකර්ෂණීය ලෙස දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ගන්නා ලෙස විසිතුරු මල් වර්ග සහ  විසිතුරු පැළ වවා එම දුම්රිය ස්ථානය අලංකාර ස්ථානයක් බවට පත් කර ඇත
විශේෂයෙන්ම  එම දුම්රිය ස්ථානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරක මඟීන්ගේ සනීපාරක්ෂාව සහ සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කරමින් නිසි ලෙස පවිත්‍රව තබා ඇති වැසිකිලි පද්ධතියද ,එම දුම්රිය ස්ථානය දෙස් විදෙස් සංචාරකයන්ට ඉතා හොඳ පහසුකම් ඇති දුම්රිය ස්ථානයක් බවට මේ වනවිට  පත්වී තිබේ. එමෙන්ම එහි සංචාරකයන්ට පිරිසිදු පානීය ජලය නිරන්තරයෙන් සපයා දී තිබේ.  දුම්රිය කාල සටහන් ආදිය නිසි ලෙස ප්‍රදර්ශනය කරමින් සහ ඒවා නඩත්තු කරමින් සංචාරකයන්ට ඉතා හොඳ සේවාවක් සපයන දුම්ර්ය ස්ථානයක් බවට පත්කර තිබේ. ඇල්ල දුම්රිය ස්ථානයේ කැලිකසල දැමීම සඳහා වෙනම කැලිකසල බඳුන් කිහිපයක්ම දුම්රිය ස්ථානය තුළ තබා ඇත. මේ සියලු කරුණු කාරණා නිසාම දෙස් විදෙස් සංචාරකයන්ගේ විශේෂයෙන්ම විදෙස් සංචාරකයන්ගේ මෙරට ආකර්ශනීයම දුම්රිය ස්ථානයක් බවට පත් පත්වන්නට ඇල්ල දුම්රිය ස්ථානයට හැකිව තිබේ.
මීගමුව කට්ටුව දුම්රිය ස්ථානය ද ,මීගමු සංචාරක කලාපය තුළ පවතින නිසාම ඇල්ල දුම්රිය ස්ථානය මෙන් නවීකරණය කර ආකර්ෂණීය දුම්රිය ස්ථානයක් බවට  පත් කල හැකිව තිබේ.

කට්ටුව දුම්රිය ස්ථානයේ නිරීක්ෂණය සඳහා ගිය අපට නෙදර්ලන්තයේ  සිට ප්‍රථම වතාවට සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි 23 හැවිරිදි    ලොශාන් ඩියෙනාස් නමැති තරුණයෙක් මුණ ගැසිණි. ඔහු කොළඹ යෑම සඳහා දුම්රියක් පැමිණෙන තුරු කට්ටුව දුම්රිය ස්ථානයේ රැඳී සිටි අතර ඔහුද කට්ටුව දුම්රි ස්ථානය පිළිබඳව අප වෙත අදහස් දක්වන්නට විය.
ඔහු ප්‍රකාශ කළේ දුම්රිය ස්ථානයක අනිවාර්යයෙන්ම එහි යන එන දුම්රිය මඟීන් සඳහා පිරිසිදු පානීය ජලය, මෙන්ම  සෞඛ්‍ය ආරක්ෂිතව ස්ථාපිත කළ පිරිසිදු බව සහ සනීපාරක්ෂාව ප්‍රමුඛ කරගත් වැසිකිලි පද්ධතියක් තිබිය යුතු බවයි. එලෙසම එම වැසිකිලි පද්ධතීන් නිරන්තරයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව පිරිසිදුව පවිත්‍රව නඩත්තු කළ යුතු බවද ඔහු ප්‍රකාශ කලේය .එමෙන්ම දුම්රිය ස්ථානයක් කැලිකසල වලින් තොරව පිරිසිදුව පවත්වාගත යුතු බවත්, දුම්රිය ස්ථානයෙන් මගී ජනතාවට හොඳ සේවාවක් ලබා දිය යුතු බවත්. එවැනි ආකාරයක දුම්රිය ස්ථානයක් පවත්වාගෙන යෑමෙන් බොහෝ දෙනකු දුම්රියෙන් ගමන් කරන්නට පෙළඹෙන අතර එය රටේ ආර්ථිකයට ද ධනාත්මකව බලපාන බව ද ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. එමෙන්ම ඔහු විශේෂයෙන් පෙන්වා දෙන්නේ කට්ටුව දුම්රිය ස්ථානයට නිතරම විදේශ සංචාරකයන් පැමිණෙන නිසා මෙම දුම්රිය ස්ථානය නව තාක්ෂණික අංග  වලින් සමන්විතව  අද කාලයට ගැලපෙන ලෙස නවීකරණය විය යුතු බවයි. එමෙන්ම ශ්‍රී ලාංකික අනන්‍යතාවය විදහා දැක්වෙන ලෙස කට්ටුව දුම්රිය ස්ථානය ආකර්ෂණීය ස්ථානයක් බවට පත්කළ යුතු බවද ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

මේ කරුණු කාරණා නිසාම මීගමු සංචාරක කලාපය විදෙස් සංචාරකයන්ට ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමට සැලසුම් සකසන විට කට්ටුව දුම්රිය ස්ථානයටද එම සැලසුමේ ප්‍රධාන ස්ථානයක් හිමි විය යුතුව ඇත .
ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවත්, සංචාරක අමාත්‍යාංශය සහ සංචාරක මණ්ඩලයත් මීගමුව පරිපාලන ආයතනත් එක්ව කටයුතු කළ යුතු කාලය එළැඹ ඇතැයි කට්ටුව ප්‍රදේශවාසීහු ද කියති.

එලෙසම එය , සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අනාගත සැලසුම් සකස් කරන  නව ජන බලවේග රජයේද  වගකීමක් හා ප්‍රමුඛ කාර්යභාරයක්  වනු ඇති බවද සඳහන් කළ යුතුව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here