කටුනායක අහසේ වැහි වළාකුළුත් අයින් කරනවාද?

0
35

BIA

වර්ෂ 1986 දී පමණ ඉදිකළ කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන් පථය වසර 30 ක තම විසල් මෙහෙය තුළින් මේ වන විට ඉටුකර ඇති ජාතික යුතුකම ඉමහත් වටිනාකමකින් යුක්‌තය. ලක්‌ෂ 09 කට ආසන්න ගුවන් මෙහෙයුම් කටයුතු (ගොඩබැස්‌ස වීම් හා පිටව යැම්) සිදුකොට ඇති බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන් පථය මතින් එක්‌ දිනක්‌ තුළ පමණක්‌ ඉහළ අහසට නැගෙන සහ මෙරටට ගොඩ බසින ගුවන් යානා (ගුවන් වාර) ගණන 175 ක්‌ පමණ අගයකින් යුක්‌තය.

ලෝක තත්ත්වයන් සහ ජාත්‍යන්තර ගුවන් සේවා ප්‍රමිතියට අනුව වසර 10 කට වරක්‌ ගුවන් යානා ධාවන පථයක්‌ ආස්‌තරණය කළ යුතුව තිබුණත් කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සතු ධාවන පථය ඉදිකොට වසර 30 ක්‌ ගතවන තැන පවා එය පැවතියේ තමන් තුළ වූ ”ඉරිතැලීම්” ”තඩතොලු” වීම් වැනි මතුපිට හානි වසා ගැනීමට නොහැකි තත්ත්වයක්‌ තුළය.

2001 වර්ෂයේදී පමණ අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානය (ICAO) විසින් සිදුකළ ධාවන පථය පරීක්‌ෂාවේදී ඔවුන්ගේ අවසන් නිර්දේශය වී ඇත්තේ ගුවන් පථය අලුත්වැඩියාවකට ලක්‌කළ යුතු බවය. කාලය විසින් කරන ලද විවිධ කෙනෙහිලිකම් හේතුවෙන් අලුත්වැඩියාව ”නිර්දේශයට” පමණක්‌ සීමා වන බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන් පථය කාලයත් සමග තව තවත් අබල දුබල තත්ත්වයට පත්වන්නට ගන්නේ මෙරට ජාතික ගුවන් සේවයේ ඉදිරිය පවා දැඩි අවදානමකට ලක්‌කරවමින්ය.

ඉකුත් ජනවාරි මස 06 වැනිදාට යෙදුණු සුබ මොහොතින් කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ”ධාවන පථය” අලුත්වැඩියාවට ලක්‌වන්නේ එවැනි වටපිටාවකය. ලබන අප්‍රේල් මස 05 වැනි දින අලුත්වැඩියා කටයුතු නිම කිරීමට නියමිත ව්‍යාපෘතියේ වැඩකටයුතු මේ වන විට 75%ක්‌ පමණ අවසන් කර ඇති අතර ඉදිරි වැඩකටයුතු මේ වන විටත් කඩිනමින් සිදුකරමින් ඇත.

ගුවන් ධාවන පථයක්‌ ඉදිකිරීම වේවා අලුත්වැඩියා කටයුත්තක්‌ වේවා එය ඉතාමත් සංකීර්ණ කටයුත්තක්‌ය. එවැනි සංවර්ධන කටයුත්තකදී පැති කීපයක්‌ පිළිබඳ පළමුව අවධානය යොමුකළ යුතුය. විශේෂයෙන් ධාවන පථයක්‌ අලුත්වැඩියාව එළිමහන් ව්‍යාපෘතියක්‌ බැවින් කාලගුණික තත්ත්වය, සිවිල් ඉංජිනේරු අවශ්‍යතා, ගුවන් මගීන්ට සිදුවන අපහසුතා අවම කිරීම පිළිබඳ විශේෂ අවධානයක්‌ සහිතව එම කටයුතු සිදුකළ යුතු අතර එම තත්ත්වයන්ට ඉතාමත් සාර්ථක ලෙස මුහුණදෙමින් මේ වන විට ධාවන පථයේ අලුත්වැඩියා කටයුතු පවතින්නේ අවසන් අදියරේය.

Work-on-BIA-runway_av-n5fp4qxqrdey0dkb2ls956ujc0tvpmf4ocpevg6nuc

බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පවතින එකම ධාවන පථය මේ වන විට අලුත්වැඩියාවට පත් වෙමින් තිබෙන ධාවන පථය බැවින් ගුවන් ගමන් සිදුකරන අතරතුර එය අලුත්වැඩියා කිරීම ආරම්භයේ සිටම ඉමහත් අභියෝගයක්‌ වී ඇත. වත්මන් රජය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ උපදේශන කටයුතු රජය විසින් නෙදර්ලන්ඩ් එයාර්පෝට්‌ කන්සල්ටන්ස්‌ (NACO) සමාගමට භාරදෙන අතර, ඉදිකිරීම් කටයුතු භාරකරනු ලබන්නේ ජාත්‍යන්තර ඉදිකිරීම් සමාගමක්‌ ලෙස නම් දරා ඇති කැතික්‌ (CATIC) සමාගම වෙතය.

ගිවිසුම්ගත සමස්‌ත ව්‍යාපෘතියේ පිරිවැය රුපියල් බිලියන 7.02 ක අගයකින් යුක්‌තය.

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ නියමය පරිදි තෙමසක්‌ පුරා දිනකට පැය 08.00 ක පමණ කාලයක්‌ ගුවන්තොටුපළ වසා දමමින් ආරම්භ කරන ධාවන පථයේ අලුත්වැඩියාව තුළ දකින්නට ඇති සුවිශේෂි කරුණක්‌ වන්නේ මෙතෙක්‌ කලක්‌ පැවති මීටර් 60 ක පමණ පළලකින් යුත් ධාවන පථය මීටර් 75 ක්‌ දක්‌වා පුළුල් කිරීමය. එයට අමතරව මෙතෙක්‌ පැවති අඩුපාඩුවක්‌ වන නතර කිරීමේ සීමාව (Stop Point) නවීකරණය වන ධාවන පථය තුළ සලකුණු කර තිබීම එහි වන තවත් සුවිශේෂී බවක්‌ය.

මේ වන විට දෙස්‌ විදෙස්‌ ඉංජිනේරුවන්ගේ පූර්ණ අධීක්‌ෂණය සහ උපදෙස්‌ මත ඉදිවෙමින් ඇති ධාවන පථයේ අලුත්වැඩියා කටයුතු සඳහා චීන සහ ලාංකික කම්කරුවන්ගෙන් යුත් 250 ක පමණ පිරිසක්‌ අලුත්වැඩියා කටයුතුවල නිරතව ඇත. අබලන් තත්ත්වයේ පැවති ප්‍රධාන ධාවන පථය පුළුල්කොට ආස්‌තරණය කිරීමට අමතරව ධාවන පථයේ නවීන තාක්‌ෂණයෙන් යුත් ආලෝක සංඥ පද්ධති සහ පරිපථ නැවත සකස්‌ කිරීම, උප ධාවන පථයේ ක්‍ෂය වූ කොටස්‌ නැවත ආස්‌තරණය කිරීම යනාදී කටයුතු රැසක්‌ අදාළ ව්‍යාපෘතියට ඇතුළත් කොට ඇත. ධාවන පථයට නවීන විදුලි සංඥා පද්ධතියක්‌ සවි කිරීම තුළ මෙතෙක්‌ කලක්‌ වරින් වර පැනනැගුණු ගැටලුවක්‌ වන අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ගුවන් යානා ගොඩබැස්‌සවීමේ අපහසුව මඟහැරී යනු ඇත.

ගුවන් යානා ධාවන පථය අලුත්වැඩියාවේදී අනුගමනය කළ යුතු ඉහළම තාක්‌ෂණය උපයෝගි කර ගනිමින් සිදුකරන කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ධාවන පථය නිසි ප්‍රමිතියෙන් යුත් ඝර්ෂණ මට්‌ටම සහ ජලය බැසයැමේ නිවැරදි ක්‍රමවේදයට අනුව සිදු වන අතර මේ සියලු කාරණා මනා අයුරින් ඉටුකිරීම පිණිස වියළි කාලගුණික තත්ත්වයෙන් යුතු කාලපරිච්ඡේදයක්‌ තෝරාගෙන තිබීමද විශේෂ කරුණක්‌ය. මේ වන විට ගුවන් තොටුපළ අවට ප්‍රදේශ රැසක පැතිර යන දුර්මතයක්‌ වී ඇත්තේ දිගින් දිගටම වියළි කාලගුණික තත්ත්වයක්‌ පවත්වාගෙන යැම පිණිස කටුනායකට ඉහළින් ඇති අහසට කිරණක්‌ එල්ලකොට වැහි වලාකුළු ඈතට පලවා හැරීම පිණිස උත්සාහයක්‌ ගන්නා බවත්ය. එය මුළු මනින්ම වැරදි මතයක්‌ වී ඇත. කිසිසේත්ම එවැනි තත්ත්වයක්‌ නොපවතින බව අවධාරණය කර සිටි වැඩබිම භාර උසස්‌ නිලධාරියෙක්‌ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ගුවන් පථය නවීකරණය කිරීම ආරම්භයත් සමඟ විවිධ කටකථා පැතිර ගියද ඒවා කිසිදු පදනමකින් තොරව කරන ලද ප්‍රකාශ පමණක්‌ බවය. ඉකුත් 06 දා පෙරවරුවේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ධාවන පථයේ ඉදිකිරීම් ආස්‌තරණ කටයුතු පිළිබඳ සොයාබැලීම පිණිස නිරීක්‌ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී අදහස්‌ දක්‌වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ වත්මන් යහපාලන ආණ්‌ඩුව මගින් ආරම්භ කළ ගුවන් තොටුපළ ධාවන පථයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු මේ වන විටත් 75% ක්‌ පමණ අවසන් කර ඇති බවත් වැඩ අවසන් කිරීමට නියමිත දිනය වන ලබන අප්‍රේල් 06 වැනිදා වන විට ගුවන් ගමන් කටයුතු පිණිස දිවා රාත්‍රි ගුවන් තොටුපළ විවෘත කර තැබීමේ හැකියාව පවතින බවත්ය.

රටක්‌ සතුව සියලු පහසුකම් වලින් සමන්විත ජාත්‍යන්තර ගුවන් තොටුපළක්‌ පැවතීම වැදගත් වන්නේ කාරණා කීපයක්‌ හේතුවෙන්ය. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි මුළුමනින්ම මුහුදින් වට වූ රටක ජාතිය සතුව ගුවන් සේවයක්‌ පැවතීම සුවිශේෂී කරුණක්‌ වන්නේ එමගින් ජාත්‍යන්තර ගුවන් ගමන් කටයුතු අපහසුවකින් තොරව සිදුකිරීම ජාත්‍යන්තර වශයෙන් වෙළෙඳ, සංස්‌කෘතික හා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැනි කරුණු එමගින් ශක්‌තිමත්ව සිදුකරගෙන යැමට පවතින හැකියාව හේතුවෙන්ය.

එබැවින් තවත් මසකටත් වඩා අඩු කාලයක්‌ තුළ අලුතින් නවීකරණය කරන ලද ධාවන පථයක්‌ සහිත කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ මතින් ඉහළ අහසට පිවිසෙන ගුවන් යානා රටේ අභිමානය ලෝකය වෙත රැගෙන යනු ඇත.

 

උපුටාගැනීම – http://lankaaviationnews.com