කඩොල්කැලේ පිට්ටනිය මීගමුවට අහිමි කිරිමේ කුමන්ත්‍රණයක් ?

0
489

මීගමුව , සරත්චන්ද්‍ර ගුණරත්න ක්‍රීඩාපිටිය ජාත්‍යන්තර තත්ත්වයට පත් කරන බව ප්‍රකාශ කරමින් මීගමුව මහ නගරසභාවේ කොමසාරිස් වරිය වෙත ලිපියක් එවා තිබිණ . මෙම ලිපියට අත්සන් කර තිබුණේ මොහාන් ද සිල්වා නමැත්තෙකි. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ ලේකම් වශයෙනි.

මෙහිදී එජාපයේ නාගරික මන්ත්‍රී සංගීත් පෙරේරා ඇතුළු හතේ කල්ලිය ඊට එරෙහිව අදහස් දක්වා ඇත . සංගීත් පෙරේරා මන්ත්‍රී වරයා, නාමල් වේවැල් දෙනිය , සුමිත්, චාමර,කපිල,රෝෂාන්, කාංචනා ඇතුළු 7 කල්ලියට අයත් ජනතා නියෝජිතයන්ට අනුව මෙය අල්ලෙ පැලවෙන බොරුවක් මත සිදුවන අතයට ගනුදෙනුවක් සඳහා කරන පිඹුරුපත් ඇඳීමකි.

මේ ගැන සඳහන් කළ සංගීත් මන්ත්‍රී වරයා මෙහි ජාත්‍යන්තර ක්‍රීඩාපිටියකට අවශ්‍ය කොන්දේසි කිසිවක් දක්නට නැති බවත් , මෙම පිටියේ ප්‍රමාණය කුඩාවීම නිසා ක්‍රීඩාංගන පහසුකම්, වාහන නවතා තැබීමේ පහසුකම් යනාදී අවශ්‍යතාවයන් සපුරා ගත නොහැකි බවත් අවධාරණය කරන ලදී .



මෙම ක්‍රීඩාපිටිය ජාතික මට්ටමේ පාසල්වල ක්‍රීඩා පුහුණුවීම් ආදියටත් , සීමිත පිරිසකගේ ශාරීරික ව්‍යායාමයන් ආදී අවශ්‍යතාවයන් සඳහාත් භාවිතා කර ඇත . නමුත් වසර ගනනාවක් තිස්සේ සැබෑලෙසම මෙය ක්‍රීඩාපිටියක් ලෙස භාවිතා කර නැත.
මෙම ක්‍රීඩාපිටිය වෙනුවෙන් ගොඩනගා ඇති ක්‍රීඩාංගණය අද බේබද්දන් සහ කුඩුකාරයින්ගේ තිප්පොළක් බවට පත්වී ඇත . පාළුවට ගොස් ඇත. තැනින් තැන ගිනිඅඟුරු , සිගරට්කොට සහ වෙනත් අපද්‍රව්‍ය දක්නට තිබුණු අතර පිට්ටනිය අවට බියර් ටින්, අරක්කු බෝතල් ද විසුරුවා තිබිණ .



මෙම ක්‍රීඩාංගණය අවට ඝන කැලෑවකි. මෙවන් තත්ත්වයක පවතින ක්‍රීඩාපිටිය ජාත්‍යන්තර මට්ටමකට පත්කිරීම සඳහා තුන්වැනි පාර්ශවයක් ද ඈඳා ගනිමින් මේ අරඅඳින්නේ අතයට ගනුදෙනුවකට බව සංගීත් මහතා පෙන්වා දෙති.

අද අපට රටේ සම්පත් රැක ගැනීමට සිදුව ඇත්තේ පාලකයින් ගෙනි. පරිසරයද නොසළකා ඔවුන් වටිනා ජනතා දේපල තමන්ගේ හිතූමතයට අවභාවිතාවේ යොදවති. අනෙකුත් ප්‍රාදේශීය නගර පාලනය තුළද එකී අවාදර්ශය අනුගමනය කරමින් කටයුතු කරනු පෙනේ. මීගමුව නගර සභාව ඊට හොඳම උදාහරණයකි. අප ජනතාව හමුවේ මෙම ජනතා ද්‍රෝහි ක්‍රියාවන් හෙළි කරනවා සේම ඒ සඳහා පෙළ ගැසෙන ලෙස අවධාරණය කරමු.

වසර 30ක් සඳහා වලංගුවන බදු ගිවිසුමක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමය සමග එකතුවී සිදුකිරීමට මාන බලන මෙම මගඩිය ජනතාව ඉදිරියේ හෙළිදරව් කිරීම වැදගත් සමාජ මෙහෙවරකි.
සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here