කපිල චන්ද්‍රසේන, රන්ජන් රාමනායක සිටින වාට්ටුවේ !

0
89
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මේ වනවිට එම බන්ධනාගාරයේ P වාට්ටුවේ රඳවා සිටියි. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ද රඳවා සිටින්නේ එම වාට්ටුවේය.

ඔවුන් දෙදෙනා එම වාට්ටුවේ වෙන් වෙන්ව සිරමැදිරි 02 ක රඳවා සිටින බව බන්ධනාගාර ආරංචි පවසයි.

කොළඹ මැගසින් බන්ධනාගාරයේ P වාට්ටුවේ රඳවා සිටින සියලූ රැඳවියන්ට පෙරවරු 06.00 සිට පස්වරු 05 දක්වා එහි සිටින සියලූ රැඳවියන් සමග එක්ව සිටීමට අවස්ථාව හිමිවේ.

අධිකරණ නියෝගය !

ඊයේ (06) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරුණු ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳ ලබන 19 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඇප ඉල්ලා සිටියද කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් එය ප්‍රතික්ෂේප කරන ලදුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර තිබුණේ, ඔවුන් දෙදෙනා බ්‍රහස්පතින්දා (පෙබ: 06) පෙරවරුවේ සිය නීතිඥයෙකු හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වූ බවය.

කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් රංග දිසනායක වරෙන්තුවක් නිකුත් කළේ, පසුගිය සඳුදා (පෙබ: 03) දිනයේය.

ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර්බස් සමාගමේ යානා 10 ක් මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබාගෙන එය ඔස්ට්‍රේලියාවේ බැංකු ගිණුමක් හරහා විශුද්ධිකරණය කළ බවට එල්ල වී ඇති චෝදනාවලට අදාළව එලෙස වරෙන්තු නිකුත් කෙරිණි.

අද බන්ධනාගාර රෝහලට !

අධිකරණ නියෝගයෙන් අනතුරුව කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි කොළඹ මැගසින් බන්ධනාගාරය ගෙනවිත් ඇත්තේ, ඊයේ (06) පස්වරු 06.00 ට පමණය.

එසේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප්‍රියංකා නියෝමාලි වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රඳවා සිටියි. ඇය එම බන්ධනාගාරයේ R වාට්ටුවේ තවත් කාන්තාවන් 170 ක් සමග රඳවා සිටින බව  බන්ධනාගාර ආරංචි පවසයි.

අද (07) දිනයේ ඔවුන් දෙදෙනාම වෛද්‍යවරුන් වෙත අද (07) ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.

(මූලාශ්‍රය – නෙත් නිව්ස් )
උපුටා ගැනිම – theleader.lk