කමල් පෙරේරාගේ “ලාඩං ” ගැන වචන කීපයක් !

0
591

මධ්‍යම කඳුකරයේ සහ විශාල ප්‍රමාණයේ තේ වතු ආශ්‍රිතව ජීවත් වෙන බ්‍රිතාන්‍ය පාලන සමයේදී මෙරටට රැගෙන එන ලද ඉන්දියානු සම්භවයක් සහිත දමිළ ජනතාව ලංකාවේ ජීවත් වෙන විශේෂී ජන කොට්ඨාසයක් ලෙස සැලකිය හැක.

ඔවුන් බොහෝ දෙනෙක් තවමත් ජීවත් වන්නේ විශාල තේ වතු ආශ්‍රිතව ඉදිකර ඇති ලැයිම නමින් හඳුන්වන නිවාස පේලී වල වන අතර ඔවුන්ගෙන් බහුතරය තේ වතුවල, තේ දළු නෙලීම, තේ ගස් කප්පාදු කිරීම, සුද්ද කිරීම සහ තේ ප්‍රැක්ටේරියේ විවිධ රැකියාවේ නිරතව සිටිති.


ඔවුන්ගෙන් බහුතරය තවමත් වත්තේම ජීවත් වන අතර වතුවල කාර්යාල සහ වෙනත් පරිපාලන මය කටයුතු වලට සම්බන්ධ වූ අය අනිත් ප්‍රජාවන් සමග පරිපාලන, ගූරු වෘත්තීය සහ වෙනත් රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියාවල නිරතව සිටිති. ඔවුන් අතරින් ව්‍යාපාරික බැංකුත් ක්ෂේත්‍රය සහ නීතිඥ වෘත්තියට ද සම්බන්ධ වූ කීපදෙනෙක් අපට දැකිය හැක. එහෙත් වත්තේ ජීවත් වෙන බහුතර ජනතාව මෙරටේ තවමත් ආන්තික ජනකොටසකි.


මෙම ජන කොට්ඨාසය පිළිබඳව මේ වන විට විශේෂ අවධානයක් යොමු වී තිබුණද එම කණ්ඩායම තුළම සිටින තවත් සුවිශේෂී කණ්ඩායමක් පිළිබඳව ප්‍රවීණ සාහිත්‍යවේදී කමල් පෙරේරා තමාගේ නවතම කෘතිය වන “ලාඩං” නවකතාවෙන් කතා කරයි.

2022 වසරේදී මෙය මුද්‍රිත කෘතියක් ලෙස දොරට වඩින ලදී. මා මේ වන විට සම්බන්ධ වී සිටින දේශපාලන බලවේගයේ කොටස්කරුවෙකු ලෙස කමල් පෙරේරා මට හමුවෙන්නේ දැනට වසර හතරකට පමණ පෙරය.

අවස්ථා කීපයකදීම තමා මධ්‍යම කඳුකරයේ ජීවත්වෙන මෙම සුවිශේෂි ජන කොටස පිළිබඳව නවකතාවක් ලියමින් සිටින බව මා සමඟ පැවසූ මොහොතේ සිට මා බලාගෙන සිටියේ ඔහු එය එළි දක්වන තුරුය. පසුගිය කාලයේ දී පැවති කොවිඩ් වසංගතය සහ රටේ ආර්ථික අවපාතය නිසා පොත එළිදැක්වීම පමා වෙන හැම අවස්ථාවකදීම නවකතාව පළ කරන්නැයි මම ඔහුගෙන් ඉල්ලා සිටියෙමි.
පොතේ පූර්විකාවේ ඔහු මගේ නම සදහන් කර ඇත්තේ මවිසින් කරන ලද ඒ ඉල්ලීම ඔහුට පොත පළකිරීමට කිසියම් උත්ඡේදනයක් ලබා දුන් නිසා විය යුතුය.

“ලාඩං” කුදිරිකරුවන්ගේ කතාවයි.

කමල් පෙරේරාගෙන් ” ලාඩං ” පොත ලබා ගත්තත් එය කියවීම ආරම්භ කිරීමට මට වසර එකහමාරක් දෙකක් පමණ ගතවිය. අපගේ කාර්ය බහුල ජීවිතය තුළ පොතක් කියවීමට එක දිගට කාලය සොයා ගැනීම එතරම් පහසු නැත .

2024 ජනවාරි 24 වෙනි දින පොත කියවන්නට පටන් අරගෙන අද පෙබරවාරි 01 පොත කියවා අවසන් කළෙමි. සමහර දවස් වල මා කියවූයේ පොතේ පිටු දෙක තුනක් පමණි.

බ්‍රිතාන්‍ය පාලන යුගයේදී ශ්‍රී ලංකාවේ නුවරඑළිය වැනි කදුකර ප්‍රදේශය වල තේ වගාව සහ කර්මාන්තය පවත්වාගෙන ගිය සුද්දන් විසින් තමන්ගේ විනෝදය සඳහා පවත්වාගෙන ගිය අශ්ව ධාවන (Horse race) තරග සඳහා සුද්දාගේ පාලනය යටතේ පැවති ලෝකයේ විවිධ රටවලින් මෙරටට ගෙන එනු ලැබූ අශ්වයින් බලා ගැනීම සඳහා ඉන්දියාවෙන් මෙරටට රැගෙන එන ලද මේ ජනප්‍රජාව කුදිරිකරුවන් ලෙස හඳුන්වයි.
කමල් පෙරේරා ලාඩං ඔස්සේ අපට කියන්නේ මේ අශ්ව ධාවන තරග සදහා යොදා ගන්නා ධාවන පිටිය සකස් කිරීම, එය ශුද්ධ පවිත්‍ර කර තබා ගැනිම, අශ්වයින් ගාල් කර තබා ගන්නා ඉස්තාලය නඩත්තු කිරීම, ඔවුන්ගේ කාර්යභාරය වූ බවයි. එහිදී විශේෂයෙන්ම තුරග තරග සඳහා සහභාගි වන අශ්වයින්ගේ ලාඩං ගැසීමද මේ අයගේ ප්‍රධාන රාජකාරියක් විය. ඒ අනුව මේ කුදිරිකරුවන් සුද්දන්ගේ අශ්වයින් වෙනුවෙන්ම ජීවත්වූ කණ්ඩායමක් වූ අතර ඔවුන් ඒ සදහා දැනුමෙන් සහ අත්දැකීමෙන් විශේෂඥයන්(Experts) විය.

කුදිරිකරුවන්ගේ ජීවිත පිළිබඳව කතිකාවක යෙදෙන කමල් පෙරේරා මෙම පොත රචනා කිරීමේදී යොදාගන්නා ආකෘතියද කියවන්නාට තරමක අලුත් අත්දැකීමකි. එහෙත් එය ඉතා අපූරුය. ඒ තුලින් රචකයා ලාඩං නවකතාවේ සිටින සෑම චරිතයක්ම කියවන්නා සමග බෞද්ධලික සංවාදයක් ගොඩනගා ඇත.

සුවිශේෂී චරිත කීපයක් කතාව තුල තිබුණත් ඒ සඳහා විවිධ ආකාරයෙන් දායකත්වය දෙන පුද්ගලයින් කීපදෙනෙකුගේ චරිත මුඛ්‍ය කරගෙන පරිච්ඡේදයෙන් පරිච්ඡේදය ඔවුන්ගේ ජීවිතවල විවිධ පැතිකඩයන් සාකච්ඡා කරන ලාඩං කියවන්නාට නැවුම් අත්දැකීමක් ලබාදෙයි.

කතාව විකාශනය වන්නේ වර්තමානය සමාජය තුළ සිටය. එහෙත් ඔහු මෙම නවකතාවට තොරා ගෙන ඇති චරිත ඔස්සේ ඔවුන්ගේ අතීතය පාඨකයා කැදවාගෙන යමින් සුද්දගේ කාලයේ සිට අද දක්වාම කුදිරිකරුවන්ගේ ජීවිත පිළිබඳව කතිකාවක් ගොඩ නගයි.

කුදිරිකරුවරුන්ගේ අධිෂ්ඨානශීලී බව තුළ ඔවුන් ජීවිතයේ අභියෝග ජන ජයගන්නා ආකාරය පිළිබඳව විවිධ චරිත ඔස්සේ පාඨකයාව ඔවුන් සමග ජීවත් කරවයි.

මධ්‍යම කඳුකරයේ තේ වගාව සහ අනෙකුත් ව්‍යාපාර සුද්දගෙ පාලනයෙන් ගිලී ගිය පසුව ඒවා තමන් අතට පත් කරගන්නා දේශීය සිංහල බෞද්ධ ධනපතින් විසින් මේ ප්‍රජාවට හිස ඔසවන්නට අවස්ථාවක් ලබා දෙන්නේම නැත.

එම පවුල්වල සිටි සමහර තරුණ තරුණියන් අධිෂ්ඨානශීලීව එම වහල් බවින් මිදී තමන්ගේ නිදහස් ලෝකයක් ගොඩනගා ගැනීමට තරන ලද උත්සාහය සහ තවමත් ඔවුන්ට එරෙහිව නැඟී සිටින අධිපතිවාදී දේශපාලන බලය ගැන ලාඩං කතා කරයි.

කමල් පෙරේරා මෙම නවකතාව රචනා කිරීමේදී භාෂාව හසුරුවන්නේ එය මිනිසුන් විසින් භාවිතා කරන ආකාරයට අනුව මිස සිංහල භාෂාව රැක ගැනීම වෙනුවෙන් සටන් කරන සාහිත්‍යකරුවකු ලෙස නම් නොවේ.

ඒ නිසාම ඔහුට ලාඩං නවකතාවේ ඔහු මතුකර දක්වන චරිත වෙත පාඨකයා ඉතා ඉක්මනින් ආකර්ෂණය කරවීමට ඔහු ගෙන ඇති උත්සාහය සාර්ථක වී ඇත.

ලාඩං අයත් වන්නේ කුමන සාහිත්‍ය වර්ගීකරණයකට දැයි මම නොදනිමි. එහෙත් එය ආසාවෙන් කියවිය හැකි නවකතාවකි.
මහී සහ රවි අතර ඇති ලෙන්ගතුකම පෙන්වීමේදී යොදා ඇති සංවාද අනවශ්‍ය බොලද බවකින් ඇතුලත් කර ඇතැයි මට සිතේ. එසේම තමා විස්වාස කරන දේශපාලන මතවාදය මතුකර දැක්වීමට රචකයා දරා ඇති උත්සාහය එතරම් සාර්ථකවී නැත.

තාරුණ්‍යය, ආදරය, දේශපාලනය,මවුපිය සෙනෙහස, වංචාව රැවටීම, පළිගැනීම, මැර බලය අධිපතිවාදය මේ සියල්ල අතරේ දෝලනය වන කුදිරිකරුවන්ගේ ජීවිතය වහල්භාවයෙන් ගලවා ගැනීමට කිසිවකු ආකාසයෙන් බිමට බසින්නේ නැත.
ගැලවුම්කරුවන් ඔවුන්ගේ ප්‍රජාව තුලින්ම මතුවිය යුතුයි. එහෙත් ඒ සඳහා තමන් සමග සිටින අනෙක් ප්‍රජාවන්, විශේෂයෙන්ම මහා ප්‍රජාව සමග ඔවුන්ට නියත වශයෙන්ම අත්වැල් බැදගන්නට සිදුවේ.

“ලාඩං” නවකතාවේ ප්‍රධාන චරිත දෙකක් වන මහේශී සහ රවී සිංහල බෞද්ධ සහ කුදුරිකරුවරුන්ගේ ප්‍රජාවෙන් කමල් පෙරේරා තෝරාගන්නේ ඒ නිසාවිය විය යුතුය.
කමල් පෙරේරා සහිත්‍යවේදීයාට මගේ සුබ පැතුම් !

අරුණ ශාන්ත නෝනිස්
අශානෝ
2024.02.01.