කරවල නිෂ්පාදනයට ආනයනය කළ ලුණු වල ආසනික් විෂ රසායනය ඇති බවට සැකයක්..?

0
21

 

( 10.00 am )කරවල නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රමාණයට ලුණු නොලැබීම සහ ලුණු වල මිල අධික ලෙස ඉහළ යෑම නිසා මීගමුව කරවල ව්‍යාපාරිකයන් දැඩි දුෂ්කරතාවයකට ලක්වී තිබිණි.

ඒ පිළිබඳව පසුගියදා මීගමුව ප්‍රදේශයේ කරවල ව්‍යාපාරිකයන් විසින් නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකලත්ත මහතාවද දැනුවත් කර තිබිණි. නියෝජ්‍ය අමාත්‍යවරයා දින 10 ක කාලයක් මේ සඳහා ලබා දෙන ලෙස කරවල ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලීමක් කළ ද මේ වන විට එම කාලය සති 03 කට අධික කාලයක් ඉක්මගොස් ඇත අතර කරවල ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ලුණු තවමත් ඔවුන්ට ලැබී නොමැති බවට වාර්තා විය.

මේ පිළිබඳව අප කළ විමසීමකදී වාර්තා වූයේ කරවල ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ලුණු තොග ,කරවල කර්මාන්තයේ නිරත සමිති හරහා ලබාදීමට කටයුතු කරන බවයි. ඒ අනුව මීගමුව ධීවර කාර්යාලයේ ලියාපදිංචි වී ඇති කරවල නිෂ්පාදනයේ නිරත සමිති 05 ක් සහ එලෙස ලියාපදිංචි නොකළ තවත් සමිති 03ක් ඇතුළුව සමස්ථ සමිති 08 ක් සඳහා මෙලෙස පෞද්ගලික ආනයනකරුවෙක් හරහා ලුණු සැපයීමට කටයුතු කරන බවට කරුණු වාර්තා විය. ඒ අනුව වාර්තා වන පරිදි කිලෝ ග්‍රෑම් 50 ඇසුරුම් පන්සියයක් අඩංගු කන්ටේනරයක් බැගින් කන්ටේනර් 07 ක් මේ වන විට ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා ඇතැයි වාර්තා විය. එම කන්ටේනර් 07 න් , කන්ටේනර් 06 ක ඇති ලුණු කිලෝ ග්‍රෑම් 2500 ක් මෙම කරවග ව්‍යාපාරිකයන්ට ලබාදීමට සැලසුම් කර තිබිණි.

එහෙත් වැඩි දුරටත් වාර්තා වන්නේ එම ලුණු තොගය මේ වනවිටත් කොළඹ වරායේ රඳවාගෙන ඇති අතර ඒවා කරවල ව්‍යාපාරිකයන්ට ලබා නොදෙන්නේ එම ආනයනික ලුණු තොගයේ තත්ත්වය සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී ඇති නිසා බවයි.

මීගමුව ප්‍රදේශයේ කරවල ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුම අප වෙත ප්‍රකාශ කළේ මේ වන විට එම ලුණු තොගය පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන බවයි. එනම් මෙම ලුණු තොගයේ ආසනික් නැමති විෂ රසායනය ඇති බවට සැකයක් ඇතිවී ඇති බවත්, ඒ පිළිබඳව පරීක්ෂණයක් කර නිගමනයකට එළඹෙන තුරු මෙම ලුණු තොගය කරවල ව්‍යාපාරිකයන් හ⁣ට ලබා නොදෙන බවත් එම ව්‍යාපාරිකයන් වැඩිදුරටත් අප වෙත පැවසූහ.

තත්ත්වයෙන් උසස් ලුණු අඛන්ඩව කරවල ව්‍යාපාරිකයන්ට නොලැබීමෙන් , මීගමුව ප්‍රදේශයේ සිදු කෙරෙන කරවල නිෂ්පාදනය දැඩි ලෙස කඩා වැටීමකට පවා බලපානු ලබන විශාල අර්බුදයකි . දැනට වෙළඳපොලේ ඇති කරවල නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන ” පුත්තලම මඩ ලුණු” , ලෙස කරවල නිෂ්පාදකයන් හඳුන්වන ලුණු , කරවල නිෂ්පාදනය සඳහා යොදාගැනීමෙන් කරවලවල වර්ණය පවා වෙනස් වීමකට ලක්වී එම කරවල වල ගුණාත්මකභාවය සහ එම කරවල වල තත්ත්වයද අඩු මට්ටමකට වැටී තිබේ. එවැනි වාතාවරණයක් තුළ කරවල නිෂ්පාදනයේ යෙදෙන ව්‍යාපාරිකයන්ට ලක්ෂ ගණනක මුල්‍යමය පාඩුවක්ද පසුගිය දිනවල
විඳින්නට සිදුවී ඇති බවද වාර්තා වුණි.

කෙසේ වෙතත් මීගමුව ප්‍රදේශයේ සිටින බොහෝ කරවල ව්‍යාපාරිකයන් අවධාරණය කරන්නේ ඉදිරි සතිය ඇතුළත හෝ කරවල නිෂ්පාදනය සඳහා සුදුසු ලුණු තොග නිසි ලෙස නොලැබුණහොත් තම කරවල නිෂ්පාදන කටයුතු නවතා දැමීමට සිදු වනු ඇති බවයි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here