කලගුණ දන්නෝ

0
139

FB_IMG_1564066307116ආරක්‍ෂාවට සිටි පොලිස් සැරයන්ගේ දෙවැනි ගුණ සමරුවටත් යාපනයේ – හිටපු මහ අධිකරණ විනිසුරු එයි

යාපනය මහධිකරණ විනිසුරුවරයා වශයෙන් මානික්කවාසගම් ඉලන්චෙලියන් මහතා කටයුතු කළ අවස්ථාවේදී පිස්තෝලකරුවකුගේ වෙඩි පහරකට ලක්ව මියගිය විනිසුරුවරයාගේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් හේමචන්ද්‍ර මහතාගේ දෙවන ගුණ සමරුව සඳහා 22 වැනිදා ඉලන්චෙලියන් විනිසුරුවරයා සහභාගී වී තිබේ.

පොලිස් සැරයන් හේමචන්ද්‍ර මහතාගේ හලාවත පිහිටි නිවස වෙත ගිය ඉලන්චෙලියන් විනිසුරුවරයා හේමචන්ද්‍ර මහතාගේ පවුලේ උදවිය සමග එක්ව මීට වසර දෙකකට ඉහතදී මියගිය හේමචන්ද්‍ර මහතාගේ බිරිඳ හා දරුවන් දෙදෙනා සමග එක්ව සොහොනේ ඉටිපන්දම් හා පහන් දල්වා මියගිය හේමචන්ද්‍ර මහතා වෙනුුවෙන් තවත් ආගමික කටයුතු රැුසකට සහභාගී වී තිබේ.

2017 ජූලි මස 22 වැනිදා යාපනයේ නල්ලූර් කෝවිල් පාරේදී මෙම වෙඩි තැබීම සිදුවන විට මානික්කවාසගර් ඉලන්චෙලියන් මහතා යාපනයේ මහධිකරණ විනිසුරුවරයා වූ අතර ඔහුගේ ආරක්ෂාවට සිටි ප‍්‍රධාන ආරක්ෂක නිලධාරියා පොලිස් සැරයන් හේමචන්ද්‍ර මහතාය.

විනිසුරුවරයා ඉලක්ක කරගෙන පිස්තෝලකරුවකු වෙඩි ප‍්‍රහාර එල්ල කළ අවස්ථාවේදී පිස්තෝලකරු සමග පොර බදා පිස්තෝලය ගැනීමට පොලිස් සැරයන්වරයා උත්සහ කළ අවස්ථාවේදී වෙඩි වැදීමෙන් පොලිස් සැරයන්වරයා මිය ගියේය.

මේ සිද්ධියේදී තවත් පොලිස් නිලධාරියෙක් තුවාල ලැබීය.

මේ වන විට ඉලන්චෙලියන් විනිසුරුවරයා ත‍්‍රිකුණාමළය මහධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කරන අතර මියගිය හේමචන්ද්‍ර මහතාගේ පළමු ගුණ සමරු වසරේ දානය පිරිනමන අවස්ථාව වන විට විනිසුරුවරයාගේ හිතවතුන් විසින් හේමචන්ද්‍ර මහතාගේ අඩක් නිමකොට තිබූ නිවසේ වැඩ කටයුතු සියල්ල නිම කොට දී තිබුණි.

මේ සඳහා රුපියල් ලක්ෂ විස්සක් පමණ වැයකොට තිබූ අතර මියගිය හේමචන්ද්‍ර සැරයන්වරයාගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු මෙන්ම ඒ දරුවන් දෙදෙනාගේ අනාගතය පිළිබඳව වූ වගකීම භාර ගෙන ඇත්තේ ද ඉලන්චෙලියන් මහතා විසිනි.
divaina.com
දිනසේන රතුගමගේ