කලා දිවියේ දශක හතරක් සපුරන ‘රිචඩ් මානමුදලි’

0
575
ඡායාරූපය - යසස් විජේරත්න
ඡායාරූපය – යසස් විජේරත්න

රිචඩ් මානමුදලි ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉතාම ජනප්‍රිය මෙන්ම ප්‍රතිභාපූර්ණ  කලාකරුවෙකි. මේ වනවිට ඔහු සිය කලා දිවියේ  අඩ සියවසකට ආසන්න කාලයක් එනම් වසර 43කට වඩා වැඩි කාලයක් වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සහ චිත්‍රපට යන තෙවැදෑරුම් කලා ක්ෂේත්‍ර වල නිරත වෙමින් සිරිලක කලා⁣කෙතට අනූපමේය සේවාවක් කළ විශිෂ්ට රංගධරයෙකි. එලෙසම ඔහු සිංහල භාෂාව,සාහිත්‍ය , නාට්‍යකරණය සහ රංග කලාව ඇතුළු විෂයන් පිළිබඳ හසල අත්දැකීම් ඇති ඇඳුරෙකි. පහත පළවන්නේ රිචඩ් මානමුදලි රංගවේදියාගේ වෘත්තීය අත්දැකිම් හා  ඔහුගේ ජිවන පසුබිම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡාවකි.


ඔබ දශක හතරකට වැඩි කාලයක් අපේ රටේ ප්‍රවීණ කලාකරුවෙකු ලෙස  තවමත් කලා ක්ෂේත්‍රය තුළ රැඳී සිටිනවා.  ඔබේ ළමා කාලය කලා  ජීවිතයට බලපෑවේ කොහොමද ?

රිචඩ් මානමුදලි ගේ ළමා කාලයේ රංගනයේ යෙදෙන අවස්ථාවක්

ඇත්තෙන්ම ඔව්, මට තිබුනේ සුන්දර ළමා කාලයක්. මගේ තාත්තා ප්‍රැන්සිස් මානමුදලි ඔහු ලංගම බස් ඩිපෝවේ මැකෑනික් කෙනෙක්. මව වික්ටෝරියා මානමුදලි , ඇය නම් රැකියාවක් කෙරුවේ නෑ. අපේ පවුලේ දරුවෝ දහදෙනයි.පිරිමි දරුවෝ අට දෙනයි ගැහැණු දරුවෝ දෙන්නයි. මම පවුලේ හතරවෙනියා. අපේ පවුල හරිම කලාකාමී පවුලක්. එතරම් ලොකුවට කලා කටයුතුවලට සම්බන්ධ නොවුනත්, අපේ පවුලේ හැමකෙනා ගාවම තිබුණා කලාව කෙරෙහි පුදුම ලැදියාවක්.මගේ ගම කටුවපිටිය,වෑබඩ පාරේ අපේ ගේ තිබුණේ.  අපේ ගේ ළඟ තිබුණා කුඹුරක්. ඔය කුඹුර තමයි අපේ ක්‍රීඩා පිටිය බවට පත්වුණේ. ගොයම් හිටවන කාලෙට ගොයම් පීදෙන කාලෙට ගොයම් කපන කාලෙට ගොයම් කැපුවාට පසු කාලය මේ කොයි කාලෙත් අපි ඔය කුඹුරේම තමයි ,සෙල්ලම් කලේ. අපි ඔය කුඹුරේ සෙල්ලම් කරද්දි පුදුමාකාර විදිහට එකේ රසයක් වින්දා. අනික ඉස්සර හැම ගෙදරකම වගේ රෑට ඔරසන්  කියනවා , ඒ වගේම ‘මාරියනි මාගේ යහපත් මෑණියනී’ කියන ගීතිකාව වාගේ  ගීතිකා හැම ගෙදරකම වගේ ඇහෙනවා. අපේ ගෙදරත් ඔරසන් කියනවා. ඔරසන් කියලා අපේ පවුලේ හැමෝම එකතු වෙලා සිංදු කියනවා. දැන් කාලේ වගේ රූපවාහිනී තිබුණේ නෑ.ගුවන් විදුලි යන්ත්‍රයක් තිබුණා. අපි ඒකත් අහනවා.නමුත් හැමදාම පවුලේ සියලුම දෙනා එකතුවෙලා සිංදු කියන එක නම් නතර කලේ නැහැ. ඒවගේම අපේ තාත්තා අපිව සමහර දවස්වලට මීගමුවේ රාජ් හෝල් එකට එක්කගෙන එනවා, චිත්‍රපටි බලන්න.  මට වයස අවුරුදු පහක් – හයක් විතර වගේ නිකන් යාන්තමට වගේ මතකයි, ගීත් ,සංගම් ,එක් පූල්  දොමාලි වගේ චිත්‍රපටි ඔය රාජ් හෝල් එකෙන් බලලා තියෙනවා. ඒවා මොන තරම් නම් ලස්සන චිත්‍රපටිද. ඒවායේ එන ගීත තාමත් මගේ මතකයේ තියෙනවා   වගේ.  මේ වගේ සුන්දර ළමා කාලයක් මට තිබුණා. ඒ ළමා කාලයේ කලාවට බැඳුණු හිත  පසුකාලේ කලාවට ප්‍රවිශ්ට වීමටත් ,කලාකරුවෙකු වීමටත්  විශාල අඩිතාලමක් බවට පත්වුණා, කියලයි මම විශ්වාස කරන්නේ.

ඔබ කුඩා කාලෙ සිටම වේදිකා නාට්‍ය වලට  ඇලුම් කළා ද  ?

ඔව්, මම කුඩා කාලේ ඉඳලම වේදිකා නාට්‍යවලට පුදුමාකාර ලොල් බවක් දැක්වූවා. ඉස්සර මට මතකයි හැම සති අන්තයකම මීගමු පුරහලට වේදිකා නාට්‍යයක් දෙකක් එනවාමයි. මමත් යනවා ඔය නාට්‍ය බලන්න. සමහර වෙලාවට සල්ලිත් නෑ ටිකට් ගන්න.  එහෙම වෙලාවට මම තැනක් හදාගෙන තිබුණා  ,ලයිට් කණුවක බඩ ගාලා ,මීගමු පුරහලේ ස්ලැබ් එකට ගිහිල්ලා එතැන පුංචි තැනක් හදා ගෙන තිබුනා ගල් කිහිපයක්  ගලවලා ,කොහොම හරි උඩ තට්ටුවෙන් පුරහලට ඇතුල්වෙලා මම සමහර දවස්වලට ටිකට් නැතුව හොරෙන් නාට්‍ය බලලා තියෙනවා.
එක දවසක් මට මීගමු පුරහලට ඇතුල් වෙන්න  ටිකට් ගන්න සල්ලි නැතුව ඉන්න වෙලාවේ,3.30 දර්ශනය ඉවර වෙලා නළු නිලියෝ එළියට එද්දි පුරහලේ තැනින් තැන මම දැවටි දැවටී ඉන්නකොට,  එදා  වේදිකා ගත වුණේ ආර් .ආර් සමරකෝන් ශූරීන්ගේ කැලණි පාලම, ඒකේ රඟපාන මහා නළු නීල් අලස් මහතා මාව දැකලා මගෙන් ඇහුවා,ඇයි මෙතනට වෙලා ඉන්නේ කියලා, මම එයාට කිව්වා අනේ සර් මට හරි ආසයි නාට්‍ය බලන්න පුලුවන්නම් මාව ඇතුලට ගන්න කියලා, ඊට පස්සේ එයා මාව ඇතුලට ගත්තා .එදා මම හරිම ආසාවෙන් ඒ නාට්‍ය බැලුවා. පසු කාලෙක මම නීල් අලස් අයියා එක්ක දෙවෙනි මහින්ද නාට්‍යයේ එයා පිය රජතුමාට ,ඒ කියන්නේ අග්බෝ රජතුමාට රඟපෑවා.
මම එයාගේ පුතා, ඒ කියන්නේ දෙවෙනි මහින්ද විදියට රඟපෑවා. ඒක රඟපාද්දි මම නීල් අයියට ඒ දෛවෝපගත සිදුවීම කිව්වා. ඉතින් ඔය වගේ නාට්‍ය ගොඩාක් මං බලලා තියෙනවා ,විශේෂයෙන්ම මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යය බලද්දි ඒකේ අර වැද්දෝ එද්දි මට නිකන් ඒක හීනයක් වගේ. පසුව මම කවදාවත් සිතුවේ නෑ මහාචාර්ය  සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ පොතේ ගුරාගේ චරිතය මට රඟපාන්න පුළුවන් වේවි කියලා.
ඉතින් ඇත්තටම මගෙත් යම් වාසනාවක් තිබුනා පසු කාලයේ මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ සියලුම නාට්‍යවල රඟපාන්න.ඒ වගේම හෙන්රි ජයසේනයන්ගේ මකරා නාට්‍ය වේදිකාගත වෙද්දී ඒ මකරා එද්දී ඇත්තටම මට හිතෙනවා මේ මකරෙක් උඩ ඉන්නවා කියලා. මට නිකන් ඒ අවස්ථා මැවිලා පේනවා .ඉතින් ඔය වගේ මම වේදිකා නාට්‍ය වලට පුදුමාකාර විදිහට ඇලුම් කලා.ඉස්සර මීගමුව පුරහලට හැම සති අන්තෙකම අලුත් වේදිකා නාට්‍ය ආවා. කොළඹ පළමු දර්ශනය පෙන්නලා,අනිවාර්යෙන්ම දෙවැනි දර්ශනය පෙන්වන්නේ මීගමුවෙි. ඒකට හේතු වුණේ මීගමුව කියලා කියන්නේම කලාකාමී නගරයක්. පුළුල් පරාසයකට විහිදී ගිය කලාකාමී මිනිස්සු හිටිය, විවිධාකාර කලා හැකියාවන් තියෙන කලාකාමී ශිල්පීන් හිටපු නගරයක් තමයි මීගමුව කියලා කියන්නේ. මේක කලාවට විතරක් නෙමෙයි ක්‍රීඩාව පැත්තෙන් ගත්තත් ක්‍රීඩාවට විශාල තැනක් තිබුණු, ක්‍රීඩාවට බොහොම ඇලුම් කරපු  පුරවරයක්. මගේ ළමා කාලය ගත්තොත් මමත් සෙල්ලම් කරන්න බොහොම ආසා කෙනෙක්. අපි ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා ආයෙ ගෙදර යන්නේ රෑ වෙලා. එතකන් සෙල්ලම් කරන එකම තමයි වැඩේ. ඊට පස්සේ රෑ වෙලා ඉස්කෝලේ වැඩ කරලා,ඔරසන් කියලා ගෙදර සේරම එකතුවෙලා සිංදු කියනවා. අද කාලේ අපි ඒක දකින්නේ නෑ. අද කාලේ ඉන්න ළමයි සෙල්ලම් කරන්නෙ නැහැ. ඉස්සර අපි දකිනවා ගම්වල ළමයි  එකතුවෙලා සෙල්ලම් කරන ආකාරය.මමත් එහෙමයි. අපි ගමේ ළමයි එක්කහු කරගෙන, ගොයම් කපලා ඉවර වෙච්ච කුඹුරේ එල්ලේ ගහනවා.
අද කාලේ ළමයින්ට එහෙම ජීවිතයක් නැහැ. මම සාමාන්‍ය පෙළ වෙනකම් පාසල් ගියේ කටුවපිටිය  මහා විද්‍යාලයට.  පසුව මම උසස් පෙළ කරන්න මිගමුව ශාන්ත මරියා විද්‍යාලයට ඇතුල් වුණා. මම උසස් පෙළට කෙරුවේ කොමස් ඒ කියන්නේ වාණිජ විෂය ධාරාව. හැබැයි පසුකාලීනව මම ලොයෙලා විද්‍යාලයට ගුරුවරයෙක් විදිහට රැකියාවට ගියාට පසුව මට උවමනා වුණා, නැවත වරක් උසස් පෙළ කරන්න කළා විෂය ධාරාව යටතේ.  එහිදී මම  පෞද්ගලික අයදුම්කරුවෙක් විදිහටයි  උසස් පෙළ විභාගයට පෙනී සිටියේ.  කටුවපිටිය පාසලේදි මට සිංහල ඉගැන්නුවේ බියට්‍රිස් ටීචර් , ඔස්ටින් ටීචර් වගේ අය, එයාලා සිංහල විෂය උගන්නපු විදිහ නිසා මම සිංහල විෂයට හරිම ලොල් බවක් දැක්වුවා.
මට සිංහල විෂය  උසස් පෙළට ඉගෙන ගන්න පුදුමාකාර ආසාවක් තිබුණා.  මම ඒකත්  ඉෂ්ඨ කරගත්තා.

ඔබ කොහොමද  වේදිකා නාට්‍යවලට ප්‍රවේශ වෙන්නේ ?

වේදිකා නාට්‍යයට ප්‍රවිෂ්ඨ වුණෙත් කටුවපිටිය දේවස්ථානය හරහා.දේවස්ථානයේ සියලුම සමිති සමාගම් වල මම හිටියා. මම දහම් පාසලේ පවා  ඉගැන්නුවා. විශේෂයෙන්ම ‘ලක්රිවි’ සමිතියේ මම සාමාජිකයෙක් .පස්සේ මම ඔය සමිතියේ අනුශාසකවරයෙක් බවට පත්වුණා. ඉන් පසුව මීගමු කලාපයේ ලක්රිවි සමිතිවල අනුශාසකලාව එකතු කරලා ,නාට්‍යයක් නිර්මාණය කරන මට්ටමකට ආවා . ඇන්ටන් කොළඹගේ තමයි එතන ප්‍රමුඛ වුණේ.එයත් අපේ සමකාලීනයෙක්. ඒත් එක්කම කටුවපිටියට ආසන්නයේ හිටපු නෙවිල්  ද සිල්වා යි, ඇන්ටන් කොළඹ ගේ කියන මගේ සමකාලීනයයි ,මමයි එකතුවෙලා තමයි 1981 වසරේ ” රූකඩ නළුවෝ” කළේ.

ඊට කලින් අපි ඔය පොඩි පොඩි  නාට්‍යය නිර්මාණය කරලා රඟපාලා තියෙනවා. ඒ වගේම මමත් ඇතුළුව අපේ සමකාලීනයෝ  එක්ක එකතු වෙලා , මීගමුව ජනාවබෝධ කේන්ද්‍රයේ සරත් ඉද්දමල්ගොඩ පියතුමා හරහා ” සුදර්ශන ජනසන්නිවේදනය සංගමය” කියලා සංවිධානයක් පිහිටුවා ගත්තා.  ඒක හරහා අපි ගමින් ගමට , නගරයෙන් නගරයට ගිහිල්ලා වීදි නාට්‍ය පෙන්නලා යම් පන්නරයක් ලැබුවා. ඉන් පසුව 1981 දී වේදිකා ගත වුන ‘රූකඩ නළුවෝ’ තමයි මගේ ප්‍රසිද්ධ වේදිකාවට ප්‍රවිෂ්ට වීම. ඉන් පස්සෙත් වේදිකා නාට්‍ය කීපයක්ම ලැබුණා.  විශේෂයෙන්ම ජයම්පති සේනාධිපතිගේ “වාරකන්” කියලා නාට්‍යයක් එහෙම ලැබුණා.

දැන් ඔබ කියන විදිහට එදා මීගමුව තුළ  නාට්‍ය  නිර්මාණය කරන්නට රඟපාන්නට  කැමැත්තක් ලැදියාවක් තිබුණු අයට ඒ සඳහා යම් සමිති සංවිධාන ගණනාවක්ම තිබිලා තියෙනවා. නමුත්  වර්තමානයේ එහෙම තත්ත්වයක් දක්නට ලැබෙන්නේ නැහැ නේද?

ඇත්තෙන්ම ඔබ කියන එක හරි . අපි මේ ක්ෂේත්‍රයට පිවිසෙන කාලේ එහෙම එකතු කිහිපයක්ම තිබුණා.නාට්‍ය කණ්ඩායම්, කලා සංගම් ගණනාවක්ම ඒ කාලේ මීගමුවේ තිබුණා. හැබැයි ඒවට උත්තේජනයක් ලබා දුන්නේ කතෝලික දේවස්ථානය. විශේෂයෙන්ම කතෝලික දේවස්ථාන හරහා බිහිවුණු සංවිධාන කීපයක්ම තිබුණා. අපි විසින්ම හදාගත්තු කණ්ඩායමකුත් තිබුණා.” අපේ කණ්ඩායම ” කියලා. ඊට අමතරව කතෝලික දේවස්ථානය හරහා විතරක් නෙමෙයි බෞද්ධ පන්සල් හරහාත් කලාවට පිවිසීමට බලාපොරොත්තු වෙන අයට හොඳ අවස්ථා ගණනාවක්ම හදලා දීලා  තිබුණා ඒ කාලේ . අඟුරුකාරමුල්ල පන්සල ඒවගේම පොඩි පන්සල  හැම වෙසක් පෝයකටම බෞද්ධ ජාතක කතා රඟ දක්වලා පෙන්නනවා. මමත් යනවා ඒවා බලන්න. එයාලගේ අර “දොරකඩ අස්න” .ඒක ඉතාම චමත්කාරජනකයි. ඒකේ අර කුමාරයා එනකොට බලන් ඉන්න පුදුම ආසාවක් මට තියෙන්නේ. විශේෂයෙන්ම මට මතකයි මීගමුවේ, කට්ටිය පල්ලම හංදියේ එහෙම නැත්නම් බාල්දි හංදියේ ,ඔය මහජන බැංකුව පිහිටි ඉඩමට අල්ලපු ඉඩමේ විශාල ගෙයක් තිබුණා වංගුවෙම. එතන හිටියේ ගුණේ අය්යා කියල එක්කෙනෙක්. දැන් නම් එතන හිස් ඉඩමක් තියෙන්නේ. ඒ කාලේ එතන වෙසක් කාලෙට දවස් දෙක තුනක් වෙස්සන්තර ජාතකය රඟ දක්වලා පෙන්නනවා. මමත් හරිම ආසාවෙන් ගිහින් බලන් ඉන්නවා. ඔය වගේ කලා කටයුතු රාශියක් ඒ කාලේ මීගමුව තුළ සිදුවුණා. ඇත්තටම දැන් එහෙම අවස්ථාවක් නැහැ.මටත් ඇත්තටම හිතාගන්න බැහැ.දැන් මේ සියලුම දේවල් වෙළඳාම් බවට පත් වෙලා වාණිජකරනය වෙලා. දරුවන් යන්ත්‍ර බවට පත්වෙලා විභාග මානසිකත්වයක් ආරෝපණය කරගෙන. දරුවො පොතේ පතේ දැනුමත් එක්ක හිරවෙලා. දෙමව්පියෝ ත් තරඟයට ගිහිල්ලා. දරුවන්ට හිතන්න පතන්න සෙල්ලම් කරන්න අවස්ථාවාව නැති කරලා.

විභාගත් එක්ක හැප්පෙනවා. දෙමව්පියෝ ළමයින්ව තරගකාරී සමාජ රටාවකට කොටු කරලා. විභාග මානසිකත්වයක් ආරෝපණය කළ දරුවන්ට හිතන්න පතන්න කොහොමටවත් ඉඩක් ලබා දීලා නැහැ.ඉතින් එවැනි තත්ත්වයක් තුළ කලාව  සමග සැබැඳුණු සංගම් සංවිධාන ඇත්තටම අද දක්නට ලැබෙන්නේ නැහැ.

ප්‍රසිද්ධ වේදිකාවට ඔබේ ප්‍රවිශ්ඨය සිදුවන්නේ ‘රූකඩ නළුවෝ’ නාට්‍යයෙන්. ඊට පසුව ඔබ සම්බන්ධ වුන  මතකයේ රැඳුනු වේදිකා නාට්‍යය මොනවද ? ඒවාට ලැබුණු ඇගැයීම් පිළිබඳව කෙටියෙන් විස්තර කළොත්?

අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ 1981 රූකඩ නළුවෝ කරලා ,ජයම්පති සේනාධිපතිගේ “” වාරකන්”” නාට්‍ය රඟපෑවා. 1989 සිඩ්නි මාකස් ඩයස් රචනා කරපු ,නෙවිල් ද සිල්වා අධ්‍යක්ෂණය කල      “” මනුසත්තු””   නාට්‍යයේ රඟපෑවා. ඒ සඳහා මට යෞවන සම්මාන උළෙලේ සම්මාන පවා ලැබුණා . 1990 දී සංජීව දිසානායකගේ ” විනස්සතු” නාට්‍යයේ රඟපෑවා. ඒ නාට්‍ය රඟපෑම වෙනුවෙන් ඒ වසරේ පැවැති යෞවන නාට්‍ය සම්මාන උළෙලේදී මට හොඳම නළුවාට හිමි සම්මානය ලැබුණා. ඉන්පසු මට ලැබුණා මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ සොක්‍රටීස් කියන නාට්‍යයේ ප්‍රධාන චරිතය කළ ජයලත් මනෝරත්නයන්  සමඟ රඟපාන්න.ඉන්පසු මංගල සේනානායකගේ “උතුරු සළුව ” කියන නාට්‍යයේ රඟපෑවා. ඔය විදිහට ගත්තහම මම මේ වෙද්දි වේදිකා නාට්‍ය සීයකට අධික ප්‍රමාණයක රඟපාලා තියෙනවා.එක්කම 1990 සිට 2000 මුල් කාලේ වෙනකල් මම රඟපාපු නාට්‍ය ඒ අවුරුදු වල තිබුණු රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලවල් වලදී   නියෝජනය වෙලා තියෙනවා.

ඔබ වේදිකා නාට්‍ය පිළිබඳව සිදුකර ඇති  හැදෑරීම් ගැන ඉතිහාසය ටිකක් කිව්වොත් ? 

ආයතනික වශයෙන් ගත්තොත් මම කලින් කිව්වා වගේ අපි විසින් හදාගත්තු සංවිධානයක් තිබුණනේ “සුදර්ශන ජන සන්නිවේදන සංගමය”” කියලා , අන්න ඒ සංවිධානයේ හිටපු අපි කට්ටිය පස්සේ සුනිල් කොස්තා මහත්තයාව ප්‍රමුඛ කරගෙෙන අපි හදාගත්තා “සංකල්ප කලා කවය” කියලා එකක්. එතකොට සංකල්ප කලා කවය එක්ක සුනිල් කොස්තා මහත්තය අපිට නාට්‍ය කරමින්, වීදි නාට්‍යකරණය පිළිබඳව අපිට ඉගැන්නුවා. ඉතින් කොළඹ නාට්‍ය සම්බන්ධව හිටපු ප්‍රවීණයන් මෙහාට ගෙන්නුවා. ඒ අනුව එච්. ඒ. පෙරේරා ඩග්ලස් සිරිවර්ධන,රවින්ද්‍ර මාපිටිගම ,රොහාන් සමරදිවාකර වගේ පිරිසක් එතන හිටියා. ඒත් එක්ක මම නාට්‍යකරණය පිළිබඳව හැදෑරුවා.
ඒ  ‘සංකල්ප කළා කවයේ’ හිටපු කට්ටිය එක්ක එකතු වෙලා “නියත විවරණ ” කියලා නාට්‍යයක් කෙරුවා. ඊට පස්සේ මම සම්බන්ධ වුණා , “සතිස්චන්ද්‍ර සංස්කෘතික සංවිධානය ” ට. සතිස්චන්ද්‍ර එදිරිසිංහ කියන කලාකරුවා තමයි. ඒක සංවිධානය කෙරුවේ. එයාගේ තිබුණා  නගරවල නාට්‍යකරණය පිළිබඳ කරන වැඩමුළු මාලාවක්.  මම ඒකට සම්බන්ධ වුණා. සම්බන්ධ  වෙලා බොහෝ කාලයක් එතන හිටියා. ඉන්පසු සතිශ්චන්ද්‍ර එදිරිසිංහ මහත්මයාගේ “අපායේ අවුරුදු” කියන නාට්‍යයෙත් මම රඟපෑවා. ඊට පස්සේ මට විශේෂිත අවස්ථාවක් ලැබුණා, බෙල්ජියම් ජාතික ” රූඩි කොරන්ස් ” කියන මහාචාර්යවරයෙක් යටතේ නාට්‍යකරණය  හදාරන්න. ඔහු  ලංකාවට ඇවිල්ලා තමයි, ඒ  ඉගැන්වීම් කටයුතු කළේ. එතකොට ඒකේ අනුසාශකවරු සහ ඒ වගේම ඒකේ ගුරුවරු හැටියට හිටියේ ජයලාල් රෝහණ, රෝහන් සමරදිවාකර සහ රොහාන් දේව් කියන තුන්දෙනාම එයාලගෙනුත්  නාට්‍යකරණය පිළිබඳව ඉගෙන ගත්තා. එතකොට එහෙම හැදෑරීම් ගණනාවක් මම කරලා තියෙනවා. කොහොම හරි මට නාට්‍යකරණය පිළිබඳව හොඳ දැනුමක් ලැබුනේ ප්‍රවීනයන් සමඟින්  වැඩ කිරීමෙන්.  මේක හරියට අර හොඳට පීනන්න  නම් වතුරට බහින්න ඕනා වගේ , කොච්චර පාඨමාලාවන් කෙරුවත් වැඩක් නැහැ ප්‍රායෝගික දැනුම නැතුව. ඒ වගේ තමයි නාට්‍යකරණයත්. මොකද අපි වේදිකාව තුළ ඉන්නවානම් එක එක අධ්‍යක්ෂවරු යටතේ වැඩ කරන්න ඕනා.එක එක අධ්‍යක්ෂකවරු වැඩ කරන විදිහ වෙනස්. එයාලා දකින පැති එක එක්කෙනාට වෙනස්. දැන් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් මුහුණ උස්සලා කවදාවත් නළුවෝ දිහා බලන් ඉන්නේ නැහැ. අත් දෙක පස්සට බැඳගෙන වේදිකාවේ එහාට මෙහාට ඇවිදින එක තමයි එයා කරන්නේ. එතකොට ඒ ඇවිදින කාලසීමාව තුල එයාට ඇහෙන හඬ ඒ කියන්නේ අපි දෙබස් උච්චාරණය කරන ආකාරය, ඒ කියන්නේ උච්චාරණය කරන හඬ උස් පහත් බව වැරදි කොතනද  අන්න එතකොට පට් ගාලා හැරිලා කියනවා වැරදියි කියලා. එයා කවදාවත් අපේ මූහුණ දිහා බලන් ඉන්නේ නෑහැ. එයා තමයි මගේ මේ නිකට, ඒ කියන්නේ මම ඉස්සර වේදිකාවේ බොහෝ වෙලාවට රඟපාන කොට  මගේ මූහුණ ටිකක් පල්ලෙහාට තියාගෙන තමයි මම රඟපාලා තියෙන්නේ. ඉතින් හැමදාම වාගේ නාට්‍ය රියසල් කරනකොට  එයා මගේ නිකටෙන් උස්සලා යනවා. මොනවක්වත් කියන්නේ නෑ. පස්සේ එයා නිතරම කරනකොට තමයි මට ඒ ගැන  දැනෙන්න ගත්තේ. පසුව මට වැටහුණා මගේ මේ දුර්වල කමක් තමයි එයා මේ හදන්ඩ යන්නේ කියලා. ඉන්පසුව මම ඒක හදාගත්තා.  ඉතින් විවිධ  අධ්‍යක්ෂකවරුන් යටතේ වැඩ කරනකොට නාට්‍ය රඟපෑම ගැන  දැනුමක් අත්දැකීමක් ලබාගන්න පුළුවන් වෙනවා.

නාට්‍යකරණයට පිවිසීමට  බලාපොරොත්තුව ඉන්න ආධුනිකයන්ට  ඔබෙන් ලැබෙන පිටුවහල කුමක්ද ?

ඒ කියන්නේ මම දැන් හදාගෙන තියෙනවා ‘රංගමාන’ ඇකඩමිය කියලා. දැන් අවුරුදු දෙක තුනකට කලින් සිට  තමයි ඒක ආරම්භ කලේ. මේ ලංකාවේ හැම පැත්තෙන්ම නාට්‍යකරණය  ගැන ඉගෙන ගන්න එන අය එනවා .ඊට අමතරව ‘කිතු රඟ’ සේනා කියලා මගෙම කණ්ඩායමක්  තියෙනවා. 2010 ඉඳලා ඔය පාස්කු නාට්‍ය පෙන්නන්නේ. ඒ මගේ කණ්ඩායමත් එක්ක තමයි. ඒක මම හදාගත්තේ කතෝලික දේවස්ථාන මට්ටමින් සහ නාට්‍ය රඟපාන්න කැමති ඕනෑම අයෙකුට ඒකට එන්න කියලා ආරාධනා කරලා.එහෙම සම්බන්ධ වුණ අය තමයි ඔය කණ්ඩායමේ ඉන්නේ. දැනටත් මේ කණ්ඩායම් මම කරගෙන යනවා. පාසල් මට්ටමෙනුත් මම නාට්‍ය මැඩමුළු පවත්වනවා. ඒක මේ මීගමුවේ පමණක් නෙමයි, මුළු ලංකාවෙම, මම දෙහිඅත්තකන්ඩිය වැනි ඈත පැතිවලට ගිහිනුත් කරනවා.ඉතින් මම නම් හිතන්නේ නැහැ මීගමුවේ මම තරම් නාට්‍ය වැඩමුළු සහ වැඩසටහන් පවත්වන කෙනෙක් තව ඉන්නවද කියලවත්. දැන් මගේ ‘රංගමාන’ ඇකඩමියේ ඉන්න අයගෙන් මම සල්ලි ගන්නේ නෑ. මගේ තව ළමා නාට්‍ය කණ්ඩායමකුත් ඉන්නවා.  පහුගිය කාලේ පෙන්නපු පාස්කු නාට්‍ය, ශාන්ත සෙබස්තියන් මුනිතුමාගේ ජීවිත කතාව , ශාන්ත ජුසේවාස්මුනිතුමාගේ ජීවිත කතාව මේ වගේ නාට්‍ය කරලා තියෙන්නේ මේ  කණ්ඩායම් වල අයත් එක්ක තමයි. අද වෙද්දී මගේ ගෝලබාලයෝ  ගණනාවක්ම ප්‍රසිද්ධ වේදිකාවේ ඉන්නවා. දැන් ඔය නලින් හුසේනා කියන්නෙත් මගේ ගෝලයෙක් ,එතකොට ස්ටේෆාන් තිරිමාන්න ,එතකොට ජයම්පති ඒත් මගේ ගෝලයෝ. මම ඔය ගැන වැඩි කියන්න කැමති නැහැ, මොකද මම ප්‍රසිද්ධියට ප්‍රචාරයට  කැමති නැති කෙනෙක්. මම කවදාවත් ප්‍රසිද්ධිය ගන්නවත් ප්‍රචාරය ගන්නවත් වැඩ කරන කෙනෙක් නෙමෙයි.

දැන් ඔබේ ළමා කාලය තරුණ කාලය ගත්තහම කලාවට තමයි  වැඩිපුරම සංවේදී වෙලා තියෙන්නේ. ඒත් අපේ වර්තමාන  ළමා හා තරුණ පරපුර ගත්තහම ඒ අය මත්කුඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා තියෙනවා. විශේෂයෙන්ම මීගමු පුරවරයේ  වැඩි වශයෙන් අපි ඒක දකිනවා. ඒවගේමයි මේ කුඩා දරුවන් පවා ජංගම දුරකථන වලට වැඩි වශයෙන් ඇබ්බැහි වෙලා තියෙනවා. මේ තත්ත්වය කොහොමද ඔබ දකින්නේ?

මේකේ ඉතිං එදා ඉදලා අපි හැමදාමත් කියන කතන්දරයක්නේ. කාලයට අනුව තාලයට අනුව  මේක නිකම් හරියට චක්‍රයක් වගේ තමයි කැරකෙන්නේ. මේ ලෝකයේ පැවැත්මක්  එක්ක ආරම්භක යුගයේ සිට කලින් කලට ඕක වෙනස් වෙවී යනවා. එක එක රැලි එනවා, එක එක විදි  එනවා. ඒක නැහැයි කියන්න බැහැ.ඒ අනුව තමයි මේ හැඩගැහිලා තියෙන්නේ. ඉතිං අපි කියනවා අපේ කාලේ තමයි සුන්දරම කාලේ කියලා.  සමහර වෙලාවට මේ ළමයි කියයි කවද හරි වයසට ගියහම අපේ ළමා කාලය තමයි සුන්දරම කියලා. ඉතින් අපි දැක්ක සුන්දර  දේ ගැන තමයි අපි කතා කරන්නේ. දැන් අපි කියන්නේ අපේ කාලේ තමයි හොඳම කාලේ කියලා. සමහර වෙලාවට මෙයාලත් කියයි මෙයාලගේ කාලේ තමයි හොඳම කාලේ කියලා.   කාල චක්‍රය අනුව මේ හැමදේම වෙනස් වෙනවා. සමහර අය කියනවා අපි ලිං මැඩියෝ කියලා, දූපත්වාසී මානසිකත්වයෙන් ඉන්නවා කියලා. සමහර අයට සංස්කෘතිය හොඳයි. සමහර අයට සංස්කෘතිය හොඳ නැහැ. ඉතින් විවිධ වූ මිනිස්සු ඉද්දී විවිධ වූ අදහස් තියෙනවා. විවිධ වූ දහම තියෙද්දි. දහමේ අයත් පිස්සු කෙලිද්දි, ගුරුවරුත් පවා පිස්සු කෙලිිද්දී , අපි මොකද කරන්නේ .මේ වාණිජ රටාවත් එක්ක  , යද්දි මෙහෙම වෙනවා තමයි.මගේ නම් අදහස ,මේ සමාජයේ පවතින මෙවැනි තත්ත්වයක් පිරිසිදු කරන්න, පිවිතුරු කරන්න පුළුවන් හොඳම කෙනා තමයි, නිර්මල පූජකයෝ සහ ඒ පිළිබඳව සහෘද හදවතක් තියෙන කලාකරුවෝ. මේ දෙගොල්ලන්ට තමයි මේක වෙනස් කරන්න පුළුවන් වෙන්නේ.

රිචඩ් මානමුදලි ඔහුගේ බිරිද සහ දරුවන් සමග

ගැටළුව තියෙන්නේ ඔබ කියන ඔය දෙගොල්ලොම බහුතරයක් දේශපාලන පක්ෂ ඉදිරියේ ,දේශපාලකයෝ ඉදිරියේ කිසිදු හිරිකිතයකින් තොරව මුදලට ,වරදාන වරප්‍රසාදවලට විකුණන අය වීමයි. මගේ ඊළඟ ප්‍රශ්නය වෙන්නෙත් ඒකමයි. කලාකරුවා දේශපාලනය කිරීම ඔබ කොහොමද දකින්නේ ?

 

සෑම මිනිහෙක්ම දේශපාලනික සත්‍වයෙක්. එතකොට කලාකරුවා ද මිනිසෙක් වන නිසා කලාකරුවා ද දේශපාලනික සත්වයෙක්.ඒක තමයි සත්‍යය. ඔහුගේ නිර්මාණ තුළ තමයි ඔහුගේ ප්‍රකාශනයන් ඉදිරිපත් වෙන්න ඕනේ. කලාකරුවාගේ කාර්යභාරය විය යුත්තේ කලා නිර්මාණ එළි දැක්වීම. එයට සමගාමීව ඔහුගේ මතවාදයන් දර්ශනයන් සමාජගත කිරීම සිදුකළ හැකියි. නමුත් ඔහු දේශපාලන පක්ෂයකට එක්ව පක්ෂග්‍රාහී වුවහොත් ඔහු යම් සීමාවක් ඇතුළේ කොටු වෙනවා. ඔහුට ඒ සීමාවෙන් පිට බලන්න, සීමාවෙන් පිටට යන්න නොහැකි තත්ත්වයකට පත්වෙනවා. ඒ කියන්නේ ඔහු    ඒකපාක්ෂිකත්වයට පත්වෙනවා. පවතින රජයට හරි  පාලකයකුට හරි වැරැද්දට වැරදියි කියන්න ඔහුට අයිතියක් තියෙනවා.ඒක ඔහුගේ නිර්මාණ වලින් කරන්න පුළුවන්.ඇයි අපි එහෙම පහුගිය කාලේ කෙරුවේ නැද්ද. නන්දා මාලනියන්ගේ “පවන”  ප්‍රසංගය ආවේ කොහොමද.  එතකොට ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ “ඒකාධිපතියා ” කියන නාට්‍ය බිහිවුණේ කොහොමද.  ඒවා එයාලා දේශපාලන  පක්ෂයකට ගිහිල්ලා කෙරුවෙ නෑනේ. එයාලා වේදිකාව තුළදී ඒවා මුදාහැරිය විතරයි.  මැක්සිම් ගෝර්කි “අම්මා” බිහි වෙන්නේ කොහොමද. ඒවා බිහිවුණේ දේශපාලන පක්ෂයකට ගිහිල්ලා නෙමෙයි. මම දේශපාලන පක්ෂයකට යන්නේ නැහැ.හැබැයි මම මගේ නිර්මාණ තුළින්  වේදිකාවේදී මම මුදා හරිනවා ,මට සමාජයට කියන්න ඕන දේ. දැන් මගේ ” දෙලීලා” කියන සුවතන්ත්‍ර නිර්මාණයෙනුත් මම කතා කරන්නේ  ඉතින් මම ඒක කියන්න දේශපාලන පක්ෂයකට ගියේ නැහැනේ. ඉතිං මම කියන්නේ දේශපාලන පක්ෂයකට ගිහිල්ලා පක්ෂග්‍රාහී උනොත් අපිට පේන්නේ එක පැත්තක් පමණයි. අපිමනේ කියන්නේ එක එක කන්නාඩි දාගන්න එපා කියලා. මම ස්වාධීනව ඉඳගෙන මගේ නිර්මාණ තුළින් මගේ දර්ශනය මම සමාජයට එළි දක්වනවා . ඒ නිසා මම විශ්වාස කරනවා කලාකරුවා කිසිදු විටෙක දේශපාලන පක්ෂයකට නතුව පක්ෂයක් ග්‍රාහී නොවිය යුතු සේම ඔහු ස්වාධීන පුද්ගලයෙක් විය යුතුයි කියලා.

ඔබ, පාස්කු නාට්‍ය කලාවට දැඩිව ඇලුම් කරන නිර්මාණකරුවෙක්. විශේෂයෙන්ම ඔබ පසන් සහ පාස්කු නාට්‍ය කිහිපයක්ම නිර්මාණය කරලා තියෙනවා.ඔබට හිතෙන්නේ නැද්ද වර්තමානයේ රඟ දැක්වෙන පාස්කු නාට්‍යය අතීතයේ සිට පැවත එන ඒ  සම්ප්‍රදායන්ගෙන් ඔබ්බට ගිහිල්ලා නව තාක්ෂණික අංග මෙවලම් එකතු කරගෙන ඒ සාම්ප්‍රදායික පාස්කු නාට්‍ය ගුණය යටපත් වෙලා තියෙනවා කියලා?

මෙහෙමයි. දැන් අපි ගමුකෝ නාඩගම් වගේ සම්ප්‍රදායක්.  ඒ කාලේ තිබුණු සම්පත් උපයෝගී කරගෙන තමයි  ඔය නාඩගම් කියන ඒවා බිහිවෙලා තියෙන්නේ. ඇයි පොල් කොට ගහලා ස්ටෙිජ් හැදුවේ, ඇයි පොල් කොල එල්ලුවේ. ඇයි තිර දැම්මේ.ඒවා ඒ කාලවකවානුව  තුළ තිබිච්ච සම්පත්. ඒ කාලේ එයාලට තිබිච්ච දේවලින් උපරිමය තමයි ඔය කරලා තියෙන්නේ. පාස්කුව සම්බන්ධයෙන් ගත්තම පාස්කු කියන්නේ භක්ති අභ්‍යාසයක්. පාස්කුව කියන්නේ නාට්‍යමය දෙයක් නෙමෙයි. ඒකෙදි කොහෙන් ගියත් ජේසුට භක්තිය දෙන්න තමයි උත්සාහ කරන්නේ.ජේසු ක්‍රිස්තුන් වහන්සේව මරලා දාපු එක  මිනිස්සුන්ට වේදනාවක් දුකක් ඇති කරලා ,ඇයි උඹල පව් කරන්නේ. උඹලා පව් කාරයෝ වෙන්න  එපා පව් වලින් වැලකියල්ලා කියන එක තමයි ඔය භක්ති අභ්‍යාසයෙන් කරන්නේ. එතකොට ඒ භක්ති අභ්‍යාසය කරද්දි ඒ කාලෙ ඒ අය දැනගත්තු ක්‍රමවේදයන් තමයි ඔය පාවිච්චි කරලා තියෙන්නේ. ඒ ක්‍රමවේදයන් ඔස්සේ තමයි ඒවා කෙරුවේ. ඉතින් පහුකාලීනව දුවේ පාස්කු පෙන්නද්දි ඇයි අද එයලා මයික්ස්  පාවිච්චි කෙරුවේ. ඒ කාලේ මයික්ස් තියෙන්න හේතුවක් නෑනේ. එතකොට ඒ කාලේ එයාලා නිකන් කෑගහලා කියන්න ඇති. සංගීතය සම්බන්ධව ගත්තත් එහෙම තමයි. දැන් එතකොට දෙබස් රෙකෝඩ් කරන්නේ. ඒකත් අර කාලෙන් කාලෙට අලුත් ක්‍රම  අහපුවාම ඒ ක්‍රම අනුගමනය කරන්න වෙනවා .ඒ ඒ කාලවකවානුව අනුව ප්‍රේක්ෂකාගාරයේ මිනිසුන් වෙතට යන්න හොඳම ක්‍රමය තෝරගන්නවා. ඒ අය තෝරගන්න පෙළඹෙනවා. දැන් පිටිපන පාස්කුව මුලින්ම පෙන්නලා තියෙන්නේ ප්‍රතිමාවලින්.  පස්සේ අවසානම ටික පෙන්නන්නේ පල්ලිය ගාව.  කාලයක් යද්දි ඒ පැමිණෙන අලුත් දේවල් යොදා ගැනීම වරදක් නෙවෙයි. හැබැයි සම්ප්‍රදාය කියන්නේ ඒ තියෙන තාල වර්ග   විවිධ වූ හැඩතල වගේ දේවල් වෙනස් නොකර තියන් ඉන්නත් ඒ අයගේ කැමැත්තට ඒවා භාවිතා කරන්න පුළුවන්. දැන් එදා හිටපු අයද  අද ජීවත් වෙන්නේ. ඒ නිසයි එදා ඇතිවෙච්ච ඒ දේවල්වලට අලුත් අලුත් දේ විශේෂයෙන්ම නව තාක්ෂණය වගේ දේවල් එකතු වුණාට කමක් නැහැ මොකද අද ඉන්න සමාජයට ඒවා යාවත්කලීන  නොවුනොත් අද ඉන්න සමාජයට ඒවා බලන්න බැහැ. ඒ නිසා මම කියන්නේ ඒ කතාවට හානියක් නොවෙන විදිහට  නව තාක්ෂණික මෙවලම් නව සංගීතය වගේ දේවල් යොදා ගත්තට ප්‍රශ්නයක් නෑ කියලයි .

ඔබේ ඉදිරි  බලාපොරොත්තු සහ ඔබේ පවුලේ විස්තර ටිකක් දැනගන්න කැමතියි ?

මම ලොයෙලා විද්‍යාලයේ ගුරුවරයෙක් විදිහට වැඩ කරලා මේ වෙද්දි  දැන් ගුරු වෘත්තියට සමුදීලා, පූර්ණ වශයෙන් කලා කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නේ. වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සහ චිත්‍රපටි  කිහිපයකටම රඟපාන්න ආරාධනා ලැබිලා තියෙනවා , මේ වෙද්දිත්. මම නිර්මාණය කරපු ” වක්‍ර ” කියන ටෙලි නාට්‍යයේ මගේ පුතා තමයි ප්‍රධාන චරිතය රඟපාන්නේ. මට පුතයි , දුවලා තුන්දෙනයි. මගේ බිරිඳ උදේනි කහසිංහ ළදරු පාසැලක් කරනවා. ඇය ඒහි ප්‍රධාන  ගුරුතුමිය. මම ඇයව විවාහ කර ගත්තේ අවුරුදු 11 ක ප්‍රේම සම්බන්ධතාවයකින් පසුව. මගේ දුවලා තුන්දෙනත් ඒ ළදරු පාසලේ  ගුරුවරියන් විදිහට කටයුතු කරනවා. ලොකු දුව විවාහ වෙලා ඉන්නේ, දුවගේ මහත්තයා අමිළ රසාංග. ඒයාත් කලාවට සම්බන්ධයි. ඒයා ශබ්ද පරිපාලකවරයෙක් විදිහට කටයුතු කරනවා.
මම සුපුරුදු ලෙස කලා කටයුතු කරගෙන ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම මට ආරාධනාවක් ලැබුණොත්  කලාව තුළ මා සතු මගේ දැනුම සහ  මට තියෙන අත්දැකීම් බෙදා හදාගෙන , නාට්‍යකරණය සහ කලාව පිළිබඳව ඕනෑම කෙනෙකුට ගුරුහරුකම් දෙන්න මම ඕනෑම වෙලාවක සූදානම්.

වර්තමානයේ වේදිකා නාට්‍යවලට එහෙම නැත්නම් කලාවට  ප්‍රවිෂ්ඨ වීමට බලාපොරොත්තුවෙන් සිටින නවකයන්ට මොනවද කියන්න තියෙන්නේ ?

ඒ අයට නම් කියන්න තියෙන්නෙ හදිස්සි වෙලා නම් වැඩ කරන්න බෑ කියන එකයි.මොකද අද කාලේ හැම කෙනෙකුටම ඕනේ ඉතා ඉක්මනට එහෙම නැත්නම් ක්ෂණිකව නළුවෙක් ,නිළියක් වෙන්න. නළුවෙක් නිළියක් වෙලා රූපවාහිනියට යන්න, රූපවාහිනියට කොහොම හරි මුහුණ පෙන්නලා ජනප්‍රිය වෙන්න, ජනප්‍රිය වෙලා සල්ලි හම්බ කරන්න. ඕක තමයි අලුත් අයගේ පරමාර්ථය. ඒක එහෙම ක්ෂණිකව කරන්න බෑ දැන්.ඔය ඕන තරම් ඉන්නවනේ රූපවාහිනියේ. ටෙලිනාට්‍යවල රඟපාන ලස්සන කෙල්ලො, කොල්ලෝ. ඉතින් ඒ අයගේ පැවැත්මත් දැකලා ඇතිනේ. දැන් කෝ ඒ අය. ඉතින් මේකෙ කාරණය, මුලින්ම  පැවැත්මක් හදාගන්න ඕන. පැවැත්මක් හදාගන්න නම් විද්‍යාත්මකව මේ ගැන ඉගෙන ගන්න ඕන.  අවුරුදු 44 ක් තිස්සේ ඒ ගැන තවම මම ඉගෙන ගන්නවා. මම තවම රඟපාලා ඉවර නෑ. තවම මගේ නිර්මාණකරණය අවසන් වෙලා නැහැ.  තමන් ජනප්‍රියත්වය පස්සෙ ගියොත් ඉන්න වෙන්නේ බොහොම සුළු කාලයයි. ජනප්‍රිය වෙනවට වඩා බලන්න ඕනේ පැවැත්මක් හදාගන්න. පැවැත්මක් හදාගත්තොත් ජනප්‍රියත්වයත් නිකම්ම ලැබෙනවා. හැබැයි ඒකට කාලයක් ගත වෙනවා.  අනිවාර්යයෙන් හොඳ කලාකරුවෙක් වෙන්න නම් මුලින්ම මනුස්සකම තියෙන්න ඕන. මනුස්සකම නැතුව කලාකරුවෙක් වෙන්න බැහැ. මම උගන්වන ළමයින්ටත් මම කියන්නේ නිතරම , මුලින්ම හොඳ මනුස්සයෙක් වෙන්න, මුලින්ම හොඳ ගැහැනියෙක් වෙන්න කියලා, ඊට පස්සේ පුළුවන් හොඳ කලාකරුවෙක් වෙන්න. ඕක තමයි මට අවසානයට දෙන්න තියෙන උපදෙස.


සාකච්ඡා සටහන – තුෂාර රොහාන්