ඔවුන් තම චරිතය ඉදිරිපත් කරද්දී හරියට අතපය විසි කෙරුවා. සුජාතා ඒ ශෛලියෙන් මිදුණා. බාරි බෙහෙන් කියන හින්දි චිත්‍රපටයට අනුවයි එය නිර්මාණය වුණේ. සුජාතා චිත්‍රපටයට පෙර ප්‍රේම තරඟය කියලා චිත්‍රපටයක් හැදුණා.
එහි කතාව, දෙබස්, තිර රචනය හා සංගීත රචනය හියුගෝ ප්‍රනාන්දුගෙනි. පළමුව මේසන් බාස් කෙනෙක් වූ ඔහු හොඳ රසවතෙක් විය. ප්‍රේම තරඟය චිත්‍රපටයේ තිබුණා ඉතාම ලස්සන ගීතයක්.
‘හොඳ හොඳම වේය ලොව කිසිම තැනක නැහැ
නොහොඳ නරක දිනුවෙ
හිත ඊර්ෂ්‍යමාන ගති නැති නිසා අපි
ප්‍රේම තරඟෙ දිනුවේ’
ඒක තමයි මේ. බලන්න ඒ ගීතයේ පදමාලාව කොතරම් සෞම්‍යද? හියුගෝ ගීත රචනයට කොතරම් දක්ෂයෙක් ද යැයි පවසන්න පුළුවන් හොඳම උදාහරණය තමයි මේ. මෙහි ඇති සුන්දරත්වය නිසාම අදටත් මේ ගීය ඉතාම ජනප්‍රියයි. හියුගෝට සිංහල භාෂාව පිළිබඳ හොඳ ඥානයක් තිබුණා. ඔහු ඉන් උපරිම ප්‍රයෝජන ගත්තා. පසුකාලීනව හියුගෝ එස්. එම්. නායගම් ගාව ස්ථිර සේවකයෙක් ද වුණා. ඔය කාලේ ආවා ජනප්‍රිය සිනමාවේ සංධිස්ථානයක් බඳු වූ චිත්‍රපටයක්.
ඒ මාතලන්. එහිද කතාව, දෙබස්, තිර රචනය හියුගෝගේ. ක්ලැරිස් ද සිල්වා තමයි ප්‍රධාන චරිතය රඟපෑවේ. හියුගෝ ඇගේ පියාගේ චරිතයට පණ පෙව්වා. මාතලන් කොයි තරම් සුන්දර ද කියලා කියනවා නම් මං ඒක නව සැරයක් බැලුවා. ඒත් එපා වුණේ නැහැ. අදටත් පෙන්නුවොත් මං නොවැරැදීම බලන චිත්‍රපටයක් ලෙස මාතලන් හඳුන්වා දිය හැකියි. පසුකාලීනව හියුගෝ දුප්පතාගේ දුක, සූරයා, වනමෝහිනී, අහංකාර ස්ත්‍රී, චණ්ඩියා, ධීවරයෝ ආදී චිත්‍රපට රැසක රඟපෑවා.
මා ඔබට පැවසුවා ප්‍රේම තරඟය චිත්‍රපටය ගැන. මා සිතන පරිදි එය තමයි සිංහල සිනමාවට වැඩිපුරම මෙහෙවරක් කළ චිත්‍රපටය. මා එසේ කියන්නේ එය සමඟින් හෙළ සිනමාවේ අසහාය ශිල්පීන් රැසක් බිහිවීම හින්දයි. ආර්. මුත්තුසාමි, ලතා, ධර්මදාස යුවල, අයේෂා විරකෝන්, ලැඩී රණසිංහ, අරුණ ශාන්ති අන්න ඒ පිරිසයි. ප්‍රේම තරඟයෙන් බිහි වූ විශිෂ්ටතම නළුවා හැටියට ලැඩී රණසිංහව හඳුන්වා දිය හැකියි. අරුණ ශාන්ති ජනප්‍රිය වුණේ ද මෙම චිත්‍රපටයෙනි. අයේෂා වීරකෝන් රංගනයෙන් ඈත් වෙලා ලේක්හවුස් ආයතනයේ සේවය කළා. ඇය විවාහ වුණේ හැරල්ඩ් හේරත් කියන ඇමැතිවරයාත් එක්ක. පසුව අයේෂා තම නම හැටියට භාවිත කළේ ග්ලෙන් හේරත් කියලා. ඇය ඉංග්‍රීසි භාෂාවෙන් අදත් ලියනවා. ප්‍රේම තරඟයෙන් ජනප්‍රිය වූ අරුණ ශාන්තිට එක දිගට චිත්‍රපට ගලාගෙන ආවා. ඔහු එකල සිටි සුපිරි තරුවක් යැයි මා පැවසුවොත් එය වැරැදි නැහැ.
කැලෑහඳ, සුජාතා ආදි චිත්‍රපට බිහි වන විට අපට සිටියේ පසුබිම් ගායක ගායිකාවෝ පස් දෙනයි. ඒ රැක්මණී දේවි, ලතා වල්පොල, ධර්මදාස වල්පොල, මොහිදීන් බෙග් සහ ජී. එස්. බී. රාණි පෙරේරා. ඊට අමතරව කේ. රාණි සහ ජමුනා රාණි ආදී ඉන්දීය ගායිකාවනුත් මෙරට චිත්‍රපටවල පසුබිම් ගායනා කළා. සුජාතා චිත්‍රපටයත් එක්ක සිනමාස් සමාගම ජනප්‍රිය වුණා. ඒ කේ. ගුණරත්නම්ගේ පාලනය යටතේ.
ඒ අවදියේ සර් චිත්තම්පලම් ඒ. ගාඩිනර් සිලෝන් තියටර්ස් සමාගමත්, ජබීර් ඒ. කාදර් සිලෝන් එන්ටර්ටේන්මන්ට් ආයතනයත් පවත්වාගෙන ගියා. ඒ කාලයේ මේ ආයතන තුන තමයි සිංහල සිනමාව පාලනය කළේ. ඒ හින්දා ඔවුන් තම තමන්ගේ ලාභය බැලුවා මිසක කිසි අයෙකු ගැන හිතුවේ නැහැ. සමස්ත සමාජයෙන් නළු නිළියන්ට ඉහළ පිළිගැනීමක් ලැබුණාට ඔවුන් නම් නළු නිළියන්ව සත පහකට ගණන් ගත්තේ නැහැ. කෙටියෙන්ම කිව්වොත් ඇතැම් නිෂ්පාදකවරු එනකොට නළු නිළියන් තම ආසනෙන් නැගිටින්න ඕනෑ. එතරම්ම නළු නිළියන් හෑල්ලුවට ලක් වුණා. හියුගෝ මාස්ටර් ඊට එරෙහිව පාරට බැස්ස නළුවෙක්.
ඔහු මේ අසාධාරණකම්වලට විරුද්ධව ක්‍රියා කළා. ඔන්න දවසක්දා ගාමිණී ෆොන්සේකා සිලෝන් තියෙටර්ස් එකට එනවා. එහි ගේට්ටුවෙන් තමන්ගේ වාහනය ඇතුළු කරද්දී ඔහුට පෙනුණා එකල ජනකාන්ත නළුවෙක් කෑම කාලා පාරේ පයිප්පෙන් අත හෝදනවා. ඊට පස්සේ ඒ ටැප් එකටම කට තියලා ඔහු වතුර බීලා. ගාමිණී මේක දැකලා හොඳටම උරණ වුණාලු. මේ සිද්ධිය හින්දා තමයි ගාමිණී නළු නිළියන්ගේ ගරුත්වය ආරක්ෂා වන විදිහේ වැඩ පිළිවෙළක් පටන් ගත්තේ.
ඉස්සර ඔය චිත්‍රපට සමාගම් හිතුවක්කාරව වැඩ කළා. හිතුමතේ සිනමාපට ගැලෙව්වා. නළු නිළියන් තම සමාගම්වල හිර කරගන හිටියා. එඩී, රුක්මණී සහ ගාමිණීට පමණයි යම් හෝ සැලකීමක් තිබුණේ. ඔය අතරේ කේ. ගුණරත්නම් ‘කලා’ නම් වූ සඟරාවක් බිහි කළා. ජයවිලාල් විලේගොඩ දිනමිණ පත්තරේ රඟමඬල නමින් කලා පිටුවක් පටන් ගත්තා. කලා විත්ති තිබුණේ ලංකාදීප පත්තරේ. එය සංස්කරණය කළේ ධර්ම ශ්‍රී කල්දේරා. මමත් කාලයක් ඒකට ලිව්වා. සාමාන්‍යයෙන් කලා පිටුවක් පත්තරේ යන දිනට එම පත්තරේ පිටපත් දහස් ගණනින් අලෙවි වෙනවා.
ඉස්සර නළුවෙක්, නිළියක්, පිටපත් රචකයකු බිහි වීම පුදුමයක් කොටයි සැලකුවේ. ලංකාවේ අධ්‍යක්ෂවරයකු හිටියා නම් ඉතාම සීමිත ප්‍රමාණයක් පමණයි. ඒ හින්දා ටී. ආර්. සුන්දරම්, පී. නීලකන්ටන්, එම්. මස්තාන්, ඒ. බී. රාජ් වැනි ඉන්දීය අධ්‍යක්ෂවරු මෙරටට ආවා. ඔය අතරේ හිටියා ටී. සෝමසේකරන් කියලා පුද්ගලයෙක්. ඔහු තමයි සුජාතා චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකරු. ඒ වගේම ඔහු ඉතාම දක්ෂ ප්‍රචාරක අධ්‍යක්ෂවරයකු බවටත් ප්‍රකටයි.
ඔහු සුජාතා චිත්‍රපටයේ එන ප්‍රේම ගඟේ මැණික් වගේ ගීතයට ෆ්ලොරිඩා ජයලත් සහ ප්‍රේම් ජයන්ත් බදාගෙන ඉන්න පින්තූරයක් අඩංගු පෝස්ටරයක් නිර්මාණය කළා. ප්‍රේම් හිටියේ ෆුල් කිට් එක ඇඳලා. ෆ්ලොරිඩා සාරියකින් සැරසිලා හිටියේ. ෆ්ලොරිඩා බිම වැතිරිලා. ඊට උඩින් ප්‍රේම් ඉන්නවා. ඒ හිටපු විදිහට ෆ්ලොරිඩගේ සාරියේ තිබුණු සාරි කටු ප්‍රේම්ගේ ඇඟේ ඇනෙන්නත් ඇති. කොහොම නමුත් මේ පෝස්ටරය මහත් වූ ආන්දෝලනයක් රටපුරා ඇති කළා. සුජාතා චිත්‍රපටය දිව්වේ සෝමසේකරන්ගේ මේ මාකටිං උපක්‍රම හින්දා. ඔහු ෆ්ලොරිඩා සොයා ගැනිම පිළිබඳ අපූරු කතා පුවතක් කියනවා. ඒ වගේම සෝමසේකරන් අධ්‍යක්ෂණය කළ සැඩසුළං චිත්‍රපටය එන්න කලින් රට පුරා අලවපු පෝස්ටරය ගැනත් මෙහිදී කතා කළ යුතුමයි. අපි එය ඊගාව සතියට කල් දාමු.
අර්නස්ට් වඩුගේ ගේ අතීතයෙන් මීබිඳු සටහන් කරන්නේ
ප්‍රසාද් සමරතුංග
http://www.sarasaviya.lk