පාවෙන අවි ගබඩා යනුවෙන් හඳුන්වන්නේ සාගරයේ නැංගුරම් ලා තිබෙන අවි ආයුධ පුරවනු ලැබූ නෞකාය. මෙහි සුළු අවි රොකට් විදින ශරීරාරක්ෂක ඇඳුම්, උණ්ඩ, දුර බලන කණ්ණාඩි ආදී සුළු මෙහෙයුමක් සඳහා අවශ්‍ය වන උපකරණවලින් සමන්විතය.
එහෙත් මේවා යුද නැව් නොවේ. මෙම නැව් නාවික හමුදාවට අයත් නැති අතර පෞද්ගලික ආරක්ෂක සේවා සමාගම් විසින් පවත්වාගෙන යනු ලබයි. අවි ගබඩා කිරීම වෙනුවෙන්ම පවත්වාගෙන යන අතර ඒ නැංගුරම් ලන්නේ ජාත්‍යන්තර මුහුදේය. එහි ආරක්ෂාව, පරිපාලනය ආරක්ෂක සමාගම් වෙතින් සිදු වේ.
මෙම පාවෙන අවි ගබඩා මොකටද?
ජාත්‍යන්තර මුහුදේ ගමන් ගන්නා භාණ්ඩ ප‍්‍රවාහන යාත‍්‍රා හා ධීවර යාත‍්‍රාවන්හි ආරක්ෂාව වෙනුවෙන් අවි ආයුධ ලබා දීම හෝ ගබඩා කරගැනීම ඉන් සිදු කරයි.
එහෙත් එය ලබා දෙනු ලබන්නේ යම් නාවික යාත‍්‍රාවකට ආරක්ෂාව ලබා දෙන ලෙස, එහි නියෝජිත ආයතනයක් වන පෞද්ගලික ආරක්ෂක සමාගමක එම නියෝජිත ආයතනය එම රටෙහි පිහිටි සමුද්‍ර ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් වන රාජ්‍ය ආයතනයෙන් ඒ වෙනුවෙන් සෙබළුන් (සී මාර්ෂල්වරු) හා ආයුධ ඉල්ලා සිටින අතර ඒ සඳහා නාවික සමාගම මඟින් ගෙවීමක් සිදු කරනු ලැබෙයි. මෙම සී මාර්ෂල්වරු සඳහා අවශ්‍ය අවි ආයුධ නිකුත් කිරීම එම රාජ්‍ය ආයතනය හා සම්බන්ධව ඇති පාවෙන අවි ගබඩාවක් මඟින් සිදු වේ. මෙරට ක‍්‍රියාත්මක වූ පිළිවෙළ අනුව ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වන ‘රක්නා ආරක්ෂක ලංකා’ සමාගම මෙලෙස සී මාර්ෂල්වරු හා ආයුධ ලබා දෙන අතර ආයුධ නිකුත් කිරීම සිදු වූයේ ඇවන්ට්ගාඞ් සමාගම විසින් පවත්වාගෙන ගිය මහනුවර නම් නෞකාවෙනි. එහි පරිපාලනය ද රක්නා ලංකා සමාගම යටතේ සිදු විය. මීට අමතරව රතු මුහුදේ හා අරාබි මුහුදේ ද මෙම සමාගම පාවෙන අවි ගබඩා 2ක් පවත්වාගෙන ගියේය. (නාවික ආරක්ෂාව සලසා දෙන නියෝජිත ආයතන 20කට වැඩි ප‍්‍රමාණයක් මෙරට ඇති අතර ලෝකය පුරා එවැනි ආයතන 450කට ආසන්න ප‍්‍රමාණයක් ඇති බව පැවසේ)
පාවෙන අවි ගබඩාව පවත්වාගෙන යන නැව අදාළ රටක ලියාපදිංචි විය යුතු අතර එම රටේ කොඩිය ප‍්‍රදර්ශනය කළ යුතුය. පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජාත්‍යන්තරව විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ සම්මුති හා ජාත්‍යන්තර නාවික සංවිධානයේ (IMO) නීති රීති ගණනාවක් තිබේ.ඒවා උල්ලංඝනය කිරීම එම ව්‍යාපාරය ‘බ්ලැක් ලිස්ට්’ කිරීම එනම් නීති විරෝධී බව ප‍්‍රකාශ කිරීමක් වෙයි. විශේෂයෙන් එක්සත් රාජධානිය මේ සම්බන්ධයෙන් මෑතක දී නව නීති රීති ගණනාවක් හඳුන්වා දී තිබේ. එහෙත් ශ‍්‍රී ලංකාවේ තවමත් මේ සම්බන්ධයෙන් පැහැදිලි නීති රීති නැත.
කෙසේ නමුත් ජාත්‍යන්තර මුහුදේ අවි ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා කිසිවකුගෙන් අවසරයක් ලබාගත යුතු නැත. ඊට සරිලන නැවක් හා අනෙක් හැකියාවන් තිබෙන ඕනෑම අයකුට එය සිදු කළ හැකිය. එයට එක්සත් ජාතීන්ගේ හෝ අනුමැතියක් අවශ්‍ය නොවේ. එක්සත් ජාතීන්ගේ එකම කොන්දේසිය ඔවුන්ගේ සම්මුතීන් අනුව එය පවත්වාගෙන යාම පමණය.
මෙම ඉතිහාස කතාව සුප‍්‍රකට සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන්ගේ කතන්දර හා බැඳී පවතින්නකි. මෙම මුහුදු මංකොල්ලකරුවන්ගේ කතාවට බොහෝ දිගු ඉතිහාසයක් තිබේ. අප‍්‍රිකාවේ දකුණුදිග තීරයේ සිට බටහිර දෙසින් ඉතාලිය හා ඉන්දියාව දෙසටත් චීනය දෙසටත් අතීතයේ වූ ප‍්‍රධාන මුහුදු මාර්ගය වැටී තිබුණේ සෝමාලියානු රාජ්‍යය ආසන්නයෙනි. අප‍්‍රිකානු මහාද්වීපයේ බටහිර තුඩුව (Horn of Africa) ආශ‍්‍රිතව සෝමාලියාව පිහිටා ඇත. ඉතිහාසයේ ඈත අතීතයේ පටන් සෝමාලියාවේ මැර කණ්ඩායම් තම රාජ්‍යය අසලින් යන වෙළෙඳ නෞකා කොල්ල කෑමෙහි යෙදිණි.
හැත්තෑව දශකයේ දී සූවස් ඇළ කැපීම නිසා ලෝකයේ ප‍්‍රධානම නාවික මාර්ගය පැනමා ජිබ්‍රෝල්ටා සූවස් ඇළ හරහා රතු මුහුදටත් එතැනින් ශ‍්‍රී ලංකාව දෙසින් මලක්කා සමුද්‍ර සන්ධිය හරහා වැටී තිබේ. දිනකට නැව් සිය ගණනක් මේ මාර්ගයෙහි ගමන් ගනී. නමුත් සාම්ප‍්‍රදායික මුහුදු මංකොල්ලකරුවන්ගේ බලපෑමෙහි අඩුවක් වූයේ නැත.
මේ අතර සෝමාලියා රාජ්‍යයෙහි වූ දේශපාලන අර්බුද හේතුවෙන් රට අරාජික වූ අතර විවිධ කැරැලිකාර කණ්ඩායම් විසින් රටෙහි කොටස් බෙදා වෙන් කරගෙන පාලනය කරන්නට විය. එහෙත් රට පවත්වාගෙන යාම සඳහා ශක්තිමත් ආර්ථිකයන් ගොඩනගා ගැනීමට මේ කිසිදු පාර්ශ්වයකට නොහැකි වූ අතර ඔවුන් සතුව තිබූ එකම විකල්පය වූයේ වෙළෙඳ නෞකා කොල්ල කෑම හා වෙනත් නෞකා පැහැර ගෙන කප්පම් ලබා ගැනීමය. සාමාන්‍යයෙන් නැවක් පැහැර ගත් පසුව ඒ නිදහස් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 8ක පමණ කප්පම් මුදලක් ඉල්ලා සිටින අතර සාකච්ඡා කර එය මිලියන 6කට පමණ අඩු කරගත හැකිය. පසුගිය වසර තුළ මෙලෙස කොල්ල කෑමට ලක් වූ දේපළ ප‍්‍රමාණය ඩොලර් බිලියන 6ත් 7ත් අතර ප‍්‍රමාණයක් ලෙස සැලකේ. ඇතැම් තොරතුරු වාර්තා වන්නේ ද නැති බව මේ සම්බන්ධයෙන් කටයුතු කරන අන්තර්ජාතික සංවිධාන පෙන්වා දෙයි.
මෙහි දී වඩාත්ම අවදානම්සහගත කලාපය ලෙස සැලකෙන්නේ රතු මුහුද, ගල්ෆ් අෆ් එඩෙන් අරාබි මුහුද, ඉන්දියන් සාගරය හා මොසැම්බික් චැනල් යන ප‍්‍රදේශයන්ය.
මේ තත්ත්වය මෑත භාගයේ දී උත්සන්න විය. සාමාන්‍යයෙන් දිනකට මෙම ප‍්‍රදේශයන්හි කොල්ලකෑම් සිද්ධි විස්සකට වැඩි ප‍්‍රමාණයක් වාර්තා වෙයි.මේ නිසා ජාත්‍යන්තර නැව් සමාගම් මහත් අර්බුදයකට ලක් විය. එමෙන්ම නාවික රක්ෂණ සමාගම්වලට ද මේ වෙනුවෙන් වන්දි ගෙවීමට අපහසු වූ අතර රක්ෂණ ගාස්තු නැංවීය. වෙනත් විකල්පයන් නොවුණු තැන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටියේ මෙය ජාත්‍යන්තර ප‍්‍රශ්නයක් ලෙස සලකා මෙයට කවුරුන් හෝ මැදිහත් වී විසඳුමක් ලබා දිය යුතු බවය. එය රටක් හෝ සංවිධානයක් විසින් හෝ භාරගත යුතු බවය.
ඒ අතරම එක්සත් ජාතීන් බහුජාතික හමුදාවක් මේ වෙනුවෙන් නිර්මාණය කළේය. සෝමාලියාවේ බටහිර තුඩුවේ, කඳවුරක් පිහිටු වීය. කොල්ලකෑම බහුලව සිදු වන මෙම ප‍්‍රදේශය දැඩි අවදානම් කලාපයක් ලෙස ද නම් කරනු ලැබීය. නමුත් එය සාර්ථක වූයේ නැත. මේ අතරේ දී බි‍්‍රතාන්‍යයන් විශේෂයෙන්ම හමුදා කාණ්ඩවලින් විශ‍්‍රාමික ලැබූවන් මෙම නැව් සඳහා ආරක්ෂාව සැපයීමට ඉදිරිපත් විය. කුඩා කණ්ඩායම් හදාගෙන මෙම පිරිස් නැව්වලට නැඟි නමුත් ඒ වන විටත් බි‍්‍රතාන්‍යයේ පෞද්ගලික ආරක්ෂක සමාගම්වලට හෝ නීත්‍යනුකූලව අවි නිකුත් කිරීමක් සිදුව නොතිබිණි. මේ නිසා නීති විරෝධී අවි භාවිතයට ගැනුණි. යේමනය හෝ ඒ අවට කුඩා රාජ්‍යයන්වලින් එම අවිවලට නීත්‍යනුකූල සහතික ලබා ගැනීමේ හැකියාව තිබූ බව පැවසේ.
එහෙත් එම අවි භාවිත කිරීම හෝ වෙළෙඳ නෞකාවක රැගෙන යාමට අවසර තිබුණේ මෙම දැඩි අවදානම් කලාපය තුළ දී පමණි. මේ නිසා අවදානම් කලාපයෙන් ඉවත් වූ විට මෙම අවි මහ මුහුදට හැර දැමීම සිදු විය. නීති විරෝධී අවි මිලට ගැනීම හා ඒවා නැවත මුහුදට දැමීමේ පිරිවැය ද නැව් සමාගම්වලට දරන්න වී තිබිණි. මෙය ද පාඩු සිදු වන ක‍්‍රියාවක් විය.
පසුව 2009 වසරේ දී බි‍්‍රතාන්‍ය නැව් සමාගමක ශ‍්‍රී ලංකාවේ නියෝජිත ආයතනය වූ Wilhemsen Ship Management ආයතනය විසින් මෙරට ආරක්ෂක අමාත්‍යාංශයට ගොස් තමන්ගේ මව් සමාගමේ නැව් ප‍්‍රධාන මුහුදු මාර්ගයේ ගමන් ගන්නා බවත් සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් එල්ල වන තර්ජන ගැනත් පැහැදිලි කර දී මේ සඳහා ඒ වන විට අනුගමනය කරනු ලබන ආරක්ෂක පිළිවෙත ගැන ද පැහැදිලි කිරීමක් සිදු කළේය. මෙලෙස මුහුදට අත හරිනු ලබන ආයුධ ගාල්ල වරායේ ගබඩා කිරීමටත් ආපසු ගමනේ දී යළි රැගෙන යාමේ පහසුකමත් ලබා දිය හැකිද යන්න විමසා තිබිණි. ඒ අනුව ගාල්ල වරාය සමඟම නාවික හමුදා කඳවුර පිහිටා තිබීමත් මෙමඟින් මෙරටට ආදායමක් ලැබීමේ හැකියාව ද ඇති නිසා එම කටයුත්තට ආරක්ෂක අමාත්‍යාංශය එකඟ විය.
ඒ අනුව මෙම විදේශ අවි ගබඩා කිරීම ශ‍්‍රී ලංකා නාවික හමුදාව පළමු වරට ආරම්භ කරනු ලැබීය. මෙලෙස නාවික ආරක්ෂාව වෙනුවෙන් ශ‍්‍රී ලංකාවෙන් සී මාර්ෂල්වරු සැපයූ මුල්ම සමාගම වූයේ Secure West නමැති බි‍්‍රතාන්‍යයේ පෞද්ගලික ආරක්ෂක සමාගමයි.
මේ අනුව මලක්කා සමුද්‍ර සන්ධිය පසු කරමින් එන බි‍්‍රතාන්‍ය නෞකාවට සී මාර්ෂල්වරුන්ව ගාල්ලෙන් නංවාගනු ලබයි. නාවික හමුදා ගබඩාවෙන් ආයුධ ලබා ගැනීම ද එහි දී සිදු වෙයි. මෙම සී මාර්ෂල්වරු තමන්ට රාජකාරී පැවරුණ නෞකාවට ගොඩ වීම සඳහා එම නැව ගාල්ලට පැමිණීමට පෙර දින බි‍්‍රතාන්‍යයේ සිට ගුවනින් කටුනායකට පැමිණ එතැනින් ගාල්ලේ නවාතැන් ගනිති. ගාල්ලේ සිට මුහුදු සැතපුම් 13කින් එහා පවතින ජාත්‍යන්තර මුහුදු තීරයට එන විට බෝට්ටු මඟින් ආයුධ සමඟ ද ගොස් ඊට ගොඩ වෙති.
සෝමාලියානු අවදානම් කලාපය පසු කර යෑමෙන් පසුව එම අවි තැන්පත් කරනු ලැබුවේ ජිබුටිවල සිටි බෲනෝ පාර්ටිගන් නම් පුද්ගලයා විසින් එම රජය හා සම්බන්ධව පවත්වාගෙන ගිය ගබඩාවක ය. ඒ ඔහු ව්‍යාපාරිකයා ලෙස පවත්වාගෙන ගියේය. සී මාර්ෂල්වරු ද එතැනින් ගොඩ බැස නැවත බි‍්‍රතාන්‍යය කරා ගුවනින් යති.
නමුත් මෙම කටයුත්ත සඳහා කිසිදු නීතියක් තිබුණේ නැත. එක්සත් ජාතීන් විසින් අවදානම් කලාපයේ මෙම මෙහෙයුම් සිදු කිරීමට දුන් අවසරය හා සම්මුතීන් සඳහා ජාත්‍යන්තර නාවික ප‍්‍රවාහන සංවිධානයේ නීති රීතීන් පමණක් වලංගු විය.
ගාල්ල ‘‘දක්ෂිණ’’ නාවික හමුදා කඳවුරේ මෙම අවි ගබඩා කිරීම සඳහා වෙනම වායු සමීකරණය කරන ලද ගබඩාවක් ද විදේශීය සමාගමක් විසින් ගොඩනගා දී තිබිණි.
එක තුවක්කුවක් වෙනුවෙන් ඩොලර් 10ක පමණ ගබඩා ගාස්තුවක් අය කළ අතර මෙම ව්‍යාපාරියෙක් නාවික හමුදාවට හොඳ ආදායමක් ද ලැබුණු අතර එය නාවික හමුදාවේම සුබසාධන කටයුතු සඳහා යොදා ගත් බව ද පැවසේ.
ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට 2001 සැප්තැම්බරයේ දී එල්ල වූ අල් කයිඩා ප‍්‍රහාරයෙන් පසුව හැම වරායකම, ගුවන්තොටුපොළකම, නැවකම ආරක්ෂාව ගැන සැලකිලිමත් විය. විවිධ නීති රීති හඳුන්වා දෙමින් ආරක්ෂක ක‍්‍රමවේද ශක්තිමත් කිරීම කළේය. ඒ අනුව වරායවල අවි ආයුධ තබා ගැනීම ද නොකළ යුතු බවට සම්මුතියක් විය. ගාල්ලේ නාවික හමුදා කඳවුර පිහිටා තිබුණේ වරායේය. ඒ අනුව වරායෙන් ආයුධ ගබඩා ඉවත් කිරීම සිදු කර එම ගබඩා නැව්වල සකස් කර ජාත්‍යන්තර මුහුදේ නැංගුරම් ලෑම සිදු විය.
පාවෙන අවිගබඩා නිර්මාණය වීමේ ඉතිහාසය එයයි. එහෙත් මෙම පාවෙන අවිගබඩා ජාත්‍යන්තර මුහුදේ පවත්වාගෙන යාමට රාජ්‍යයකට සම්බන්ධ හමුදාවට සිදු කිරීමට නොහැකිය. එය පෞද්ගලික ආරක්ෂක සමාගම් විසින් පමණක් සිදු කළ යුතු විය.
රතු මුහුද ආශ‍්‍රිතව මෙහි පළමු පාවෙන අවි ගබඩාව බෲනෝ පාටිගන් විසින් ආරම්භ කර තිබිණි. රතු මුහුද ආශ‍්‍රිතව මේ වන විට මෙවැනි පාවෙන අවි ගබඩා 15කට ආසන්න ප‍්‍රමාණයක් පිහිටා ඇත. පාටිගන්ගෙන් ලත් ආභාසයෙන් මේ නව ව්‍යාපාරයට ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විස් පෞද්ගලික සමාගම අවතීර්ණ විය. එය ශ‍්‍රී ලංකාවේ සමාගමක් එම ව්‍යාපාරයට අත ගැසූ ප‍්‍රථම අවස්ථාවම විය. ඒ අනුව රතු මුහුදේ පාවෙන අවි ගබඩා 2ක් ආරම්භ කිරීම 2012 වසරේ මුල් කාලයේ දී සිදු කළ අතර ශ‍්‍රී ලංකාවේ රාජ්‍යය හා සම්බන්ධව 2012 ඔක්තෝබර් මාසයේ දී ගාල්ල වරායට නාවික සැතපුම් 13ක් එපිටින් වූ ජාත්‍යන්තර මුහුදේ ආරම්භ කළේය.
ගාල්ල මුහුද අවට ද ඒ වන විට විදේශ සමාගම් කිහිපයක් විසින්ම පාවෙන අවි ගබඩා පවත්වාගෙන ගොස් ඇති බව හෙළි විය. ඒවා නීත්‍යනුකූල පාවෙන අවි ගබඩා නොවන බව ද හෙළි විය. එහෙත් එම නැව් ඉන්ධන හා ජලය ලබා ගැනීම සඳහා මෙරට රජයේ අවසරය මත කොළඹ වරායට ද පැමිණ තිබුණු බව අනාවරණය වී ඇත.
ගාල්ල පාවෙන අවි ගබඩාව ආරම්භ කිරීමෙන් පසුව එම නැව් ඉවත්ව ගොස් ඇත. කෙසේ නමුත් නීත්‍යනුකූල තත්ත්ව යටතේ මෙම අවි ගබඩා පවත්වාගෙන යන්නන් අතර ඇවන්ට්ගාඩ් සමාගම ප‍්‍රමුඛ වන අතර වැඩිම නැව් ප‍්‍රමාණයක් ඇති හා මේ සම්බන්ධයෙන් ඇති ලෝකයේ විශාලම පෞද්ගලික නාවික ආරක්ෂක සේවය ඇවන්ට්ගාඩ් සමාගම හා රක්නා ලංකා සමාගම එක්ව පවත්වාගෙන යන හවුල් ව්‍යාපාරය වේ.
රක්නා ආරක්ෂක ලංකා සමාගම 2006 දී ආරම්භ කරනු ලැබීය. එය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වන සියයට සියයක් රජයට කොටස් හිමි සමාගමක් වේ.
මෙම සමාගම ගොඩනැගුවේ මෙරට රජයේ හා පෞද්ගලික ආයතනයන්හි ආරක්ෂාව සපයන සාමාගමක් ලෙසය. විශේෂයෙන්ම ආරක්ෂක අංශවලින් විශ‍්‍රාම ගන්නා සෙබළුන්ට රැකියා අවස්ථා ලබා දී ඉහළ මට්ටමේ ආරක්ෂක සේවාවක් ලබා දීම මහි අරමුණ විය. එමෙන්ම එතෙක් වෙනත් පෞද්ගලික ආරක්ෂක සමාගම් හා රජයේ ආයතන වෙත අවි ආයුධ ලබා දීමේ අවසරය තිබුණේ නාවික හමුදාවේ සී ෆැබ් ආයතනයට පමණක් වන අතර එම කටයුත්තට ද රක්නා ආරක්ෂණ ලංකා සමාගමට පවරනු ලැබීය. රක්නා ලංකා සමාගමට, ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවි විකුණනු ලැබූ අතර ඔවුන් විසින් රජයේ හා පෞද්ගලික සමාගම්වලට අවි බදු දීම සිදු කරනු ලැබීය.
සෝමාලියා මුහුදු තීරයේ වන ගැටලූව ගැන උනන්දු වූ ආරක්ෂක අමාත්‍යාංශයට අවි තැන්පත් කිරීම මෙන්ම සීමාර්ෂල්වරුන්ට අවශ්‍ය අවි නිකුත් කිරීම ද එමෙන්ම සී මාර්ෂල්වරු නැති නැව්වලට සී මාර්ෂල්වරු ලබාදීම ද ව්‍යාපාරයක් ලෙස සිදු කළ හැකි නාවික හමුදාව විසින් පෙන්වා දී තිබිණි. මේ අතර ව්‍යාපාරිකයන්ගෙන් ද මේ යෝජනාව පැමිණ තිබිණි. එහෙත් එය නොසලකා රක්නා ආරක්ෂක ලංකා සමාගම හරහා මේ කටයුත්ත ආරම්භ කළේය. ඒ සඳහා විදේශ නැව් සමාගම්වලින් විශාල ඉල්ලීමක් ද විය.
ඒ අනුව සී මාර්ෂල්වරු සැපයීම හා අවි නිකුත් කිරීම රක්නා ලංකා සමාගම විසින් ආරම්භ කළේය. එමඟින් විදේශ නැව් සඳහා මෙරට නියෝජිත අයතන හරහා එම සේවය ලබා දීම සිදු කළේය. ඒ වෙනුවෙන් ඒජන්ත ආයතන 37ක් රක්නා ලංකා සමාගම හා සම්බන්ධ ව සිටියේය.
හමුදාව මෙම ව්‍යාපාරයෙන් ඈත් වීමට හේතු
ජාත්‍යන්තර අවි සමඟ වන මෙම ගනුදෙනුවේ යම් සුළු වරදක් හෝ වුවහොත් එය රාජ්‍ය තාන්ත‍්‍රිකවද බලපෑ හැකි සිදුවීමක් වීමට ඉඩ තිබිණි. විශේෂයෙන්ම විදේශයකින් ලැබෙන අවියක නීත්‍යනුකූල භාවය සම්බන්ධයෙන් එම අවි නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවෙන් ලබා දෙනු ලබන අවසන් භාවිත කරන්නාගේ සහතිකය’ (EUC) අවියේ කාණ්ඩ අංක ආදියට වංචා කිරීම් සිදු විය හැකි අවදානමක් තිබිණි.
එවැනි සිදුවීම් කිහිපයකටම නාවික හමුදාවට එම කාලය තුළ දී මුහුණ පෑමට සිදුව තිබුණු අතර මෙරට අවි 194ක් හොර රහසේ විදේශිකයන්ට විකුණා දැමීම ගැන ද චෝදනාවක් එල්ල වී තිබිණි. එම අවි යම් රටක ත‍්‍රස්තවාදී වුවමනාවලට යොදා ගැනීමක් සිදුව තිබී අසු වුවහොත් ඊට වගකිවයුතු වන්නේ ශ‍්‍රී ලංකා රජය ය. මෙවැනි තත්ත්වයන් නිසා මෙම ව්‍යාපාරය අවසර ලත් පෞද්ගලික සමාගමක් වෙතින් සිදු කිරීම මෙන් රාජ්‍ය තාන්ත‍්‍රික ගැටලූ අවම කර ගත හැකි විය.
රක්නා ලංකා සමාගම සී මාර්ෂල්වරු හා ආයුධ නිකුත් කිරීම සිදු කළ අතර ඇවන්ට්ගාඞ් සමාගමත් සෙසු පෞද්ගලික නාවික ආරක්ෂක සමාගම් මෙන්ම කටයුතු කළ සමාගමක් වූ අතර එම සමාගම හා සම්බන්ධව සිටින ජාත්‍යන්තර නැව් සමාගම්වල අවශ්‍යතාව අනුව රක්නා ආරක්ෂක ලංකා සමාගමෙන් සේවය ලබා ගත් ආයතනයක් විය. එහෙත් පසුව ඇවන්ට්ගාඞ් සමාගම පාවෙන අවි ගබඩා ව්‍යාපාරයට මුල පිරීමත් සමඟ රක්නා ආරක්ෂක ලංකා සමාගම හා ගිවිසුමකට එළඹ එකාබද්ධ ව්‍යාපාරයක් ලෙස මෙම කටයුත්තේ නිරත විය.රක්නා ආරක්ෂක ලංකා සමාගම හා ඇවන්ට්ගාඩ් සමාගම මෙම ව්‍යාපාරය ඒකාබද්ධව පවත්වාගෙන යාම සම්බන්ධ මුල්ම ව්‍යාපාර ගිවිසුම 2012 මාර්තු 19 වන දින අත්සන් කරනු ලැබීය. ඊට අමතරව තවත් ගිවිසුම් 5කට මේ දෙපාර්ශ්වය අත්සන් කර ඇත. අවසානයේ 2014 ජනවාරි 27 මෙම ගිවිසුම් 6 හි අඩංගුව එකතු කර තවත් ගිවිසුමකට එළඹ ඇත. ඒ අනුව මෙම ව්‍යාපාරයේ ඒකාධිකාරය 2019 ජනවාරි 27 දක්වා ඔවුන් සතු කොටගෙන ඇත. වෙනත් ව්‍යාපාරිකයකුට මෙම ව්‍යාපාර අවස්ථාව එමඟින් අහිමි වී තිබේ. එම සමාගම්වලට ද මේ වන විට සිදුව ඇත්තේ ඇවන්ට්ගාඞ් සමාගම හරහා ගොස් එම ව්‍යාපාර කටයුතු සිදු කිරීමටය. ඒ වෙනුවෙන් අමතර මුදලක් ද මේ සමාගම්වලට ගෙවීමට සිදු විය. උදාහරණයක් ලෙස රක්නා ආරක්ෂක ලංකා සමාගමෙන් සී මාර්ෂල්වරයකු ලබා ගැනීමට එදා ඩොලර් 2000ක් ගෙවනු ලැබූ නමුත් ඇවන්ට්ගාඩ් සමඟ ඒකාබද්ධ වීමෙන් පසුව එය ඩොලර් 3500 දක්වා ඉහළ ගොස් තිබේ. මන්ද එමඟින් සමාගම් දෙකෙහිම ලාභාංශ ඉහළ දමාගත යුතු වීම නිසාය. මෙම නිසා අනෙක් පෞද්ගලික ආරක්ෂක සමාගම් හා සම්බන්ධ වී සිටි විදේශ නාවික සමාගම් එම සමාගම් අත්හැර දමා කෙළින්ම ඇවන්ට්ගාඞ් සමාගම සමඟ ගනුදෙනු කළේය.
නාවික ආරක්ෂක සේවා සපයන මෙරට සමාගම්වල හා මෙම පාවෙන අවි ගබඩා ව්‍යාපාරයට සම්බන්ධ වීමේ උන්දුවෙන් සිටින ව්‍යාපාරිකයන්ගෙන් එල්ල වී ඇති බරපතළ චෝදනාව මෙම ඒකාධිකාරයයි.
මේ අතර ධීවර ව්‍යාපාරිකයන් විසින් මාළු ට්‍රෝලර් යාත‍්‍රාවලට ආරක්ෂාව ඇවන්ට්ගාඩ් සමාගමෙන් ඉල්ලා තිබිණි. ඒ සඳහා සී මාර්ෂල්ලා ලබා දීමේ අයිතිය ද ඇවන්ට්ගාඩ්ට පමණක් හිමි වන පරිදි රක්නා ආරක්ෂක ලංකා සමාගම ගිවිසුම් අත්සන් කර තිබේ. මෙය විශාල ආදායම් ඉපයිය හැකි ක්ෂේත‍්‍රයක් විය. වෙනත් ව්‍යාපාරිකයන්ට එම අවස්ථාව අහිමි කරනු ලැබුවේය.
එමෙන්ම කිසිම හේතුවක් උඩ මෙම ගිවිසුම එම කාලය අවසන් වීමට පෙර අත්හිටුවීමට එකදු පාර්ශ්වයකට නොහැකි බව ද මෙහි ඇති වගන්තියකි.
එමෙන්ම 2014 ජනවාරි 27 වන දින අත්සන් කරන ලද අවසන් ගිවිසුම ප‍්‍රකාරව මෙම මහනුවර අවි ගබඩාව යම් ලෙසකින් හෝ ඉවත් කිරීමට රජයේ පාර්ශ්වයෙන් බලපෑමක් වුව හොත් ඩොලර් මිලියන 20ක මුදල් ඇවන්ට්ගාර්ඞ් සමාගමට ගෙවිය යුතු බවත් එම ගිවිසුමෙහි සඳහන් වේ.
චෝදනා
පසුගිය කාල සීමාවේ දී ඇවන්ට්ගාර්ඞ් සමාගම ඉලක්ක කරගෙන විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා රැසක් එල්ල විය. මෙහි දී ඒ සම්බන්ධයෙන් චෝදනා කරනු ලැබූ ප‍්‍රධාන පාර්ශ්වකරුවෙකි ජනතා විමුක්ති පෙරමුණ. එම පක්ෂය හා මෙම ව්‍යාපාර ක්ෂේත‍්‍රයේම යෙදී සිටින ව්‍යාපාරිකයන්ගෙන් ද අප කළ විමසීම් හමුවේ පැහැදිලි වූ කරුණු කිහිපයක් මෙසේ සම්පිණ්ඩනය කළෙමු.
ජාත්‍යන්තර සම්මුතිය අනුව පාවෙන අවි ගබඩාව පවත්වාගෙන යා යුත්තේ ජාත්‍යන්තර මුහුදු තීරයේය. ගාල්ලේ වරාය මුහුදේ තිබූ ‘මහනුවර’ නැව මුලින් ජාත්‍යන්තර මුහුදු තීරයේ පවත්වාගෙන ගිය ද පසුව එය මෙරට මුහුදු තීරයට ගෙන එන ලදී. මාස ගණනාවක් තිස්සේ මෙම ව්‍යාපාර කටයුතු සිදු කළේ මෙරට මුහුදු තීරයේ සිටය. ඒ සඳහා අවසරයක් ලබා දුන්නේ කවුරුන්ද යන්න ගැටලූවක්ව පවතී.
International Ship and Port Facility Security Code අනුව වරායේ අවි තබා ගැනීමට නොහැක. එය සම්මුතියකි. එහෙත් එය නීතියක් නොවුණත් රටේ නීතිය අනුව මෙම නැව සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හැකියාව තිබිණි.
එමෙන්ම එම නැව මෙරට වරායේ තිබීමෙන් නැවේ ගබඩා කර තිබූ අවි ආනයනය කිරීමක් ලෙස වර නැගීමට හැකි නිසා එය නීති විරෝධී බව පැවසේ. එයට ගිනි අවි පනත යටතේ නඩු දැමිය හැකි බව ද චෝදනාකරුවන් පෙන්වා දෙයි. පාවෙන අවි ගබඩාව තුළ ස්වයංක‍්‍රීය ගිනි අවි 3154 ක් සහ ඒ සඳහා භාවිත කරන උණ්ඩ 770,059 ක් ගාලූ වරායේ තිබූ මහනුවර නැවේ කන්ටේනර් 07ක ගබඩා කර ඇති බව අනාවරණය විය.මෙරට මුහුදු තීරයේ නැව තිබීම නිසා එය අත්අඩංගුවට ගැනීමේ හැකියාව ද ශ‍්‍රී ලංකා නාවික හමුදාව හෝ පොලීසිය සතු වේ. එහෙත් පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී එය සිදු වූයේ නැත.
පෞද්ගලික ආරක්ෂක සේවාවක් මඟින් මුහුදු ආරක්ෂක ක‍්‍රියාදාමය ඉටු කිරීම තුළින් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් සහ අවදානමක් ඇති බවට කරුණු ඉදිරිපත් විය.
2012.10.20ට පෙර මුහුදු ආරක්ෂක සේවාව පවත්වාගෙන යනු ලැබුවේ නාවික හමුදාව වූ අතර පසුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත් වීම මත ජාතික ආරක්ෂාවට බරපතළ ලෙස බලපෑම් කළ හැකි මුහුදු ආරක්ෂක සේවාවේ පූර්ණ වගකීම ඇවන්ට්ගාර්ඩ් සමාගම වෙත පවරා දීම හා පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට චෝදනා එල්ල විය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 4 – ආ වගන්තිය යටතේ රටේ ආරක්ෂාවට බලපාන කාරණා සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ රටේ ජනාධිපතිවරයා විසින් නමුත් මහනුවර නැවට තිබුණේ EUC සහතික 89 ක් පමණි. අංක පැහැදිලි නොමැති අවි 59 ක් ද තිබුණි. (ඒ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක කණ්ඩායම් කිහිපයක්ම පරීක්ෂා කරමින් පවතී.)
අවසන් සටනේ දී යුද හමුදාව හා නාවික හමුදාව විසින් එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන්ගෙන්, මුහුදු කොටින්ගෙන් අත්පත් කරගත් අවි ආයුධ සැලකිය යුතු ප‍්‍රමාණයක් යුද හමුදාව යළි ප‍්‍රයෝජනයට ගැනීම සඳහා 2010 වසරේ අලූත්වැඩියා කළේය. එම අවි ආයුධ 2010 මුල් භාගයේ එරිතියානු මුහුදු සීමාවේ දී නයිජීරියානු බොකෝ හරාම් ත‍්‍රස්ත කල්ලියට ඇවන්ට්ගාර්ඩ් විසින් විකුණා ඇති බව. (එහෙත් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් විය යුතු නමුදු එවැන්නක් ගැන දැන ගැනීමට නැත.)
සී මාර්ෂල්ලා පුහුණු කිරීම
විදේශිකයන් සී මාර්ෂල්වරු ලෙස පුහුණු කිරීමේ ආයතනයක් කළුතර, කටුකුරුන්දේ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද ඇවන්ට්ගාර්ඞ් සමාගමට චෝදනා එල්ල විය. එහෙත් එම පුහුණු ආයතනය පවත්වාගෙන ගොස් ඇත්තේ රක්නා ආරක්ෂක ලංකා සමාගම හා වන ඒකාබද්ධ ගිවිසුමක් ප‍්‍රකාරවය.
ආරක්ෂක හමුදාවෙන් හැර වෙනත් ආයතනයකට මෙරට විදේශීය පුරවැසියන්ට ආයුධ පුහුණුව ලබා දිය නොහැකිය. රක්නා ආරක්ෂක ලංකා සමාගම ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වන සමාගමක් වන නමුත් එම සමාගමට බලය පැවැරීම සම්බන්ධයෙන් වන නීතිමය තත්ත්වය පැහැදිලි නැත. ඊට ආරක්ෂක අමාත්‍යාංශය පිළිතුරු දිය යුතුය. නමුත් මේ සම්බන්ධයෙන් එම සමාගම පෙන්වා දී තිබුණේ තමුන්ට ඒ සඳහා අවසරය ආරක්ෂක අමාත්‍යාංශය ලබා දී ඇති බවය. රක්නා ලංකා සමාගමේ වෙබ් අඩවියෙහි තමන් සී මාර්ෂල්වරු පුහුණු කරන බව සඳහන්ව තිබේ. අදාළ ඡායාරූප පවා එහි තිබේ.
එමෙන්ම මේ සම්බන්ධයෙන් වන අනෙක් චෝදනාව වන්නේ මෙහි පුහුණුව ලබා ගන්නා විදේශිකයන් සම්බන්ධයෙන් වගකීමක් නොමැති වීමය. මෙම විදේශිකයන් යම් ත‍්‍රස්ත සංවිධානයකට සම්බන්ධ වූවන් ද විය හැකි වීමේ අවදානම ද මෙහි තිබෙන බවට චෝදනාවක් එල්ල වී ඇත.
නමුත් සී මාර්ෂල්වරු පුහුණු කිරීම ගැන ආරක්ෂක මණ්ඩලයෙන් අවසර ගත යුතු එකක් බවට තර්කයක් ද මතුව තිබේ.
මෙම ව්‍යාපාරය සම්බන්ධයෙන් වන බරපතළම චෝදනාව වන්නේ රක්නා ආරක්ෂක ලංකා සමාගම, ඇවන්ට්ගාර්ඩ් සමාගම සමඟ පමණක් ගිවිසුමකට ගොස් ව්‍යාපාරය තුළ ඒකාධිකාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙනි. පාවෙන අවි ගබඩා පවත්වාගෙන යාමේ හැකියාව සහිත ව්‍යාපාරිකයන් මෙරට තව සිටිය දී එම සමාගම් සමඟ ගිවිසුම්වලට එළැඹීම රක්නා ආරක්ෂක ලංකා සමාගම හෝ ආරක්ෂක අමාත්‍යාංශය ප‍්‍රතික්ෂේප කිරීම මෙහි ඇති ගැටලූ සහගත බවයි.
මෙය එම රාජ්‍ය නිලධාරීන් හා ඇව්න්ට්ගාර්ඞ් සමාගමේ හිමිකාරීත්වය අතර ඇති ළබැඳියාවක ප‍්‍රතිඵලයක් විය හැකිය. මන්ද, මහා පරිමාණ ව්‍යාපාරිකයන් රජය හා වන ගනුදෙනුවල දී දූෂිත රාජ්‍ය යාන්ත‍්‍රණයේ ඇති දුර්වලකම්වලින් ඇති පදම් ප‍්‍රයෝජන ගැනීම අප අත්විඳින සත්‍යයක් නිසාය. ඇවන්ට්ගාර්ඩ් පමණක් නොව තව ව්‍යාපාරිකයන් රැසක් එම කටයුත්තේ යෙදෙන බව සත්‍යයකි. එවැනි තත්ත්වයක් තිබිය දී ඇතැම් දේශපාලකයන් මෙම සමාගම පමණක් ඉලක්ක කරගෙන චෝදනා කිරීම ගැන ඇත්තේ ද කුකුසකි.
කෙසේ නමුත් බැලූ බැල්මටම රටේ පවතින නීති උල්ලංඝනය කිරීම සිදු වී ඇති බව පෙනෙන්නට තිබේ. එහෙත් ඒ අධිකරණමය ක‍්‍රියාවලියක් මඟින් තහවුරු කරන තුරු ඒ ගැන කිසිවකුට නිගමන දිය නොහැකිය.
එමෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් හා රක්නා ආරක්ෂක ලංකා සමාගමේ මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් වගකීම් විරහිතව කටයුතු කර තිබෙන බවත් ඇවන්ට්ගාර්ඩ් සමාගමට පක්ෂපාතී ලෙස කටයුතු කර තිබෙන බවත් පෙනෙන්නට තිබේ.
එහෙත් මේ කිසිදු ගනුදෙනුවක් සම්බන්ධයෙන් වූ කිසිදු ලියවිල්ලකට එවකට හිටපු ආරක්ෂක ලේකම් අත්සන් කර නොමැති වීම විශේෂ තත්ත්වයකි. නමුත් අදාළ හැම ලියැවිල්ලක්ම ආරක්ෂක ලේකම්වරයාගේ අනුදැනුම මත අනෙක් නිලධාරීන් විසින් අත්සන් කරන ලද බව සඳහන්ව තිබේ.
කෙසේ නමුත් මෙම ව්‍යාපාරය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයකු ලෙස ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපතිවරයා ඉතා ශූර ලෙස කටයුතු කර ඇත. මෙම ගනුදෙනුවේ දී ඔහු මත වරදක් පැටවීමේ සම්භාවිතාව ඉතා අඩුය. ඔහු ව්‍යාපාර කටයුතු සිදු කර ඇත්තේ රාජ්‍ය සමාගමක් හා ඒකාබද්ධවය. එම නිසා එම සමාගම පමණක් ඉලක්ක කර චෝදනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් ද නොමැත. එහෙත් එම ගිවිසුමේ අන්තර්ගතය රටේ පැවති නීතිවලට අනුව නීති විරෝධී නම් ගිවිසුම ද නීති විරෝධී විය යුතු බවට ද මතයක් ඉදිරිපත්ව ඇත.
එමෙන්ම විදේශ විනිමය බිලියන ගණනින් මෙරටට ගෙන ආ මෙරට ව්‍යාපාරිකයකුගේ ව්‍යාපාරයක් එකවර කඩා ඉහිරවා දැමීම සිදු නොවිය යුතු බවට විවාදයක් නැත. එම ව්‍යාපාරය සම්බන්ධයෙන් මේ වන විට එල්ල වී ඇති චෝදනා පදනම්ව තිබුණේ ගිනි අවි පනත, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත, පුපුරන ද්‍රව්‍ය පිළිබඳ පනත සම්බන්ධයෙන් වන වැරැදි කිසිවක් සිදුව නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කළ පරීක්ෂණවල දී තහවුරු කරගෙන ඇති අතර ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව ද පවසනු ලබන්නේ නඩු පැවරීම සඳහා හේතු නැති බවයි.
මූල්‍ය විශුද්ධිකරණය යටතේ පරීක්ෂණ කටයුතු සිදු වෙමින් පවතින බවත් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමත් ජනාධිපති පරීක්ෂණ ඒකකයත් මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් පවතී.
ඇවන්ට්ගාර්ඩ් සමාගම රක්නා ආරක්ෂක ලංකා හා නාවික හමුදාවට ගෙවිය යුතු මුදල් සම්බන්ධ හිඟයක් තිබේ. එමෙන්ම පාවෙන අවි ගබඩා ව්‍යාපාරය ජාත්‍යන්තර මුහුදේ සිදු වන බැවින් මෙරට රජයට බදු ගෙවිය යුතු නොවන ව්‍යාපාරයක් බව ද පැවසෙන අතර රක්නා ආරක්ෂක ලංකා සමාගමට හා නාවික හමුදාවට ලාභාංශයක් ගෙවීම පමණක් සිදු වේ.
මීට අමතරව මෙම සිදුවීම අළලා යම් අතපසු වීම් හා තාක්ෂණික දෝෂ සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී පැවැතියත් මෙම ව්‍යාපාරය නීති විරෝධී යැයි පැවසීම සඳහා තවමත් කිසිදු පාර්ශ්වයකින් නිශ්චිත චෝදනා එල්ල වී නැති අතර චෝදනා කරන පාර්ශ්ව නඩු පැවැරීමක් හෝ සිදු කර නොමැත.