කවුරු කළත් මේවා තුප්පහි බලු වැඩය !

0
180
Image may contain: one or more people, people sitting and people standing

ගාමිණී ජයවික්‍රම පෙරේරා ව මා හඳුනන්නේ 1974 සිටය. කලාවැව අතුරු මැතිවරණය මෙහෙයවන විට මා ඔහුට යවන ලිපි වල ලිපිනයේ ” කටුගම්පොල එ.ජා.ප. සංවිධායක ජයවික්‍රම පෙරේරා ” යනුවෙන් ලීවා මතකය. එදා කලාවැව මැතිවරණ සටනේ දී හඳුනාගත් ඒ අභීත පුරුෂයා හිටපු හමුදා නිලධාරියෙකු ලෙසද දැනගත් බැවින් ඒ අභිමානය තවත් වැඩි විය. එජාප ක්‍රියාකාරකයක කොතැන මං දුටුවත් ” ආ.. කුමාර.. කොහොමද.. දැන් කොහෙද ඉන්නෙ.. මොනවද කරන්නෙ.. ” යනුවෙන් විමසීම ඔහුගේ පුරුද්දක් විය. 1994 දී දේශපාලන පලිගැනීම් වලට ලක්ව මා මහවැලි අධිකාරියෙන් සිය කැවැත්තෙන් විශ්‍රාම ගියත්, දුටු තැන සුහද ලෙස ඇසුරු කළ එජාප මැති ඇමති වරුන් රැසක් සිටි අතර, අද දවස වන විට ඉන් ඉතුරුව ඇත්තේ ගාමිණී ජයවික්‍රම යන් පමණි. කොටින්ම ගාමිණී දිසානායකයන් සමීපයේ වසර 21 ක් ප්‍රචාරක නිලධාරියෙකුව සිටියත් දිසානායක ගාමිණී හඳුනාගන්නට පෙර මා හඳුනාගත්තේ ජයවික්‍රම ගාමිණී ය.
අද එජාප යේ ඉන්නා ජ්‍යෙෂ්ඨතම දේශපාලකයා ඔහු ය. රනිල් ලා, මලික් ලා, මංගල ලා, එජාප යේ පැත්ත පලාතක නැති යුගයක ගාමිණී ජයවික්‍රම එජාප යේ අයෝමය කුළුණ කි. අකිල ලා, සේරසිංහ ලා ගැන කුමන කතා ද. අද පාර්ලිමේන්තුවේ ඉන්නා බොහෝ හුජ්ජ කොල්ලන් ඉදිරියේ ගාමිණී ජයවික්‍රම යෝධයෙකි. ඔහු කිසි දිනක අනුන්ට අපහාස, උපහාස වන ලෙසට හැසිරුනේ නැත. කතාකළේ ද නැත. පක්ෂ, විපක්ෂ සැමට එකසේ ආදරය කළ පැරණිතම මිනිසෙකි. වැඩිහිටියෙකි. ගෞරවණීය යූඇන්පී කාරයෙකි.
පාර්ලිමේන්තුවේ ගහ මරා ගැනිලි සියල්ල පට්ටපල් රඟපෑම් බව මහජනයා නොදනී. චේම්බර් එක ඇතුලේ බැණ, ගහමරාගත් අය මොහොතකට පසු කැන්ටිමට යන කොරිඩෝව්දීම එකිනෙකා බදාගෙන ” උඹ මාර බඩුවක් බං.. මාව කාලාම දැම්මනෙ..” යනුවෙන් සිනා සිසී ඇවිද යනු මගේ දෑසින්ම දැක ඇත. එබැවින් චේම්බරය ඇතුළේ ගහ මරා ගැනීම් යටිපතුලෙන් උඩට මා සළකන්නේ නැත එහෙත් ඒවායේ ‘සීමාවන” තිබිය යුතුය. දැන් දැන් ඒ සීමාවන් ඉක්මවා යන අයුරු පෙනේ. අතට හසු වූ ‘බටර් පිහිය’ හෝ ‘ ලිපි විවෘත කරණ උපකරණය’ ආයුධයක් ලෙස පාවිච්චි කිරීම වරදක් සේම ‘මිරිස්කුඩු දියකොට මන්ත්‍රීවරුන් වෙත දමා ගැසීම ‘ ද බරපතල වරදකි. එමෙන්ම එවැනි මිරිස් වතුර ප්‍රහාරයක් , අද පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයෙකුට එල්ල කිරීම බරපතල වරදකි.
ගාමිණී ජයවික්‍රම තමාගේ පාඩුවේ හිටියා මිස රණ්ඩුවලට ගියේ නැත. ඒ අද ඔහු වයෝවෘද නිසා විය යුතුය. නොඑසේනම් ඔහු තාරුණ්‍යයේ සිටි යුගයක නම් 10 ක්, 20 ක් වුවද ඔහුට පණුවන් රැළක් පමණක් බව ද මම හොඳින්ම දනිමි. පාඩුවේ සිටි ගාමිණී ට මිරිස් වතුර එල්ල කළ පාහරයා මොකා වුව ද එම කණ්ඩායමේ නායකයා වූ මහින්ද හෝ වෙනත් වගකිවයුත්තෙක් මේ සිද්ධිය පිළිබඳව ප්‍රසිද්ධියේ කණගාටුව පළ කළ යුතුය.
(ශ්‍රිනිමල් පත්කුමාරගේ මුහුණු පොතෙනි)