කළු කොඩි, දුකටද ? විරෝධයටද ?

0
86

නැවත වරක් කළු කොඩි විරෝධතාවයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම පමා කිරිමට විරෝධය දැක්වීමක් ලෙසයි.

නමුත්, කෝවිඩ් තත්ත්වය මත එය දැනෙන විරෝධයක් බවට පත් කරන්න ඉඩක් නැති බව සැලසුම්කරුවන්ට නොදැනීම ශෝකයක්.

මට නම් හිතෙන්නේ කිතුනුවන්ට (යුක්තිය පතන සියල්ලන්ට) දැන් නම් පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන ඔසවන්න වී තිබෙන්නේ ශෝකය පිණිස කළු කොඩි මොකද ඒ තරමට විරෝධතා ව්‍යාපාර දියාරු වෙමින් තිබෙනවා.

මගේ කතෝලික මිතුරන් සමහර විට මා සමඟ අමනාප වෙන්නත් පුළුවන්. මිය ගිය අහිංසක මිනිසුන්ට යුක්තිය ඉටුනොවීමේ, ඔවුන් පාවා දීමෙ පළමු පියවර ඇරඹුනේම ප්‍රහාරය සිදු වී පැය කීපයකදී. ඒ තමයි කාදිනල් හිමියන් රාජපක්ෂ මතවාදය රාව නංවමින් මේ ප්‍රහාරය බුද්ධි අංශ අඩපණ කිරිමේ ප්‍රතිඵලයක් යැයි කීම.

අද එතුමා බුද්ධි අංශවල පුද්ගලයින් ගැන ප්‍රශ්න කරන්නට පටන් ගැන තිබේ. එවැන් ප්‍රහාරයන් රටේ බුද්ධි අංශවල කිසියම් හෝ සම්බන්ධයක් තොරව සිදු නොහැකි බව තේරුම් ගන්නට සාමාන්‍ය අවබෝධයක් පමණක් වුව සෑහෙන්නේ එතුමා රාජ්‍ය පක්ෂවරු බලයට එනතෙක් ජප කෙරුවේ නාමල් කුමාරලාගේ පන්නයේ පැවැති පාලන බුද්ධි අංශ අඩපණ කිරීමේ කුමන්ත්‍රණ කතාවල දෝංකාරයයි.

ලංකාව ඇතුලේ පවතින මේ දේශපාලනය තුළ කවදාවත් ඒ මිය ගිය අයට යුක්තිය ඉටු නොවන බව තහවුරු වුනේ කාදිනල් හිමි ප්‍රමුඛ එතුමාගේ සමීප පූජකවරු පාස්කු ප්‍රහාරය ගෝඨාභය රාජපක්ෂ බලයට ගේන්න අවභාවිතා කිරීම සමඟයි. එය ප්‍රභාකරයින්ගේ අරමුණ ජයග්‍රහන කර වීමක්. එදා තමයි අපේ සිත්වල නම් කළු කොඩි එසවුණේ. ශෝකයට.

සීසර් ගේ සීසර්ටත්, දෙවියන්ගේ දේ දෙවියන්ටත් දෙන්න කියන පැහැදිලි දැක්ම තිබියදී සීසර්ලාට දෙවියන්ගේ දේ බාර කළාට පසු මොන යුක්තියක්ද ?

මෙවර කළු කොඩි දිනය ගැන බෙදා තිබු කුඩා පත්‍රිකාවකද සඳහන් වූයේ කාදිනල් තුමාගේ විරෝධතාවයට එක්වන ලෙසයි. කිතුනු ජනතාවගේ, යුක්තිය පතන ජනතාවගේ විරෝධතාවයක් නොවී එය එක් නායකයෙකුගේ විරෝධතාවයකට ලඝුවන්නේ නම් එය දියාරු වී යාම වැළැක්විය නොහැකිය. එසේ කීම කාදිනල් තුමාව පහත් කිරිමක් ලෙස වරදවා වටහාගත යුතු නැත.

පාස්කු ඉරුදින වින්දිතයින්ට අදාල යුක්තිය සෙවීම තවම අවම වශයෙන් කෝච්චිකඩේ + කටුවාපිටිය + මඩකලපුව ජනතාවගේ විරෝධයක් බවටත් පත් වී නැත. එය පූජක පැවිදි අය අත පවතින මීගමුවට සීමාවුනු ක්‍රියාධරයින්ට සංවිධානවලට සීමාවුනු විරෝධයකි. අන් තැන්වල කිතුනුවෝ ඊට එක්වන්නේ ඉහළින් ලැබෙන විධානයට ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙසයි. යුක්තිය පතා වන්නාවු එවන් අරගල කිසිදා ජයගෙන නැත. ඊට නිදසුන් සපයන්නේම බයිබලයයි. එසේම අවම වශයෙන් අනිකුත් ප්‍රධාන ධාරාවේ කිතුනු සභාවන් මේ අරගලයට එක් වන බවක් නොපෙනෙ. ඇන්ග්ලිකානු කතෝලික පවුල් සබදතාවය ඇති මේ ලියුම්කරු ඒ ගැන මීට පෙරද ලියා ඇත.

කාදිනල් තුමාට මේ ජනතාවගේ ඉරණම ගැන හෘදය වේදනාවක් තිබෙන බවට සැකයක් නැත. එහෙත් එතුමාට මේ සටන නියම ජයග්‍රහනයක් සදහා ගෙනයාමට නායකත්වය ගැනීමට අවශ්‍ය සදාචාර පදනම නැත. මන්ද එතුමා ආරම්භයේදීම එක් පාර්ශවයක පැත්තගෙන තිබුණු නිසාය. මේ බව නිහතමානීව පිළිගෙන වෙනස් වීමට එතුමාට හැකි නම් පමණක් අලුත් ගමනක් යා හැකියි.

එහිදි පළමු පියවර ලෙස කටුවාපිටිය, කොච්චිකඩේ, මඩකලපුව ජනතාව ඒකරාශි කළ යුතුයි. දෙවනුව පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාල සිදුවීම් මාලාවේ ඊළඟ වින්දිතයින් වන මුස්ලිම්වරු සමඟ අවංක සන්ධානයක් ඇති විය යුතුයි. ඔවුන්ට එරෙහිව වූ ප්‍රහාරයන් ගැන යුක්තියද මේ සමඟ එක්ව ඉල්ලා සිටිය යුතුයි. (එම කරුණ යන්තම් මතු කර දීම කිතුසර කණ්ඩායමක් අද ජේසු වෙබ් අඩවියයි. මේ ලිපිය ඊට යොමු කරන්නේ එ් නිසාය.)

තෙවනුව ලංකාවේ සැලසුම් සහගතව ඝාතනයට ලක් වූ සියලු ජාතින්ට, සියලු මිනිසුන්ට යුක්තිය ඉල්ලන සටන සමඟ මේ අරගලය ඒකාබද්ධ කළ යුතුයි. හැබැයි පැහැදිලිවම එය ඊළඟට බලයට එන දේශපාලන ව්‍යාපෘතිය සමඟ ඒකාබද්ධ නොකළ යුතුයි.

බයිබලය පෙන්වා දෙන යුක්තිය දිනා ගැනීමේ අරගලය දිගුකාලීන එකකි. මෙය ද එසේම වනු ඇත. ඒ නිසා කාදිනල් තුමා සිතිය යුත්තේ තම ධුරකාලයෙන් පසුවටත් යන අරගලයකට නායකත්ව කණ්ඩායමක් (පූජක ගිහි පුළුල් නියෝජනයක් ඇති) සැකසීම තම ප්‍රධාන පියවර විය යුතු බවයි. එය ජනතා අරගලයක් බවට පත් කළ යුතුයි. පිලිපීනය වගේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයට මඟ පෑදු දේශපාලනය පවතින තුරු මෙයට සාධාරණය ඉටු නොවේ. කතෝලිකයින්ට ඒ බව ඉගෙන ගැනීමට ඇති හොඳම මාවත ඔවුන් මෑතකදි සාන්තුවරයට එසවූ ශුද්ධ වූ ඔස්කා රොමේරෝ ඝාතනය හා සැල්වදොර සභාව ඒ සඳහා යුක්තිය සොයා ස්වාධීන, දේශිය, හා ජාත්‍යන්තර සංවිධාන පුද්ගලයින් සමඟ ගෙන ගිය හතලිස් වසරක ගමන කියවීමයි. (එහි සංක්ෂිප්ත පරිවර්තනයක් දැන් සිංහලෙන් පළවි තිබෙනවා.)

යුක්තිය උදෙසා දෙව් මිනිස් අරගලය දියාරු වීමට ඉඩනොදී ඉදිරියට ගෙනයාමට විවෘත ගැඹුරු සිතා බැලීමක් තුළ දිගු කාලීන කෙටි කාලීන පියවර සහිත නව ගමනකට ආරම්භයක් සඳහා සංගායනාවක් කිරීම කළු කොඩි එසවීමට වඩා යෝග්‍යයි යුතුයි සාධාරණයයි ගැළවීම දායකයි.

දුෂ්‍යන්ත පීරිස්