කළු ජීවිත අපටත් වැදගත්

0
68

FB_IMG_1592050964702

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතන සිද්ධිය අලලා ඇමෙරිකාවේ මිනියෙපොලිස් ප්‍රාන්තයේ හටගත් විරෝධතාව ඇමෙරිකාවම ගිනි තබමින් ‘ජෝකර්’ වර්ගයේ ප්‍රචණ්ඩ රැල්ලක් ලෙස පැතිරුනේ ලැවූ ගින්නක් වගේ. එය ඇමෙරිකන් දේශ සීමාව තුල පමණක් නොරැඳී ලෝකය පුරාම ව්‍යාප්තව ගියේ කොරෝනාවටත් වඩා වේගයෙන්. එහෙම තමයි ඇමරිකාවේ හැටි. බැරි වෙලාවත් කොරෝනාව චීනයේ හට නොගෙන ඇමෙරිකාවේ හට ගත්තා නම්, එය මීට වඩා කටෝර ලෙස ලෝකය පුරා පැතිරෙන්න ට තිබුනා. විලාසිතාවක් වුනත් එහෙම තමයි. ලෝකයේ මොන මුල්ලක ප්‍රභවය ලැබූවත්, ලෝකයම වැළඳ ගන්න එකක් වෙන්නේ එය ‘ඇමෙරිකනයිස්’ වෙලා නැවත බෙදා හැරුනොත් තමයි.

චාලි චැප්ලින් ලන්ඩන් වල ඉපදුනා ට, හැදුනා වැඩුනා වුනාට, ජීවත පන්නරය ලැබුවා වුනාට, සිනමා කරුවෙක් ලෙස ලෝක ප්‍රසිද්ධ වෙන්න ඇමෙරිකන් භෞතීස්ම වීම වැදගත්. ‘වෙස්ටර්න් සපැගටී’ ( Spaghetti Western ) නමින් හඳුන්වන අපි කවුරුත් ඇලුම් කල ‘කව්බෝයි’ චිත්‍රපට හැදුවේ හොලිවූඩ් නිර්මාණ භූමිය කරගත් ඉතාලි සිනමා කරුවන්.

‘කළු ජීවිත වැදගත්’ ( Black Lives Matter) නමින් ඇමෙරිකාවේ හටගත් මේ විරෝධතාව සමස්ත ලෝකය අලුත් දිශානතියකට තල්ලු කරමින් තිබෙනවා. එය, මානව ඉතිහාසය පුරා තවමත් පරිපූරණ ලෙස දිනා නොගත් මනුෂ්‍යත්වය සහ යුක්තිය වෙනුවෙන් කෙරෙන සදාතනික අරගලයක නව ඇරඹුමක් සනිටුහන් කරන්නට සමත් වෙලා.

“අප්‍රිකාවෙන් සොරකම් කරගන ඇමෙරිකාවට ගෙනා මීහරක් සොල්දාදුවන් (Buffalo Soldiers )” ගේ ලේ කඳුළු මතින් ගොඩ නැගුනු ශිෂ්ටාචාරයක වර්තමාන දරුවන්, තමන් ගේ හර්ද සාක්ෂියට ඇහුම් කම් දෙන්නට පටන් අරන්. “කළු ජීවිත වැදගත්” සටනේ අද පෙරමුණෙන් යන්නේ කළු මිනිසුන් නෙවෙයි. සුදු මිනිසුන්. සමහර විට එදා කළු වහලුන් ව තැලූ පෙළූ සුදු මී මුත්තලා ගෙන් පැවත එන සුදු තරුණ තරුණියන්. ලන්ඩන් ආදී නගර මධ්‍යයේ තවමත් විරාජමානව සිටින වහල් වෙළඳුන් ගේ පිළිරූ උගුල්ලා වතුරට විසිකරන්නට තරම් ඔවුන් ට තමන් ගේ ම ඉතිහාසය පිළිකුල් සහගතයි.

කොයි රටක ජන්මය ලැබූවත්, හමේ පැහැය, කතා කරන භාෂාව, අදහන ආගම වෙනස් වූවත්, අඳින පළඳින විදිය වෙනස් වුනත් මනුෂ්‍යයින් ලෙස හැම දෙනාම සමාන ලෙස නොසැලකෙන ඕනෑම සමාජයකට මේ “කළු ජීවිත වැදගත්” කියන යෙදුම අදාලයි. “කළු” කියන්නේ තව දුරටත් හමේ පැහැයක් නෙවෙයි. පීඩිත බවේ පැහැයයි.

දකුණු අප්‍රිකාවේ වර්ණ බේද වාදයට විරුද්ධ අරගලයේ දැවැන්තයෙක් ස්ටීව් බිකෝ. වරක් සුදු අධිකරණයේදී සුදු නඩු කාරයා බිකෝ ගෙන් අහනවා
“උඹලා ඇයි උඹලටම කළු කියලා කියා ගන්නේ ? උඹලා කළු නෙවෙයි දුඹුරු නේ ” කියලා.
ස්ටීව් බිකෝ ඒකට උත්තර දෙන්නේ ප්‍රශ්නයකින්.
” එහෙනම්, ඇයි උඹලා උඹලට සුදු ය කියා කියන්නේ? උඹලා සුදු නෙවෙයි. රෝස පාටයි නේ ” කියලා.
ඔහු තව දුරටත් කියනවා “කළු කියන්නේ අපේ හමේ පාටට නෙවෙයි. අපි කල්ලන් වෙන්නේ අපි දේශපාලනිකව කළු නිසයි.” කියලා.

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය ඇමෙරිකාවේ යටින් ඇවිලෙමින් තිබුණු ගිනි කන්දකුයි පුපුරුව හැරියේ. නිව්යෝර්ක් ආණ්ඩුකාරයා කියා සිටියා වගේ මේ ඇවිලෙන්නේ ෆ්ලොයිඩ් ඝාතනේ වේදනාව නෙවෙයි. දශක ගණනාවක් තිස්සේ කිසිවක් සිදු නොවූවා සේ නෑසූ කන් ඇතිව සිටි, නොදැක්කා සේ සිටි අයුක්ති සහගත වර්ගවාදී ඝාතන රැල්ලක වේදනාවයි. ඒ වේදනාවේ ගිනි කන්ද ඇමෙරිකාවේ පුපුරපු හින්දා තමයි අනෙකුත් රටවල ගිනිකඳු වලට දරා ගන්න බැරි වුනේ. ඒවත් එකින් එක, එක පෙලට පුපුරුවන්න පටන් ගත්තේ. ප්‍රාග්ධනය ගලන දිශාවටම තමයි සංස්කෘතිය ගලන්නෙත්. අරගල පැතිරෙන්නේත්.

යුක්තිය සාධාරණත්වය සහ මනුෂ්‍යත්වය වෙනුවෙන් හර්ද සාක්ෂියක් තියෙන මිනිසෙකුට එයට නොපෑහී ඉන්නට බැහැ. ශිෂ්ටාචාර ගමන විසින් ම ඇතිකළ අසමානතාවක්, විෂමතාවක්, ශිෂ්ටාචාර ගමන තුලින්ම නිවැරදි කරගත යුතුව තිබෙනවා. ඇමෙරිකන් සමාජය ලෝකයට කියා දෙන පාඩම එයයි.

ඇමෙරිකාවේ මඟුලකට අපේ උන්ට කුලප්පුව හැදෙන්නේ ඇයි ? ඕක තමයි අපේ සමහර දෙනෙකුට තියෙන ප්‍රශ්නය.

සමාජ මාධ්‍ය වල ඇතැමුන් හඬ නගනවා ඇහෙනවා. “කළු ජීවිත වැදගත්” ව්‍යාපාරයට සහයෝගය දක්වන්න සංවිධානය කල විරෝධතාවකට පොලිසිය පහර දෙන සජීවී වීඩියෝ දර්ශන වලට කොමෙන්ට් දමමින් “හොඳ වැඩේ ඕකුන්ට”, “කුදලගන යන්නම තමයි ඕනේ. කාලකන්නි” වගේ කතා කියනවා. ඒ විතරක් නෙවෙයි පුවත් පතකට ලියන්න බැරි තරම් තිත්ත කුණු හරුපෙන් විරෝධතා කරුවනට බනිනවා. “දෙන දෙයක්කාලා එන අතක් බලාගන ඉන්නේ නැතුව ඉල්ලන් කන්න මුට තියෙන ඇමෙරිකාවේ උන්ට වත් නැති පුකේ අමාරුව මොකක්ද කියලත්” අහනවා.
එතන තමයි අපි වරද්දා ගන්නා තැන. යුක්තිය වෙනුවෙන් ලෝක පරිමානව කෙරෙන අරගලයකට මැදිහත් නොවී එය නොදැක්කා නොදැනුනා වගේ ඉන්න සදාචාරාත්මක අයිතියක් කිසිම මානව ප්‍රජාවකට නැහැ.

මේ විරෝධතා ව්‍යාපාරය උපායමාර්ගිකව සැලසුම් කල එකක් බව පැහැදිලියි. එය දේශපාලනික සටන් උපායක සැලසුමකට අනුව කල එකක්. විරෝධතාවට කලින් දාම පොලීසිය උසාවි නියෝගයක් ගන්නවා ඇමෙරිකන් තානාපති කාර්යාලය ඉදිරිපිට හෝ ඒ අවට පැවැත්වෙන විරෝධතාවක් තහනම් කරමින්.ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව එහෙම තහනම් නියෝගයක් ගන්න ට තානාපති කාර්යාලයට පුළුවන් කමක් නැහැ. ඇමෙරිකානු තානාපති කාර්යාලය වාර්තා කරන ආකාරයට ඔවුන් එහෙම තහනම් නියෝගයක් ඉල්ලලත් නැහැ. ධවල මන්දිරය ඉදිරිපිටත් ඇමෙරිකාවේ උද්ගෝෂණ පවත්වනවා කිසි තහනමක් නැතිව. ප්‍රජාතන්ත්‍ර වාදී ලෙස විරෝධතා පවත්වන්නට නිදහස දීම ඇමෙරිකන් ක්‍රමය. සාමකාමී විරෝධතාවකට තහනම් නියෝගයක් දෙන්න උසාවියකට යුක්ති සහගත හේතුවක් තියෙන්න ඕනේ. අපේ උසාවිය එහෙම තහනම් නියෝගයක් දෙන්නේ ඇයි කියන එක හරියට කිසිම මාධ්‍යයක් වාර්තා වුනෙත් නැහැ. සමහර විට තානාපති කාර්යාලයකට ආරක්ෂාව දෙන එක රජයක වගකීම නිසා ඒ පැත්තෙන් හිතලා එහෙම තහනම් නියෝගයක් දෙන්න ඇති.

විරෝධතා කරුවන් තහනම් නියෝගය ගැන දන්නවා. ඒත් ඇමෙරිකන් තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාව පටන් ගන්නවා. ඊට සමාන්තරව උසාවි තහනම් නියෝගය වලංගු නොවන වෙනත් තැනකත් කණ්ඩායමක් නිරෝධායන නිර්ණායක රකිමින් විරෝධතාවක යෙදෙනවා. ඇමෙරිකන් තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාව උසාවි නියෝගයක් දක්වමින් විසුරුවා හරින පොලීසිය අනෙක් විරෝධතාවටත් පහර දෙනවා. ඒ විරෝධතාවට එරෙහිව උසාවි නියෝගයක් නැහැ. ඒ විරෝධතාව නිරෝධායන නිර්ණායක උල්ලංඝනය කරන්නෙත් නැහැ. ඒත් එතනටත් කඩා වැදී පහර දී අත් අඩංගුවට ගන්නවා. නිරෝධායන නීති පොලිසිය විසින් ම කඩා බිඳ දමනවා. තරුණියක් උඩින් ගොස් පොලිස් ට්‍රක් රථය තුලට වැටෙනවා.
මේ දර්ශනයට තමයි අපේ FB වීරයන් ඉහත කිවූ කතා කියමින් සමච්චල් කරන්නේ.

හුස්ම හිරවෙන තෙක් ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ බෙල්ල පාගා ගන ඉන්න පොලිස් නිලධාරියා ද ඔහු වටා ඉන්නා අනෙක් පොලිස් පිරිස ද ක්‍රියා කරන්නේ නීතියට ඉහලින්. සම්මත නීති පොතේ නීතියට අනුව එහෙම ක්‍රියා කරන්න ට පොලීසියට බලයක් නැහැ. එහෙත් මේ පොලීසිය ක්‍රියා කරන්නේ නීති පොතට ඉහලින් ලැබෙන අණකට අනුව. එය නීති පොතට වඩා බලවත්. “මට හුස්ම ගන්න බැහැ” කියා අසරණව ආයාචනා කරන දෑත් පිටුපසට කර බැඳ මුණින් හරවා සිටින ෆ්ලොයිඩ් ගේ ගෙල සිරකරන පොලිස් නිලධාරියාගේ මුහුණේ පිළිබිඹු වන මෘග සේයාව අපට පෙන්වා දෙන්නේ ඒ “නීති පොතට ඉහල නීතියේ” බියකරු ම්ලේච්චත්වයයි. ඒ මූලාවස්තික ( Primordial ) වාර්ගික ම්ලේච්චත්වයේ නීතියයි. වාර්ගික ම්ලේච්චත්වයේ නීතියෙන් හික්මවනු ලැබුවෙකුට මෙය මනරම් සිත් ආකර්ශනීය දසුනක්. එහෙත් මනුෂ්‍යත්වයේ හ්ර්දසාක්ෂියෙන් හික්මවනු ලබුවෙකුට එය බලා සිටිය නොහැකි ඔක්කාරය දනවන ම්ලේච්ච ක්‍රියාවක්.

“කෙනෙකු අත් අඩංගුවට ගන්නා විට ඌට සිදුවන හිරිහැර ගැන සලකන්න එපා” කියලා ට්‍රුම්ප් කියනකොට “වැදගත් දෙයක් කියන්න බැරි නම්, කට පියාගන ඉන්න” කියලා ජෝර්ජියාවේ ප්‍රධාන පොලිස් නිලධාරියාට ප්‍රසිද්ධියේ කියන්න සිදුවන්නේ ඒ නිසා.

ඇමෙරිකන් අරගලය පශ්චාත් කොරෝනා සමයේ ලෝක ඉතිහාසයේ තැබෙන වඩාත් ප්‍රගතිගාමී සටහන වනු ඇති. එය විසින් ඇමෙරිකාව තල්ලුකරන දිශාවට ම පියවරක් අපටත් තබන්නට හැකි නම්, එයම අප ලබන සුවිශේෂී දුර්ලභ ජයග්‍රහණයක්. ඒ අප හමේ පැහැයෙන් ‘තලඑළලු’ වුනත් දේශපාලනිකව ‘කළු’ නිසා.

අශෝක හඳගම

( අනිද්දා පුවත්පතට ලියන කොලම : වෘත්තය 53 )