කාදිනල් හිමි පිළිබඳව මුස්ලිම් පුරවැසියෙකු තැබු සටහනක් !

0
371

cardianla 2

ශ්‍රී  ලංකා  කතෝලික  සභාවේ  නායක    අගරදගුරු  මැල්කම්  රංජිත්  හිමිපාණන් විසින්  රටතුළ  ජාතීන්  අතර  ඇතිවන්නට  ගිය  ලේ වැගිරීම  වළක්වන්නට  හැකිවූයේ  කතෝලික  ධර්මයේ  ඉගැන්වීම්  මනුෂ්‍යත්වයේ  නාමයෙන්  අනුන්ට  ප්‍රේමකිරීම  සමාව දීම ,  අනෙකා කෙරෙහි  අනුකම්පා  කිරීම වැනි  ගුණාංගයන්ගෙන්   පිරි  නායකයෙකු  ලෙස   ධර්මයේ  හැසිරෙමින්  දූරදර්ශීව,  ගත්ක්‍රියාමාර්ග   සහ   දැහැමි  වදන්  තුළින්  මිනිස්  සිත් සතන්  සමහන්  කිරීමට  තිබුනු  ඔබතුමා ගේ  පෞරුෂය  නිසයි.

අප්‍රේල්  21 වන  ඉරුදින  (  පාස්කු  දින)  කතෝලික  දේවස්ථාන  මෙන්ම  රටේ  අනෙකුත්  ස්ථානයන්හි  ISIS අන්ධ  ලබ්දික  ම්ලේච්ඡ  ත්‍රස්තවාදීන්ගේ  ප්‍රහාරයට  ගොදුරුවී  විශාල  ජීවිත  විනාශයක් වූ  අතර  අනතුරට  ලක්වීමක් ද  සිදුවිය.  අහිංසක  පවුල්  , කුඩා දරුදැරියන්  මෙන්ම  මහළු  අයද  මෙවන්  ඛේදවාචකයකට  ගොදුරුවූයේ  දින  40 ක්පමණ  කතෝලික  ධර්මයේ  ප්‍රකාර  උපවාසයේ  යෙදෙමින් ,  ඉරුදින  දෙවමෙහෙය  සඳහා  පූජාවට  සහභාගී  වෙමින් ,  ආහාර  අනුභව කර  ,  නෑදෑයන්  හමුවන  අපේක්ෂාව  හදතුළ  රඳවාගෙන  දේවස්ථානයේ  සිට   දෙවියන්  වහන්සේ  ඉදිරියේ   යාඥාවේ  යෙදෙමින්   පව් කමාකරන  ලෙස  ඉල්ලා  යදිම්න්   සිටින   මොහොතකය.  මරාගෙනමැරෙන  බෝම්බ කරුවන්ට  අනපේක්ෂිත  ලෙස  ගොදුරුවීම  එම  පවුල් වලට  මෙන්ම  සමස්ථ  කතෝලික  ජනතාවටත්  ශ්‍රී ලාංකික  ජනතාවටත්  හා  මුස්ලිම්  ප්‍රජාවගේත්  දැඩිශෝකයට  ලක්වූ  අවස්ථාවක්    ලෙසින්  දක්වමු. මීගමුව  කටුවපිටිය  දේවස්ථානයේ උදේ   8.  46 ට  පමණ සිදුවූ  එම  පිපිරීම  මාගේ  කන්වලටද  පෙරියමුල්ල  මීගමු  ජනතාවටද  එම  දෝංකාරය  ඇසුනි.  බෝම්බයට  බිළිවූ  එම  ධර්මිෂ්ඨ  ජීවිත  ධර්මයේ  ප්‍රකාර  ස්වර්ගස්ථ වීමට  භාග්‍යවන්තයෝය.  නමුත් ඔවුන්ගේ  වියෝව  දරාගත නොහැකි  පාඩුවක්සේම  ශෝකයකි.

මෙම  IS IS  ත්‍රස්තවාදීන්   මුස්ලිම්  වර්ගයා  ලෙස   පෙනී සිටියත්  ඔවුන්  හා  ඉස්ලාම්  ධර්මයේ  ඉගැන්වීම් වලට  කිසිසේත්ම  සම්බන්ධ  නැත.  ISIS  බෝම්බ කරුවන්  ලෝක බලවතුන්ගේද  ,  කලාපීය  බල වතුන්ගේද   බලලෝභී  දේශපාලකයන්ගේද ,  මත්ද්‍රව්‍ය  ජාවාරම්  කරුවන්ගේද  ඊනියා  ජාතිවාදී,  ආගම්වාදීන්ගේද   අතකොළුවක් දැයි  රහසකි.

කාදිනල්  හිමිපාණනි !  මෙම  බෝම්බ  ප්‍රහාරයත්  සමඟ  සියළු දෙනාගේ  කෝපයටත්  වෛරයටත්   පාත්‍රවූයේ  ශ්‍රී ලංකාවාසී  මුස්ලිම්  ජනතාවය.  ප්‍රකෝපකාරී වී  මුස්ලිම් වරුන්ට   පහර දීමට  පෙර  ඔබතුමාගේ  වදන්   ක්‍රිස්තු  ලබ්දිකයින්  වන  ඔවුන්  පිළිපදින්නටත්,  අවනත වන්නටත්,  සන්සුන් වන්නටත් දෙවියන් වහන්සේගේ  නාමයෙන්  පැහැරහැරියේ  නැතිබව  මුස්ලිම්  ප්‍රජාව  වන  අපට  මනාව  පැහැදිළි විය.

අන්තර්ආගමික  සංහිඳියාව   සඳහා වූ  එකමුතුවේ  සාමාජිකයෙක් වන  මා  ඇතුළු  මුස්ලිම්  ප්‍රජාවේ  සාමාජිකයින්  කටුවපිටිය  පල්ලියට  ගොස්  ඒ සඳහා  අපගේ  දායකත්වය  ලබාදීමට  උත්සාහ  දැරුවෙමු. එහෙත්  ඇතැම්  ප්‍රකෝපකාරීන්  හෝ  අවස්ථාවාදීන්  තමන්ගේ  නෑ  හිතමිතුරන්  අහිමිවූ  පුද්ගලයින්  හා  අප  අතර  වෛරයක්  ඇතිවන  ආකාරයේ  කටයුත්තක්  සිදුවී  නම්  එය  අප විසින්  නිර්මාණය  කළ  දෙයක්  ලෙස  හුවා දක්වන්නට  පුළුවන.  ඒ  නිසා  එය  තවත්  නොසන්සුන්  තාවයකට  පත්වීමට  ඉඩ  තිබුනි.   මේ අනුව   අපගේ  කතෝලික  පූජකතුමන්ලාගේ  ඉල්ලීම  පරිදි  සහන සේවයට  හෝ  යාමට  නොහැකි  වූයේ  එහි  තිබූ  වාතාවරණය  නිසාය.මුස්ලිම්  ප්‍රජාව  වන  අපට  මිතුරන්,  සහෝදරයින්,  ඥාතීන්  අහිමිවිය.  පෙරදින තිබූ  අපේ  සංහිඳියාව  ,  එකමුතුව  දේදුනු  වර්ණයට  හිමිකම් කී  මීපුරයේ  සමඟිය   බිඳී  ආලෝකය  දුරස්වූ  අඳුරු  දිනයක් විය.

එම ප්‍රහාරයෙන්  මුස්ලිම්  දැරියක් වන  පාතිමා  අස්ලා  තම  මිත්තනිය  සමඟ  කටුවපිටිය  දෙව්මැදුරේ  තිබූ  දේවමෙහෙය  තුළ  කුරිරු  බෝම්බයට  බිලිවිය.  අපේල්  22 වන දින  එම  දැරියගේ  මෘත  දේහය  ඉස්ලාම්  ධර්මය  ප්‍රකාර  මීගමුව  පෙරියමුල්ල  ජුම්මා  මස්ජිදයේ  නැමදුමෙන්  පසු  එම  දේහය  සුසාන භූමිය දක්වා  රැගෙන ආ  එම  දුක්ඛිත  අවස්ථාවටද  මා  සහභාගී  වුනෙමි.

හිමිපාණනි!  මැයි  5වන දින  මීගමුව  පොරුතොට  දෙපිරිසක්  අතර  ඇතිවූ  සිදුවීම  මුල්කරගෙන  ඇතැම්  බලවේග  ප්‍රචන්ඩත්වය  වපුරුවමින්  ,  වෛරය  ක්‍රෝධය  ඇතිකර  මුස්ලිම්  නිවෙස්,  කඩ,  ත්‍රිවීල් රථ,  ව්‍යාපාරික  ස්ථාන,  යතුරුපැදි  හා  සාමාන්‍ය  මිනිසුන්ටද  පහරදීම  සිදුවිය.  පසුදින  ඔබවහන්සේ  මීගමු  ප්‍රදේශයට   උදෑසනින්ම පැමිණීම   හා  අලාභ  සිදුවූ  ස්ථාන  නරඹමින්  මුස්ලිම්  පල්ලිය(  නැමඳුම්  ස්ථාන) වෙත  ගොස්  එහි  ජනයා  හට  කණගාටුව  ප්‍රකාශ කරමින්,  ඔවුන්ගේ  සිත්සතන්  සමනය  කරන්නට  ඔබතුමා  ගත්  මහත් උත්සාහය  මුළුමහත්  මුස්ලිම්  ප්‍රජාවගේ  ප්‍රසාදයටත් ,  ගෞරවයටත්  පාත්‍රවිය.  ඒ නිසා ඔවුන්ගේ  සිත්තුළ  යම්  විශ්වාසය ගොඩනැගීමක්  සඳහාද  මුල පිරුනි.

හිමිපාණන්  කාර්්‍යබහුල  මොහොතක  වුවද   මීගමු  කුඩා රෝමයට  පැමිණ  මෙය  සමනය කිරීමට  ගත් උත්සාහයට  කෘතගුණ  සැලකීමක්  ලෙස  අලාභ සහ  හානිසිදුවූ  ,  අගතියටපත්  91  දෙනෙකුගේ  පැමිණිළි  සාමදානයෙන්  සළකා  බලා  45 ක්  වැනි  චූදිතයින්  පිරිසකට  සමාවදීමට  මීගමු  මුස්ලිම් ප්‍රජාව,  බුද්ධිමතුන්  වියතුන් හා  පල්ලිවල  දායක සභාව,  දූරදර්ශී  තීරණයක්  ගනු ලැබුවේ  වෛරය  නොවපුරා  ඉස්ලාම්  දහමේ  එන  සාමයේ  පණිවිඩය  ,  “ සලාමය,,  ශක්තිය  අත්වේවා  යන  වදන  අර්ථවත්  කරමින්  ඔබ වහන්සේ  ගත් උතුසාහය  මල්ඵල  ගන්වමින්ය.බෝම්බය  පිපිරුනු  දින  සිට  අද දක්වා  නොසන්සුන්  තත්වයට  කතෝලික  භක්තිකයින්  පත්වීම  වැළැක්වීම  සඳහා  කළ  ක්‍රියාවට  කෘතගුණ  සැළකීමක්  ලෙස  ශ්‍රීලාංකික  මුස්ලිම්  ප්‍රජාව   ලෝක  සාමය  සඳහා වන  නොබෙල්  ත්‍යාගයට  පමණක්  නොව  අරාබි එමීර්  රාජ්‍යයේ   සාම  ත්‍යාගයටද   ,  සෞදි  අරාබි  රාජ්‍යයේ  සාමය  සඳහා වූ  ත්‍යාගයටත්   ඔබේ නම  නිර්දේශ  කිරීම  අපගේ  වගකීමක්   ලෙස  ප්‍රකාශ කර සිටිමු.

අතිඋතුම්  අගරදගුරු  කාදිනල්  මැල්කම්  රංජිත්  හිමිපාණනි!  ඔබේ  මහඟු  සේවයට  අපේ  හෘදයාගම කෘතඥතාවය  පළ කරමු.
සුජායිල් මුනියර්