කාමච්චෝඩේ ඩඩ්ලි මාර්කට් එක කඩා දමා වසර 4කි ?

0
51

මෙරට අසාර්ථකම ව්‍යාපෘති ඇති නගරය ලෙසට අද මීගමුව නගරය පත්ව ඇත. පසුගිය කාලය පුරාවට මීගමුව නගරයේ සහ නගරය ආශ්‍රිතව ආරම්භ කළ බොහෝ ව්‍යාපෘති අසාර්ථක වී තිබේ . එයට ප්‍රධානතම හේතුව වන්නේ අදුරදර්ශී නගර පාලනයයි. පටු පෞද්ගලික වාසි පමණක් මුදුන්පත් කරලීම වෙනුවෙන් කිසිදු ශක්‍යතාවයකින් තොරව සහ උග්‍ර මහජන විරෝධතාවයන්ද නොසලකා එලෙස ආරම්භ කළ බොහෝ ව්‍යාපෘති අද වන විට අවසන් කරගත නොහැකි තත්ත්වයකට පත්ව තිබේ. කිසිදු සැලසුමකට අනුගත නොවී හිතු මනාපෙට සිදු කරන්නට ගිය බොහෝ ව්‍යාපෘති මේ අනුව අතරමග ඇනහිට තිබේ. මෙයින්  සිදුවන කෝටි ප්‍රකෝටි ගණනක මහජන මුදල් නාස්තිය  ද සුළු කොට තැකිය නොහැකිය. එලෙසම නගරයේ වෙසෙන ජනතාවට මෙම අසාර්ථක ව්‍යාපෘති හරහා විඳින්නට සිදුවන දුෂ්කරතා සහ අපහසුතාවයන්ද සුළුකොට තැකිය නොහැකිය .
         ඩඩ්ලි සේනානායක  වෙළඳපොළ  ගොඩනැගිල්ල ද මෙලෙස අසාර්ථක වූ ව්‍යාපෘති අතර තවත්  එකකි.

                මීගමුව, කාමච්චෝඩේ පිහිටි ඩඩ්ලි සේනානායක වෙළද පොල ගොඩනැගිල්ල දශක ගනනක් තිස්සේ  එහි වෙළෙඳාම් කළ ,වෙළෙඳුන්ගේ දැඩි විරෝධය ද නොතකා ඉතා හදිසියේ එය කඩා දැමුවේ
මිගමුව හිටපු නගරාධිපති දයාන් ලංසා විසිනි.
ඒ මිට වසර හතර හමාරකට පමණ  කාලයකට පෙරදීය. මේ හේතුවෙන් දශක ගනනක් පුරාවට එම වෙළෙඳපොළ ගොඩනැගිල්ලේ ව්‍යාපාර කටයුතු කළ වෙළදුන් විශාල පිරිසක් මේ වන විටත් සිටින්නේ ව්‍යාපාරික වශයෙන් දැඩි ලෙස අනාථභාවයට පත්ව ය.

  මෙලෙස ඉතා හදිසියේ මෙම වෙළඳපොළ ගොඩනැගිල්ල කඩා බිඳ දැමුවේ මෙහි වඩා වැඩි පහසුකම් සහිත නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යැයි පවසමිනි. එහෙත් එලෙස ඉතා හදිසියෙන් කඩා බිඳ දමන මේ වෙළඳපොළ ගොඩනැගිල්ල අලුතින් ඉදිකිරීමට මුදල් නොමැති බව 2021 වසරේ පෙබරවාරි මාසයේ  මීගමුව මහා නගර සභාවේ පැවැති මාසික  මහා සභා රැස්වීමේදී හිටපු නගරාධිපති දයාන් ලන්සා විසින් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබිණි. එයට හේතු ලෙස හිටපු නගරාධිපතිවරයා විසින් සඳහන් කර තිබුණේ  මීගමුව මහා නගර සභාවේ ඉදිකිරිම් වලට අදාලව ඇති විවිධ චෝදනා හේතුවෙන් අයදුම්කර තිබු රුපියල් මිලියන 400 ක ණය මුදල  ප්‍රතික්ෂේප වි ඇති බවයි. 

              ඉතා හදිස්සියෙන් මෙම ගොඩනැගිල්ල කඩා බිඳ දමා නව ගොඩනැගිල්ලක් ඉක්මනින්ම ඉදිකරනවා යැයි පැවසුවද පසුගිය කාලයේ එහි තිබුණේ රථ ගාලකි. මීගමුව මහා නගර සභාව නාගරික කොමසාරිස්වරයාගේ  පාලනයට නතුවන කාල වකවානුව තුලදී මෙහි ගොඩනැගිල්ලක් මේ වන විට ඉදිකරමින් පවතී. මේ පිළිබඳව අප විමසූ අවස්ථාවේදී නාගරික කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ තව මාසයක පමණ කාලයකදී ඩඩ්ලි සේනානායක වෙළෙඳපොළ ගොඩනැගිල්ලේ වැඩ අවසන් කිරීමට නියමිතව ඇති බවයි 

              මේ සම්බන්ධයෙන් නගරයේ වෙසෙන බෝහෝ දෙනෙකු මෙන්ම සමහර ව්‍යාපාරිකයන් පවා ප්‍රකාශ කලේ  පසුගිය කාලය තුල විධිමත් හා ක්‍රමවත් සැලසුමකින් තොරව හිතුවක්කාරිව මිගමුවේ දියත් කරන්නට යෙදුණු සියළු ව්‍යාපෘතින් පැහැදිලිව සුදු අලින් පමණක් බවට පත් වී ඇති බවයි.