කොරෝනා සම්බන්ධයෙන් කෑගල්ලේ ධම්මික නිෂ්පාදනය කල බව කියූ බෙහෙත සම්බන්ධයෙන් තමා තුළ දැඩි විශ්වාසයක් තිබුණ ද ඊයේ දිනයේදී දැකගත් මාධ්‍ය වාර්තා අනුව ඒ විශ්වාසය 100%කින්ම නැතිවූ බව
ඕමල්පේ සෝභිත හිමි පවසති.
උන් වහන්සේ එබව පැවසුයේ අද පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.
”කොරෝනා වෛරසයට එරෙහිව අලුතින් සොයා ගත්තා කියපු අපේ දේශීය ඖෂධය සම්බන්ධයෙන් අපේ ලොකු පිළිගැනීමක් තිබුණා. අනේ මේ අපේ දේශීය දැනුම මුල්කරගෙන හදපු බෙහෙතක් නේද කියලා, නමුත් අපේ ඒ ප්‍රසාදය 100%කින්ම නැතිවුණා අපි ඊයේ දැකපු මාධ්‍ය වාර්තා අනුව..
මොකක්ද හේතුව ඒ බෙහෙත කාලී අම්මාගේ කියපු ගමන් අපිට ඒ ගැන කිසිම විශ්වාසයක් තියන්න බෑ. මේ රටේ කිසිම බුද්ධිමත් මිනිහෙකුට පිළිගන්න පුළුවන්කමක් නැහැ කාලි අම්මාගේ බෙහෙත්. අපිට තවමත් ඉගුරු කොත්තමල්ලි පැණිය විශ්වාසයි. ඒ වැඩේ කාලිඅම්මත් ඒක්කම අවසන් වුණා. ” යයි උන්වහන්සේ එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසුහ.
ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යද්දී ව්‍යාජ බෙහෙත් (Fake cure) සහ විද්‍යානුකූලව තහවුරු නොවූ ප්‍රතිකාර (Unproved treatments) රාජ්‍ය අනුග්‍රහය ද ඇතිව ජනමාධ්‍ය සහ සමාජ ජාල ඔස්සේ ප්‍රවර්ධනය කෙරෙන බවට චෝදනා එල්ල වේ.
කෑගල්ල ප්‍රදේශයේ කපු මහතෙකු විසින් නිෂ්පාදනය කරන ලද පැණිය ඊට ආසන්නතම උදාහරණයයි.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මෙන්ම කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් ද එම පැණිය ලබා ගන්නා ආකාරය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.
ඔවුන් එවැනි පියවරකට යොමුව තිබුණේ අදාළ පැණියට කොරෝනා වෛරසය මර්දනය කළ හැකි බව විද්‍යාත්මකව තහවුරු වී නොමැති පසුබිමකදීය.
ඒ බව, අග්‍රාමාත්‍ය කාර්යාලය ඉරිදා (දෙසැම්බර් 13) නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් තහවුරු වේ.
“කෝවිඩ්-19 ට සොයාගත් දේශීය ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධවල විද්‍යානුකූල තහවුරු කිරීම් කඩිනම් කරන්නැයි” අගමැති මහින්ද රාජපක්ෂ උපදෙස් දී ඇතැයි එම නිවේදනයේ දැක්විණි.
කෙසේ වුවත් මේ වන විට එම පැණිය සිය ගණනකගේ අතට පත්ව ඇත.
එහි අඩංගු ඇතැම් සංඝටක මගින් සෞඛ්‍ය බලපෑම් ඇති විය හැකි බවට රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වන විට අනතුරු අඟවා තිබේ.
එය පානය කළ වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ සේවකයන් හත් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඇතැම් වෙබ් අඩවි අඟහරුවාදා (දෙසැම්බර් 15) වාර්තා කර තිබිණි.
මේ අතර කොරෝනා වෛරස් මර්දන එන්නතක් ආනයනය කිරීම හෝ එවැනි එන්නතක් දේශීයව නිෂ්පාදනය කිරීමට අදාළ කිසිදු විධිමත් සැලැස්මක් ආණ්ඩුව හෝ සෞඛ්‍ය බලධාරීන් විසින් මෙතෙක් ප්‍රකාශයට පත් කරනු ලැබ නොමැත.
දේශීයත්වය හෝ අපේකම: “පරිණාමයේ ආපස්සට යාම නොවෙයි”
වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදී සංගමයේ සභාපති රවී කුමුදේශ්
බටහිර වෛද්‍ය විද්‍යාව හෝ දේශීය වෛද්‍ය ක්‍රම අනුව වැඩිදියුණු කළ ඖෂධයක් මහජනතාව වෙත ලබා දීමට පෙර ඊට අදාළ සෞඛ්‍ය නීති, අනුගමනය කළ යුතු පිළිගත් ක්‍රමවේද සහ මහජන ආරක්ෂාව යන කරුණු සපුරා ලිය යුතු බව වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදී සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ “දේශීයකම හෝ අපේකම විකුණමින් සති දෙකකට වරක් කුමක් හෝ කට ගැස්මක් කරළියට එනවා. සෞඛ්‍ය සේවාවට සම්බන්ධ වගකිවයුතු අයම ඒවා උස්සගෙන ඇවිල්ලා රූපවාහිනී තිර පුරවනවා. අවසානයේ මහජනතාව ඒවායේ ගොදුරු බවට පත්වෙනවා,” යනුවෙනි.
“වෛරස් ලෙඩවලට මොන වෛද්‍ය ක්‍රමයේවත් බෙහෙතක් නැහැ. ඒක සිංහල වෙද්දුත් දන්නා, බටහිර වෙද්දුත් දන්න, චීන වෙද්දුත් දන්නා ඇත්තක්. වෛරස් ලෙඩවලට බෙහෙත් අවශ්‍ය නැති බව වැදි යුගයේ හිටපු අපේ මුතුන් මිත්තන් පවා දැන සිටියා. ඔවුන් පවා ඊට පිළියම් කළේ ආශ්චර්යෙන් නෙමෙයි, ස්වභාව ධර්මයට ඉඩ දීලා, රෝගය පාලනය කිරීමෙන්.”
“දේශීයත්වය හෝ අපේකම” ආරක්ෂා කිරීම යනු පරිණාමයේ ආපස්සට යෑම නොවන බව පෙන්වා දෙන රවී කුමුදේශ් බටහිර වෛද්‍ය ක්‍රමය නිර්මාණය වී ඇත්තේ සෑම දේශීය ක්‍රමවේදයන්හි ඇතුළත් සිද්ධාන්ත විද්‍යාත්මකව පරිණාමය වීමෙන් බව සඳහන් කරයි.
“අපි බොන පෙති බොහොමයක තිබෙන්නේ සාදික්කාවල, හල් පොතුවල, මී පැණිවල හෝ අපි දන්නා ගහකොල, සතා සිව්පාවාගෙන් වෙන් කරගත්තු රසායනික සංයෝග මිස වෙන යමක් නෙවේ,” යනුවෙන් රවී කුමුදේශ් වැඩිදුරටත් පැවසීය.
වැරදි තොරතුරු නිසා ජීවිත අහිමි විය හැක
වසංගත තත්ත්වයක දී විශාල වශයෙන් තොරතුරු හුවමාරු වේ. ඉන් සමහරක් තොරතුරු නිවරද්‍ය වන නමුත් ඇතැම් ඒවා එසේ නොවේ.
එමගින් ජනතාව ව්‍යාකූල වන අතර අවසානයේ ආණ්ඩු සහ සෞඛ්‍ය බලධාරීන් ගන්නා වූ ක්‍රියාමාර්ග අවිශ්වාස කිරීම දක්වා එම තත්ත්වය දුරදිග යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
කොරෝනා වෛරස් වසංගතය හමුවේ විද්‍යාත්මකව තහවුරු නොකරන ලද ඖෂධ අලෙවිය හෝ බෙදා හැරීම මෙන්ම ‘අත්බෙහෙත්’ භාවිතය ශ්‍රී ලංකාවට පමණක් පොදු තත්ත්වයක් නොවේ.
කොරෝනා වෛරසයට ප්‍රතිකාරයක් වශයෙන්, කීට විශේෂයක් මර්දනය කිරීම සඳහා භාවිත කෙරෙන ‘ඉවර්මෙක්ටින්’ (Ivermectin) නැමති ඖෂධයක් දකුණු ඇමරිකානු කලාපයේ ප්‍රචලිත විය. ඒ කෙරෙහි ජනතාව යොමුව තිබුණේ ඖෂධය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි පවා නොතිබුණ පසුබිමකදීය.
ඡායාරූප මූලාශ්‍රය, WHO
වසංගත තත්ත්වයක් තුළ දී රටක පුරවැසියන්ට අවබෝධ කර ගත හැකි ආකාරයේ, සාක්ෂි මත පදනම් වූ තොරතරු ලබා දීමට මැදිහත් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
“නිසි මාධ්‍ය ඔස්සේ, නිසි පණිවුඩකරු හරහා නිසි වේලාවට, නිසි පණිවුඩය ලබා දීමෙන් ජීවිත බේරා ගත හැක. නොමග යවන සුළු තොරතුරු හෝ නිශ්චිත නොවන තොරතුරු නිසා ජීවිත නැති විය හැක.”
විශේෂයෙන් අද වැනි ඩිජිටල් යුගයක නොමග යවන සුළු තොරතුරු නිසා පුද්ගලයෙකු හෝ ප්‍රජාවක් සම්පූර්ණයෙන් විනාශයට පත් විය හැක.
ඉහත කී තත්ත්වය හුදු සන්නිවේදනයේ ගැටළුවක් පමණක් නොව වසංගත තත්ත්වයක් තුළ තොරතුරු ලබා දීමේදී සාක්ෂි මත පදනම් වූ ප්‍රවේශයක් පිළිබඳ යළි සිතා බැලීමේ අවශ්‍යතාව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
(උපුටා ගැනීම් : සුනෙත් පෙරේරා -BBC සිංහල සේවය)