කැඩෙන සපත්තු සහ කුඩ මතින් ජීවන අරගලයේ යෙදෙන ප්‍රකාශ් !

0
958

shoe reapir 3

විවිධ  රැකියාවල  නිරතවී  තම  ජීවිතය  රැක  ගන්නා  අය  මීගමු  නගරයේ  තැනින් තැන   සිටින  නමුත්  ඔවුන්  එක්කෝ  තම  ස්ථානය  වෙනස්  කර  ගනිති.  නැතිනම්  කරන  රැකියාව  වෙනස්  කර ගනිති. වැඩි  කාලයක්  එකතැන  රැ‍ෙඳෙන්නේ  සුළු  පිරිසකි.   අපගේ  කථාවට  බඳුන්  වන   මේ  තැනැත්තාද  වසර  34ක්  තිස්සේ  මීගමුවේ  සපත්තු,  බෑග්  සහ  කුඩ  හදමින්  එක  දිගට  එකම  තැන  තවමත්   තම  සුපුරුදු  රැකියාව  කරති.   වැඩ  අධික  වුවද  වැඩ  කරමින්ම  අප  සමඟ    කෙටි  කථාබහක  යෙදෙමින්  තම  ජීවන  තොරතුරු  ප්‍රකාශ  කළ  ඔහු  නමින්  ප්‍රකාශ්ය.

ඔබේ  පුද්ගලික  විස්තර  ටිකක්  කිව්වොත්..

මගෙ  තාත්ත  කදිරවේල් .  මට  අවුරුදු  6 දි    තාත්ත  නැති වෙනව. ඒ  කෝච්චියට  හැප්පිල.  අම්ම ජයලක්ෂ්මී.  අම්ම  තාම  ඉන්නවා.  මම  හැදුනෙ  බාප්ප  ලඟ.  අපේ  තාත්ත  වැඩකළේ  කිරුලපන  නගරසභාවෙ.  මම  වයස  17දි  කසාද  බැන්ද .  එයාගෙ  නම  චිත්‍රා. අපිට  ළමයි  5ක්  ලැබුන.  නෝන  අකාලෙ  මියගියා.  පස්සෙ  දරුවො  5ක්  නිසා ඒ ගොල්ලන්ව  බලාගන්න  අමාරු  නිසා   මම  දෙවෙනි  කසාදයක්  කර ගත්ත.  එයාගෙ  නම  චන්ද්‍රා.එයා  සිංහල  බෞද්ධ   කෙනෙක්.

 මේ  රස්සාවට  යොමුවුනේ  කොහොමද?

මාව  හදාගත්තෙ  බාප්පල.  ඒගොල්ලො  තමයි  මේ  රස්සාව  මුලින්  කළේ.    මම  පොඩි  කාලෙ  බලා  ඉඳල  තමයි  පුරුදු  වුනේ.මම  ඉගෙන  ගත්තෙ  3ට  විතරයි.  1980  ජූලි  කලබලවලින්  පස්සෙ  ස්කෝලෙ  ගමන  නතරවුනා.  තරුණ  කාලෙ  මම  ධීවර  රස්සාවත්  කළා.  බෝට්ටුවල  ගියා.  පස්සෙ  ඒව  අතහැරල  මේ  වැඩේ  පටන් ගත්ත.

කාලයක්  තිස්සේ ‍ මීගමුවෙ   ඉන්න  ඔබ  ලැබූ  අත්දැකීම්  මොනවද?

මම  මෙතෙන්ට  එනකොට  මේ  වගේ  බිල්ඩින්  තිබුනෙ  නෑ.  ඔය  ඉස්සරහ  තියෙන  සිල්ලර  කඩේ  විතරයි  තිබුනෙ.  අනික්  පැත්තෙ  රාජපක්ෂ  වලව්ව  තිබුන. දකුණු  පැත්තෙ  ඔය  පේන්න  තිබෙන  ගේ  තිබුන. 1980  ජූලි  කලබල  දවස්වල  අපේ  ගෙවල්වල  අය  හිටියෙ  බයෙන්.  අපේ  මුල්  ගම  කිරුලපනේ. ඒ  දවස්වල  අපේ  ගෙවල්  කැඩුව.  මම  එතකොටත්  හිටියෙ  මීගමුවෙ.  අපේ  අම්මල  මාව  කොළඹට  අරංගියා. එහෙ  ආමි  කෑම්ප්  එකක  තමයි  අපි  හිටියෙ.

ඔබේ  මේ  ව්‍යාපාරෙ   සහ  ඉදිරිබලාපොරොත්තු  ගැන  යමක්  කිව්වොත්.

මම  උදේ  9.00ට  මෙතෙන්ට  එනව.  හවස  6.00  වෙනකම්  වැඩ කරනව.  දවසකට  ජීවත්වෙන්න  ඕනකරන  සල්ලි   රු.  1000/ක්  1200/ක්  වගේ  ගානක්  හොයා ගන්නවා.  මේ  වැඩේට  නූල්,  ගම්, රබර්  අයිටම් ,  බෑග්වලට  ෂිපර්  වගේ  දේවල්  මීගමුවෙන්ම  තමයි  ගන්නෙ.  ඒක  නිසා  ඒසම්බන්ධයෙන්  ගැටළුවක්  නෑ.ඉතින්  යම්  විදිහකින්  සල්ලි  ටිකක් වැඩියෙන්  හම්බ වුනොත්  පොඩි  කඩකෑල්ලක්  අරගෙන   තව  ටිකක්  දියුණු  කර  ගන්න  තමයි  බලාපොරොත්තු  වෙන්නෙ.

  රස්සාව  ගැන  ඔබ  සතුටුද?

ඔව්.  මම  සතුටින්  තමයි  රස්සාව  කරන්නෙ.  ඒ  වගේම  එකඑක  අදහස්  තියෙන  අය  එනවා.  ඒ  අය  තරහ  කරගෙන  මේක  කරන්න බෑ.  සමහරු  කියනවා  ගන්න  ගාන  වැඩියි  කියල.  ඉතින්  ඒගැන  තර්ක  කරන  වෙලාවලුත්  තියෙනවා.  ඒවුනාට  රංඩු වෙන්න  යන්නෙ  නෑ.  කොහොම වුනත්  ඉවසීම  කියනඑක  හුඟක්  වැදගත්.

ප්‍රකාශ්   මීගමු  ඉතිහාසයට   සම්බන්ධ  වන්නේ  පරණ  සපත්තු  හදන  කෙනෙක්  ලෙස  පමණක්  නොව  ජාතීන්  අතර  සමඟියෙන්  ජීවත්විය  යුතුයි  යන  පනිවිඩය  පිළිබඳව  සමාජයට  ආදර්ශයක්  දුන්  යහපත්  මිනිසෙකු  ලෙසටය.  ඔහු  දමිල  වුවද  අපි  කථාකරන  මොහොතේ  ඔහු  ලඟ  සපත්තුවක්  මහමින්  සිටියේ   සිංහල  යහළුවෙකි.  ඒ  ධීවරයෙකි.   දකුනේ  රස්සාවට  ගොස්  නිවාඩුව  ලැබුණු  වහාම  ඔහුද  තම  යහළුවා  සමඟ  ගතකිරීම  පුරුද්දක්  කරගෙන  සිටියි.  එසේම  දෙවනුව  බිරිඳ  ලෙස  තෝරා  ගත්තේ  සිංහල  බෞද්ධ  කාන්තාවකි.    මේ  අනුව  ප්‍රකාශ්  ගෙන්  ප්‍රකාශ  වන්නේ  අපි  අතර  පවතින  ජාතිවාදය  බැහැර  කළ  යහපත් මිනිසෙකුගේ  ගති ලක්ෂණය. ඒනිසා  ඔහු  තමන්  ලඟට  එන  කිසිවෙකුගේ   ජාතිය  ජන්මය  සොයා  නොබලා  තම  සේවාව  ලබාදෙයි. එමෙන්ම   දැනට  අවුරුදු  කිහිපයකට  පෙර  රු.  2.00ක්  අයකල  වැඩක්  අද කරන්නේ  රු..  30/කට  බව  ඔහු  විවෘතව ප්‍රකාශ  කරයි.  මේ අනුව  ඔහු  තම  රස්සාව  තුළින් මිනිසුන්  ගසා  කෑමක්  සිදු  නොකරයි