කුවේටයේ ශී‍්‍ර ලංකීක ගෘහ සේවිකාවගේ මරණය සිදු වුයේ සිරුරේ අවයව ලබා ගැනීමටද ???

0
60

කුවේට් රාජ්‍යයේ නිවසක ගෘහ සේවිකාවක ලෙස සේවය කරමින් සිටියදී පසුගිය ඔක්තෝබර් මස 31 වැනි දින හදිසියේ මිය ගියේ යැයි කියන කලාවැව, විජිතපුර අළුත් පුලියන්කුලම ගම්මානයේ පදිංචි වී සිටි 28 හැවිරිදි එක් දරු මවකගේ මරණය සැක සහිත බව ඇයගේ සොහොයුරෙකු වූ පි‍්‍රයන්ත බන්ඩාර ගුණවර්ධන නැමැත්තා ප‍්‍රකාශ කර සිටී.  ඇය මිය ගොස් ඇති බවට පසුගිය නොවැම්බර් 01 දින මෙරට සිටින ඇගේ ඥාතීන්ට පවසා තිබුනේ ඇගේ යෙහෙලියක වූ එක් ශි‍්‍ර ලාංකික කාන්තාවක් විසින් ලබා ගත් දුරකථන ඇමතුමක් මඟිනි.

මෙලෙස මිය ගොස් ඇති ශ්‍යාමලී ගුණවර්ධන නැමැති මෙම කාන්තාව ගේ මරණය සිදු වුයේ යැයි කියන පසුගිය ඔක්තෝබර් මස 31 වැනි දින ද ඇය මෙරට සිටින ඥාතීන්ට දුරකථනයෙන් කථා කර ඇති අතර එහිදී ඇය කිසිදු අසනීප තත්වයකින් පෙලෙන බවට තම ඥාතීන්ට පවසා තිබුනේ ද නැත. එලෙසම මරණය සිදු වුවා යැයි කියන එම දින සිට දින 10 කට පසුව මළ සිරුර මෙරටට ගෙන ආ අවස්ථාවේ ඒ සමග එවා තිබු මරණ පරීක්ෂන වාර්තාවේ මරණය සම්බන්ධයෙන් කිසිදු හේතුවක් හෝ විස්තරයක් දක්වා නොමැති වීම යන කරුණු මත මෙම මරණය සැක සිහිත බැවින් ඒ පිලිබදව නිසි විමර්ෂනයක් සිදු කරන ලෙස කටුනායක ගුවන් තොටුපල පොලිස් ස්ථානයෙන් මිය ගිය කාන්තාවගේ සොහොයුරා ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව මීගමුව රෝහලේ හදිසි මරණ පරීක්ෂක සිරි ජයන්ත මහතාගේ නියෝගය පරිදි මීගමුව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඞී. ඒ. දයාපාල මහතා විසින් මෙම පශ්චාත් මරණ පරීක්ෂනය සිදු කර තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ මිය ගිය කාන්තාවගේ සිරුරේ උගුරේ සිට උදරය දක්වා වූ කොටසේ අවයව ඉවත් කර ඇති බවයි. ඒ අනුව අමාශය, හදවත , සහ උගුරේ කොටසක් (ග‍්‍රසනිකාව* ඇගේ සිරුරින් ඉවත් කර තිබිණි. මල සිරුර මෙරටට රැගෙන ආ අවස්ථාවේ මළ සිරුර සමගින් ඒවා තිබූ මරණ පරීක්ෂ වාර්තාවේ කිසිදු තැනක මෙම අවයව ඉවත් කල බවද සදහන් වී නොතිබිණි. මේ නිසා ශරීර අවයව ලබා ගැනීම සදහා මෙම කාන්තාව මරා දැමුවාදැයි සැකයක් ඇති වන බව ඇගේ ඥාතීන් පවසති.
එලෙසම පසුගිය නොවැම්බර් 01 දා මෙම කාන්තාව මිය ගිය බව පවසමින් කුවේට් හී සිටින ඇගේ ශී‍්‍ර ලාංකීක යෙහෙලිය විසින් දුරකතනයෙන් ඇගේ ඥාතීන්ට පැවසීමට පෙර හෝ පසුව ඇය මිය ගිය බවට ඇය සේවය කල නිවසේ හාම්පුතුන් විසින් හෝ කුවේට් රාජ්‍යයේ පිහිටි ශී‍්‍ර ලාංකා තනාපති කාර්්‍යාලයෙන් හෝ මෙරටට දැනුම් දීමක් කර නොතිබුණි. එම යෙහෙලියගේ පණිවිඩය අනුව ඇගේ ඥාතීන් විසින් ඇයව කුවේට් රාජ්‍යයේ සේවයට යැවූ අනුරාධපුරයේ පිහිටි රැකියා ඒජන්සියට දැනුම් දී තිබෙන්නේ ඇයගේ මළ සිරුර ඉක්මනින් ලංකාවට ගෙන්වා දීමට කටයුතු කරන ලෙසයි.

එහෙත් එම රැකියා ඒජන්සිය ඒ වගකීමෙන් හා යුතුකමින් මග හැර රැකියා ඒජන්සියේ නිලධාරීන් පවසා තිබුනේ එය විදේශ සේවා නියුක්ති කාර්්‍යාංශයට දැනුම් දෙන ලෙසයි. ඒ අනුව විදේශ සේවා කාර්්‍යාංශයේ මැදිහත් වීමෙන් ඇයගේ මළ සිරුර ඉකුත්දා ශී‍්‍ර ලංකාවට ගෙන එන ලදී. ඇයගේ මරණය සම්බන්ධයෙන් සිදු වුයේ කුමක්දැයි හේතු සහිතව විමසීමට ඇයගේ ඥාතීන් විසින් කුවේට් හී ඇය සේවය කල නිවසේ හාම්පුතුන්ට දුරකථනයෙන් අවස්ථා කිහිපයකදීම ඇමතුම් ගත්තද එවාට  කිසිවකු පිලිතුරු නොදුන් බවද ඥාතීන් පවසති.
මිය ගිය ශ්‍යාමලී ගුණවර්ධන පසුගිය 2010 වසරේ අප්‍රෙල් මස 24 දින කුවේට් රාජ්‍යයේ රැකියාවට ගොස් ඇති අතර ඇය මිය යන විට සත් හැවිරිදි දියණියකගේ මවකි.
කෙසේ වෙතත් මේ වන විට මල සිරූර සම්බන්ධයෙන් මීගමුව රෝහලේදී සිදු කල පශ්චාත් මරණ පරීක්ෂනයෙන් විවෘත තීන්දුවක් ලබා දී මල සිරුර අවසාන කටයුතු කිරීම සදහා ඥාතීන්ට භාර දී තිබේ. එලෙසම ඇගේ සෙහොයුරු පි‍්‍රයන්ත බන්ඩාර ගුණවර්ධන මහතා ඇතුළු ඇයගේ ඥාතීන් රජයේ වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම සැක කටයුතු මරණය පිලිබදව අපක්ෂපාතී පුළුල් පරීක්ෂනයක් සිදු කරන ලෙසයි.