”කොටි ඉන්නේ මගේ වාහනයේ නොව, ආණ්ඩුවේ ඔඩොක්කුවේ ” -දිනේෂ්

0
62
Dinesh_d_410px

Dinesh d 410pxඑජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ  දිනේෂ් දොඩන්ගොඩ මහතාගේ  වාහනයේ සිටි, ‘කොටි ත්‍රස්තවාදියෙකු’  යැයි සැක කරනු ලබන පුද්ගලයෙක්  එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වූ ‘සිරිකොත’ අසලදී ඊයේ (14) පොලිස් අත්අඩංගුවට ගත් බවට සුවිශාල ප්‍රසිද්ධියක් ලබාදෙමින් ඇතැම් මාධ්‍ය මගින් පළකර ඇති වාර්තා මුලුමනින්ම අසත්‍ය වේ.

පෞද්ගලිකව තමා කෙරෙහිත්, පොදුවේ එක්සත් ජාතික පක්ෂය කෙරෙහිත් වැරදි ප්‍රතිරූපයක් ගොඩනැගීම එම මාධ්‍ය අවලාද වල ඉලක්කය වී ඇතැයි දිනේෂ් දොඩන්ගොඩ මහතා විසින් නිකුත්කළ නිවේදනයක දැක්වේ.

”සත්‍ය වශයෙන්ම කොටි සාමාජිකයන් සිටින්නේ තමාගේ වාහනයේ නොව, ආණ්ඩුවේ ඔඩොක්කුවේ බව” දොඩන්ගොඩ මහතා අවධාරණය කර සිටියි.

දොඩන්ගොඩ මහතාගේ  නිවේදනයේ මෙසේද සඳහන්වේ.

”  පදනම් විරහිත වූ මෙම මාධ්‍ය ප්‍රචාරය මගින් දේශපාලන, සමාජමය සහ වෘත්තීමය වශයෙන් වැරදි ප්‍රතිරූපයක් පෞද්ගලිකව මටත්,  චිශේෂයෙන් මා නියෝජනය කරන  එක්සත් ජාතික පක්ෂ සහ ‘සමගි’ බලවේගයටත් ඇතිවිය හැකි බැවින්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ කරුණු පැහැදිලි කිරීමක් මා විසින් කළ යුතු බව කල්පනා කරමි. ‘සමගි’ බලවේගය විසින් සංවිධානය  ලැබූ 2013 මානව හිමිකම් උළෙල නොවැම්බර් 13 සහ 14 දිනවල ‘සිරිකොත’ ශාලාවේ දී පැවැත්වුණු අතර ආණ්ඩුව සංවිධානාත්මකව මැර පිරිස් ‘සිරිකොත’ ඉදිරිපිටට ගෙන්වා විරෝධතා සංවිධානය කිරීමෙන් සහ පොලිසිය ලවා අධිකරණ නියෝග ලබා ගැනීමෙන් පවා එයට බාධා කරන ලදී.

එම උළෙල ඉතා සාර්ථකව ඊයේ (14)  සවස අවසන් වූ අතර එය අවසානයේදී ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ නායකත්වයෙන් යුත් නව සම සමාජ පක්ෂයේ උතුරේ සිට පැමිණි නියෝජිතයෙකු මා විසින් කරන උපකාරයක් ලෙස කොටුව, දුම්රිය ස්ථානයට ඇරලවන ලෙස මාගෙන් ඉල්ලීමක් කරන ලදී.

ඒ අනුව මා නිවස බලා පිටත්වන විට ඔහුවද මාගේ වාහනයෙන් කොටුව, දුම්රිය ස්ථානය කරා ගෙන යාමට ‘සිරිකොත’ භූමියෙන් පිටත් වූ අවස්ථාවේ ම පොලිසිය මාගේ වාහනය නවතා “ ‘සිරිකොතින්’ පිටවන සියලු වාහන පරික්ෂා කිරීමට ආරක්ෂක ලේකම්වරයාගේ නියෝගයක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මාර්ගයෙන් ලැබී ඇති බැවින් මාගේ වාහනයද පරික්ෂා කළ යුතු බව දන්වන ලදී.

මේ පරික්ෂාව සඳහා මිරිහාන මූලස්ථාන පොලිස් පරීක්ෂකද සහභාගී විය. එහිදී මගේ වාහනයේ සිටි, උතුරේ සිට පැමිණි නව සම සමාජ පක්ෂ නියෝජිතයා ‘කොටි ත්‍රස්තවාදියෙකුදැ’යි සැක හැර දැන ගැනීමට පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද අතර මා සහ මාගේ වාහනය නිදහස් කර යවන ලදී.

ඔහුට විරුද්ධව කිසිදු කාරණයක් නොමැති බැවින් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත් අඩංගුවට ගත් නව සම සමාජ පක්ෂ නියෝජිතයාව ඊයේ (14)  රාත්‍රියේම මිරිහාන පොලිසිය විසින් මුදා හරින ලදී.

සිද්ධිය මෙසේ වුවත්, ඇතැම් මාධ්‍ය මගින් මෙම සම්පූර්ණ සිද්ධිය හෙළිදරව් නොකර අදාළ තැනැත්තා මාගේ වාහනයේ සිටියදී කොටි ත්‍රස්තවාදියෙකුදැයි සැකපිට අත් අඩංගුවට ගත් බව පමණක් ප්‍රචාරය කරන ලද අතර එය දේශපාලන, සමාජමය සහ වෘත්තීමය වශයෙන් අහිතකර ප්‍රතිරූපයක් ගොඩ නැගීමට හේතු විය හැකිය.”