මීගමුවේ සුළුපන්න ධීවරයා කෙරෙහි බලපාන ප්‍රධාන ප්‍රශ්ණයක් ලෙස වරින්වර මතුවෙමින් යටයමින් මෙම කොටුදැල් ප්‍රශ්ණය දිගටම පවතී.කිසිදු වගකිවයුත්තෙකු තමන්ගේ ප්‍රශ්ණය කෙරෙහි අවධානය නොදෙන බව විශේෂයෙන් තෙප්පන් වලින් තම ජීවිතය රැක ගැනීම උදෙසා මාළු අල්ලන ධීවර පිරිස් මැසිවිලි නගති. මෙම ප්‍රශ්ණයට ඇත්තේ දිගු ඉතිහාසයකි. මේ සම්බන්ධව විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙමින් වගකිවයුත්තන් දැනුවත් කළද ප්‍රශ්ණය උග්‍රවූවා මිස විසඳුමක් ලැබෙන ලකුණක් වත් නැත.මේ පිළිබඳව පවතින තත්වය ගැන තෙප්පන් ධීවරයෙකුවන මෙරිල් මහතාගෙන් අප කරුණු විමසීමක් කළෙමු.
කොහොමද මෙම කොටුදැල් වලින් මාළු ඇල්ලීම සිදු වෙන්නෙ?
මාළු කැටයක් කළුවට පෙනෙන අවස්ථාවක මේ අය පැමිණ ( බෝට්ටු 25ක පමණ පිරිසක්) මේ මාළු කැටය වටකරනව. මාළු විශාල ප්‍රමාණයක් මේ විදිහට අල්ලාගැනීමට ඔවුන්ට පුළුවන් වෙනව. අපි කිලෝ 10ක් 15ක් (100ට අඩුයි) අල්ලන කොට ඒ අය අල්ලන්නෙ කිලෝ 500 , 1000 වගේ ප්‍රමාණ වලින්. අපි සූඩය, කුම්බලාව , සාලය වගේ මාළු තමයි අල්ලන්නෙ.
මේගැන තව විස්තර කළොත්..
වැඩි මාළු ප්‍රමාණයක් අල්ලන නිසා කොටුදැල් කට්ටියට ලාබෙට මාළු විකුණන්න පුළුවන්. රු. 50/කට කිලෝ එක විකුණුවොත් කිලෝ 1000කට රු. 50000/ ක් ඔවුන්ට ලැබෙනව. එහෙම බලනකොට අපි අල්ලන මාළු ප්‍රමාණය අඩු නිසා කිලෝ 10කට රු.500/ ක් තමයි අපිට ලැබෙන්නෙ. ඒ වගේම ඒගොල්ලන් අල්ලන මාළු ලස්සනට තියෙනවා. මෙතෙන්දි මතුවන තවත් ප්‍රශ්ණ තියෙනවා.
එකක් තමයි අපිට මාස 6කට වැඩි කාලයක් රස්සාවට යන්න බෑ. බෝට්ටු වලින් රස්සා කරන නිසා ඒගොල්ලන්ට හැමකාලයේම රස්සාව තියෙනවා. අනික මේ වෙනකොට බය කරල, මුහුද බොරකරල මාළු අල්ලන නිසා ගොඩ මුහුදේ මාළු අඩුවීමක් සිද්ද වෙනව.
ඉතින් මේගැන තෙප්පන් ධීවරයො විදිහට මොනවද කළේ?
අපි සියළු වගකිවයුත්තන්ට කිව්ව. අපිට මෙහෙ කියන්න තියෙන එකම තැන මීගමු ධීවර කාර්්‍යාලය. ඒ ගොල්ලොත් මේ ගැන සළකන්නෙ නෑ. අපි හිතන්නෙ වැල්ලවීදියෙ 80ක් විතර සහ මුළු මීගමුවෙම 300ක් 400ක් වගේ ඉන්න තෙප්පන් ධීවරයින්ව කිසිවෙකු සළකන්නෙ නෑ කියලයි . සමහර වෙලාවට රණ්ඩුවෙල, ලේ හලාගෙන මේ වැඩේට අපි මැදිහත්වුනා. ඒවුනත් වැඩක් වුනේනෑ. ඒවුනාට අපි අපේ සංවිධානය ඇතුලෙ ඉඳගෙන දිගටම මේකත් එක්ක හැප්පෙනව.