කොමසාරිස් නියමයෙන් මිගමු සමුපේ  අධ්‍යක්ෂක මණ්ඩලය, ඉවතට..?

0
70

 

         පසුගිය 28 දා (2024/09/28)  සිට ක්‍රියාත්මක වන පරිදි සීමාසහිත මීගමුව නව විවිධ සේවා සමුපාකාර සමිතිය  මෙතෙක් පාලනය කල සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය ඉවත්කර,  තිදෙනෙකුගෙන් සමන්විත නව පාලක මඩුල්ලක් පත්කර ඇති බව වාර්තා වුණි.

           මෙතෙක් කලක් සීමාසහිත, මීගමුව නව විවිධ සේවා සමුපාකාර සමිතිය පාලනය කළ සභාපතිවරයා ඇතුළු සමාජිකයින් 07 දෙනෙකුගෙන් සමන්විත වූ අධ්‍යක්ෂක මණ්ඩලය වෙනුවට , සමුපාකාර දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත වන පරදි  මෙම නව පාලක මඩුල්ල පත්කර ඇත්තේ බස්නාහිර පළාත් සමූපාකාර කොමසාරිස්වරයා විසිනි. වහාම  ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාත් සමූපාකාර කොමසාරිස්වරයා විසින් සිදුකර ඇති මෙම පත්වීම, මීගමුව නව විවිධ සේවා සමුපාකාර සමිතියට පමණක් සිදු කළ පත්වීමක් නොවන බවයි වැඩිදුරටත් වාර්තා වූයේ.

  ගම්පහ දිසාවේ කැලණිය-දළුගම සහ කෙහෙල්ඇල්ල යන සමූපාකාර සමිති 02 ක හැර බස්නාහිර පළාතේ   සෙසු සියලුම සමුපාකාර සමිති වල අධ්‍යක්ෂක මණ්ඩලය මෙලෙස ඉවත් කර  පළාත් කොමසාරිස්වරයා විසින් එම දෙපාර්තමේන්තුවේ  රාජ්‍ය නිලධාරීන් නව පාලක මණ්ඩල ලෙස මෙලෙස පත් කර තිබේ.
       මෙලෙස සමුපාකාර සමිති පාලනය කළ  අධ්‍යක්ෂක මණ්ඩල ඉවත් කර රාජ්‍ය නිලධාරීන්ගෙන් සැදුම්ලත් පාලක මණ්ඩල පත් කිරීමට හේතු වු  කරුණු කාරණා පිළිබඳව  බස්නාහිර පළාත් සමුපාකාර කොමසාරිස් එම්.ඒ. පී. ජයකොඩි මහතාගෙන් අප විමසීමක් කලෙමු.

       එහිදී ඔහු කියා සිටියේ පසුගිය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජය විසින් බස්නාහිර පලාතේ ,නිල කාලය අවසන් ව ඇති සමුපාකාර සමිතිවල අධ්‍යක්ෂක මණ්ඩල ,තෝරා පත් කර ගැනීම සඳහා නිල වර්ණ නොපැවැත් වූ බවයි. පසුව සමුපකාර අධ්‍යක්ෂක මණ්ඩල විසින් , මේ හේතුව නිසා අධිකරණයේ නඩුවක් ද ගොනු කළ අතර එය විභාගයට නොගෙනම  නිෂ්පුභ විය. කොමසාරිස් වරයා  මෙහිදී පෙන්වා දෙන්නේ එම හේතුව නිසාම නිල වර්ණ පැවැත්වීම කල් ගිය බවත්, ඉන්පසු ජනාධිපතිවරණය පැවැත්වූ අතර, ඒ කාලයේදීද එම නිල වර්ණ පැවැත්වීමට නොහැකි වූ බවයි. ජනාධිපතිවරණය අවසන් වී මෙම නිලවර්ණ පැවැත්වීමට බලාපොරොත්තු වුවත් මේ වන විට මෙරට පත් ඇති අභිනව නව  ජනාධිපතිවරයා විසින් මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රකාශ කර ඇති නිසා, කොමසාරිස්වරයා සඳහන් කරන පරිදි මෙම නිලවරණ පැවැත්වීමට සිදුවන්නේ මහ මැතිවරණයෙන් පසුවයි. එහෙත් එම  නිලවරණ පැවැත්වෙන කාලය සඳහා සමුපාකාර සමිතිවල අධ්‍යක්ෂක මණ්ඩල තවදුරටත් එම සමිතිවල පාලන කටයුතුවලට තබා ගැනීම නීතියට පටහැනි හෙයින් ඒ සඳහා සමුපාකාර දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නිලධාරින් පාලක මණ්ඩල ලෙස පත් කරන්නට සිදුවූ බව, සමුපාකාර කොමසාරිස්, එම්.ඒ.පී.ජයකොඩි මහතා වැඩිදුරටත් පැවසීය.

            තවදුරටත් කොමසාරිස්වරයා  පෙන්වා දෙන්නේ අධ්‍යක්ෂක මණ්ඩලය නොමැතිව සමුපාකාර දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නිලධාරීන්ගෙන්  සැදුම්ලත් පාලක මණ්ඩල මගින් සමුපාකාර සමිති පාලනය වීමේදී එම සමිතිවල කටයුතු වලට සහ එම සමිතිවල සංවර්ධන වැඩ කටයුතු වලට කිසිදු බාධාවක් සිදු නොවන බවයි එහෙත් ඔහු අවසානයේ අවධාරණය කළේ , පැවැත්වීමට සූදානම් වන පාර්ලිමේන්තු මැතිවරණය අවසාන් වූ පසු  සමුපාකාර දෙපාර්තමේන්තුව මගින් එම නිල වර්ණ පැවැත්වීමට ඉතා ඉක්මනින්ම කටයුතු කරන බවයි.