කොරෝනා තුළින් ලෝකයටම ප්‍රදර්ශනය වන ලංකාවේ කුණු වූ ආධ්‍යාත්මය – කොරෝනා 1

0
148

FB_IMG_1584316952272FB_IMG_1584316947539

මේ සටහන ලියන්නට සිතුනේ විදේශවල- විශේෂයෙන් ඉතාලියේ සේවය කරන – ශ්‍රී ලාංකිකයන් කොරෝනා වසංගත තත්වය තුළ මව්රටට පැමිණීම සම්බන්ධයෙන් හටගෙන ඇති අවුල තුළ මා ලද අත්දැකීමක් නිසා ය.

මා සේවය කරන ඇල්බටා සෞඛ්‍ය රක්ෂණ තොරතුරු මධ්‍යස්ථානයට මේ දිනවල වැඩියෙන් ම ලැබෙන්නේ කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරස් රෝගය ගැන විමසන දුරකථන ඇමතුම් ය.
ගිය සතිය අවසානයේ එක් කැනඩා ජාතික තරුණ පියෙක් මට කතා කළේය. ඔහු සිය බිරිඳ සහ තුන් හැවිරිදි දරුවා ද සමග කොරියාවේ කොන්ත්‍රාත් රැකියාවක නිරත වී සිටි කෙනෙකි. කෝවිඩ්-19 නිසා එම කොන්ත්‍රාත්තු වැඩ අතරමග නතරකර දරුවා සහ බිරිඳ සමග සිය මව් බිමට පැමිණීමට ඔහු තීරණය කළේය. ඔහු මට කතා කලේ පෙරළා ඇල්බටාව පළාතට පැමිණි පසු නව තත්වය දැනගැනීමට ය. තොරතරු ලබාදීමෙන් පසුව මම ඔහුට සුහදව කතා කර දකුණු කොරියාවේ දී කොරෝනා ගැන ඔහු ගේ අත්දැකීම් ගැන විමසුවෙමි.
“දකුණු කොරියාවේ මිනිස්සු මේ ලෙඩෙන් ‘panic වෙලා’ (අනවශ්‍ය ලෙස පිස්සු වැටිලා) නැහැ. ජීවිතය සාමාන්‍ය විධියට යනව. විෂබීජ විනාශ කිරීම හොඳින් සිද්ද වෙනව.” ඔහු කීවේ ය.

මගේ හිතට තදින් දැනුනේ ඔහු ඊළඟට කී දෙය ය.
“මම දරුවයි වයිෆුයි එක්ක ආපහු ආව. අසනීප වුනත්, මගේ මව් බිමේ, මගේ ගෙදර අසනීප වෙන එක හොඳයි. මැරුණත් මගේ රටේ මගේ ගෙදරනෙ. නේද?”
මේ වචන පේළි දෙක ආගම් බොක්කෙන්ම අදහන බව කියන ලංකාවේ ජනතාව මේ කාලයේ දවසට කීප වරක් කියවිය යුතු මන්තරයක් කියා මට සිතේ:

“මම දරුවයි වයිෆුයි එක්ක ආපහු ආව. අසනීප වුනත් මගේ මව් බිමේ මගේ ගෙදර අසනීප වෙන එක හොඳයි. මැරුණත් මගේ රටේ මගේ ගෙදරනෙ. නේද?”

දේශප්‍රේමී ය කියන ආගම් බොක්කෙන් ම අදහන බව කියන ජනතාවක් සිටින, සිංහල-බෞද්ධ-කතෝලික යනුවෙන් ජාතියත් ආගමත් බැඳුනු දැඩි දේශප්‍රේමී අනන්‍යතාවක් තිබෙන ලංකාවේ, විදේශගතව සිටින තම ජාතියේ අම්මලා තාත්තලාට නැන්දලා මාමලාට සහෝදර සහෝදරියන්ට මේ අවිනිශ්චිත මොහොතේ ආපසු තම මව් රටට එන්නට තහනම් ය. රටට එන්නට පුළුවන් වූ සහෝදර සහෝදරියන්ට දැන් විඳින්නට සිදු වී තිබෙන දුෂ්කරතා ද වචනයෙන් පැවසිය නොහැකිය. මේ තහනම සහ කරදර විශේෂයෙන් බලපාන්නේ ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකික ජනයා ගේ සහෝදර සහෝදරියන්ට ය. (හැබැයි පරදේශික චීන්නුන්ට නම් නිරෝධායනයකුත් මොකුත් නැතිව තොග පිටින් හිතු මතේ ලංකාවට එන්නට පුළුවන් ය. එතකොට අර දේශප්‍රේමය බලපාන්නේ නැත.)
කොරෝනාව පැතිරෙන විට ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකික සහෝදරසහෝදරියොත් මේ වගේ ම හිතන්නට ඇත.
“ඕනැ කෙන්ගෙඩියක් වෙන්ඩ ආපහු මව්බිමට යනව. අසනීප වුනත් මගේ මව් බිමේ මගේ ගෙදර අසනීප වෙන එක හොඳයි. මැරුණත් මගේ රටේ මගේ ගෙදරනෙ. නේද?”
ඉතාලියේ, කොරියාවේ ජපානයේ සිටින්නේ සැප ගන්නට ගිය ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් නොවේ. තමන් ගේ දූ දරුවන්ට, සහෝදර සහෝදරියන්ට යහපත් ආර්ථික තත්වයක් ඇතිකරන්නට ඉතාලි ජාතික ගෙවල් වල ඔව්හු අප්‍රමාන දුක් කම්කටොලු විඳිති. ඔවුන් රටට එවන විදේශ විනිමයේ අගය කියා නිම කල නොහැකිය. ඒ විදේශ විනිමයෙන් යැපෙන්නේ ඒ සහෝදර සහෝදරියන් ගේ නෑසියන් පමණක් නොවේ. රටේ සමස්ත ආර්ථිකයටම එයින් ලැබෙන්නේ මහත් ශක්තියකි. එපමණක් නොවේ. සුනාමිය, පාස්කු බෝම්බය වැනි උපද්‍රව වලදී සිත් උණු වූ ඔවුන් රටට දුන් දායකත්වය කෙතරම් ද?
ඔවුනට ලංකාවට එන්නට එපා කීමෙන් අප දුන් පණිවිඩය කුමක් ද?
“උඹලගේ යුරෝ හොඳයි. ඒව නොවරදවා එවපල්ලා . හැබැයි, උඹලගෙ කොරෝනා එපා. ඒවත් එක්ක උඹල ඉතාලියේම මැරියල්ලා” කියලා නොවේ ද?

කැනඩාවේ බහුතරය කතෝලික සහ ක්‍රිස්තියානි ය. එහෙත් ආගම මේ රට පාලනය කරන්නේ නැත. මේ රට Secular රටකි. ලංකාවේ කාදිනල් තුමා ගේ වචනයෙන් කියන්නේ නම් මේ රට “අනාගමික” රටකි. අනන්‍යතාවයෙන් “අනාගමි” වුනත් මොවුන් බහුතරයක ගේ හදවත් මානුෂික ය. ධාර්මිකය. (ඩොනල්ඩ් ට්‍රම්ප් ලා සහ ලංකාවේ අන්තවාදීන් බඳු සුදු ජාතික අන්තවාදීන් ද ඕනෑ තරම් සිටිති. එහෙත් බහුතරය මානුෂිකය.) පල්ලි යන්නේ ටික දෙනෙකි. එහෙත් ඒ අය ගැන කියන්නට ඇත්තේ “ටිකයි. හැබැයි super” කියා ය. ඔවුන් පල්ලියේ දිව්‍ය පූජාව, පල්ලියේ බිත්ති හතරට සීමා නොකර තම ගමේ රටේ ජීවත් කරන කතෝලික-ක්‍රිස්තියානි ජනතාවකි. හදවතේ මෛත්‍රියක් ප්‍රේමයක් නොමැතිව පල්ලි පන්සල් පිරෙන්නට සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට වඩා ආගම ජීවත් කරන 30 දෙනෙක් පල්ලියකට හිටියාම හොඳටම ඇතිය. අනෙක් පිරිස පල්ලි පන්සල් නොගියත් හදවත පිරෙන්නට මනුෂ්‍යත්වය ඇති ජනතාව ය. ( මා සේවය කරන ස්ථානයේ බහුතරයක් සිටින්නේ එවැනි මිනිසුන් ය. )

කොරෝනා වලක්වන්නට දැඩි පියවර ගන්නා රටවල් අතර කැනඩාව ද ඉදිරියෙන් ම සිටියි. ඒ සඳහා කැනඩාව තහංචි රැසක් පනවා තිබේ. එහෙත් ඒ තහංචි සහ නීති මගින් කැනඩාව සිය ආධ්‍යාත්මිකත්වය විනාශ කරගෙන නැත.
දැනට මේ රටේ සෑම පලාතකින් ම වාර්තා වී ඇති කොරෝනා රෝගීන් 250න් බහුතරයක් විදේශවල සිට ආපසු පැමිණි කැනේඩියානු ජාතිකයෝය. කිහිප දෙනෙක් එසේ රෝගී වූ අය සමග සමීපව ආශ්‍රය කල පුද්ගලයෝ ය.
තත්වය එසේ වුවත් කැනඩාව සිය ජනතාවට මව්බිමට ආපසු පැමිණීම වලක්වා නැත. කැනඩාව ඔවුන්ගෙන් ඉල්ලන්නේ ආපසු රටට පැමිණි පසුව සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස පමණි.

අද ඉරිදා උදෑසනත් විදේශගතව සිටින කැනඩා ජාතිකයන්ට කැනඩාව දුන් පනිවිඩය මෙයයි:
“ඔබ මව්රටට එන්නට සූදානමින් සිටිනවා නම්, ලෝකයේ තත්වය තවත් දරුණු අතට හැරෙන්නට පෙර කැනඩාවට එන්න. එහෙත් ඔබ පැමිණෙන විට අතර මග දී රෝගය වැළක්වීමේ සියලු ම උපදේශ පිළිපදින්න. කැනඩාවට පැමිණි පසුව අප දී ඇති උපදෙස් අනුව ක්‍රියා කරන්න. එනම් දින 14ක් ස්වයං-හුදෙකලාවක ජීවත් වන්න. ඒ කාලය තුළ කිසියම් රෝග ලක්ෂණයක් හෝ පහල වුවහොත් සෞඛ්‍ය සේවාවේ 811 අමතා ඔබ ක්‍රියා කලයුතු ආකාරය ගැන උපදෙස් ලබා ගන්න. කිසි විටෙකත් ඔබේ වෛද්‍ය වරයා හමුවන්නට හෝ රෝහලකට හෝ යන්නට එපා. ඔබ ක්‍රියා කල යුතු ආකාරය ගැන සෞඛ්‍ය සේවාව ඔබට උපදෙස් දෙනු ඇති. ”

මේ අතර කැනඩාවේ උපන් කැනඩා ජාතිකයෙකුට අර පළමුවැනි වාක්‍යය සවනට සංගීතයක් බඳු වනු ඇති.
“ඔබ මව්රටට එන්නට සූදානමින් සිටිනවා නම්, ලෝකයේ තත්වය තවත් දරුණු අතට හැරෙන්නට පෙර කැනඩාවට එන්න.”
එතකොට හුඟ දෙනෙක් අර මට කතා කල තරුණ පියා සේ මෙසේ සිතාවි:
“ආපහු යනව. අසනීප වුනත් මගේ මව් බිමේ මගේ ගෙදර අසනීප වෙන එක හොඳයි. මැරුණත් මගේ රටේ මගේ ගෙදරනෙ. නේද?”
මේ එන පිරිස රෝග සහිතව පැමිණියත් එය මේ රට විනාශයක් ලෙස සිතන්නේ නැත. ඒ මේ රට සල්ලිකාර ධනවත් රටක් නිසා නොවේ. රටේ දේශපාලකයන් , නිළධාරීන් සහ සාමාන්‍ය ජනතාව මානුෂික හදවත් සහිත පිරිසක් නිසා ය. පොහොසත් කම සල්ලි වලින් නොවේ. හදවතෙනි. (ඇමරිකාව සල්ලිවලින් පොහොසත් වුනත් හදවතින් කොච්චර දුප්පත් දැයි මේ උපද්‍රවයේ දේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියා කරන ආකාරයෙන් පෙනේ.)

කරදරයක දී තම රටේ ජනතාව වෙනුවෙන් ඇති වන මේ ලතෙත් බව “බොක්කෙන් ම ආගමිකයයි” කියා ගන්නා රටක නැත්තේ මන්ද?

අනෙක් ආගම් ගැන මා අදහස් දක්වන්නේ නැත. මේ උපද්‍රවයේ දී ලංකාවේ කතෝලිකයන් පවා ක්‍රියා කරන්නේ ආත්මාර්ථකාමීව ය. ඒ මන්ද?

නූතන ලංකාවේ කතෝලික ආගම හදවත් ප්‍රේමයෙන් තෙත් කරන දයා දිය දහරක් නොවේ. එය දෙවියන් වහන්සේ ගෙන් නොව දේශපාලනයෙන් යැපෙන තරගකාරී ව්‍යාපාරයකි.

පූජකවරුන් ගේ සිටම පවතින්නේ ආත්මාර්ථය ලුහුබැඳ යන තරගකාරීත්වයකි.
තවත් පියතුමකු පරයන ලෙස වැඩියෙන් ම ජනතාව ඇදී එන “සුව මෙහෙයන්” පවත්වන්නට, තරගයට එකම දේවස්ථානය අත්‍යලංකාර කරන්නට, අනෙක් පියතුමා පරයන ළමා නිවාසයක් හෝ වැඩිහිටි නිවාසයක් පටන්ගන්නට පූජකවරුන් අතර පවතින්නේ තරගයකි. එම තරගය ජනතාවට ද ගලා යයි. මේ “ව්‍යාපෘති” වලට වැඩියෙන් ම සල්ලි දෙන “දානපතියා” වීම එකකි. අපි පුංචි කාලේ විනෝදයෙන්,අ අහිංසක ලෙස ආගම ඉගෙන ගත් “උපදේශ පන්ති” ලෙස නම් කර තිබූ තැන අද “දහම් පාසල්” වී, ඒවා තුළ ආත්මාර්ථය, අහංකාරය, මමංකාරය පුම්බන තරගකාරීත්වයක් පටන් ගෙන තිබේ. හැම තැනකින් ම කෙනෙකුට උගන්වන්නේ ” මම පමණක්” යන්න පමණකි. එය හරියට ලෝකයේ විශිෂ්ටතම ක්‍රිස්තියානි කාරයා ලෙස පෙනී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සමස්ත ලෝකය අර්බුදයට ඇද දමනින් ගෙනයන “ඇමෙරිකා ෆස්ට්” මමත්වය වාගේ ය.

අපේ ගේ දොරකඩ, අසල්වාසියේ, පල්ලිය ඉදිරිපිට, අපේ පාසලේ, වැඩපලේ දුක් විඳින “ලාසරස්” ලා දකින්නට, ඒ ලාසරස් ලා අපේ ගේ ඇතුළට, අපේ මේසයට ගන්නට පල්ලි අපට උගන්වන්නේ නැත. (“ලාසරස් සහ ධනවතා” පිළිබඳව ජේසු සමිඳුන් වදාළ උපමාව. මෙය ගොඩනැගිලි හදන්නට නොව ආදරය කරන්නට උගන්වන ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා ගේ සිත් ගත් උපමාවකි.) “මම කුසගිනිව, පිපාසව, නිරුවත්ව, තනිව …සිටියෙමි” යන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ගේ වචන අපේ පල්ලිවලින් ජනතාවගේ හදවත් තුළට කාවද්දන්නේ නැත.

කෙටියෙන් කියන්නේ නම්, ලංකාවේ පූජකවරුන්ගෙන් බහුතරය දිවා රෑ වෙහෙසෙන්නේ ප්‍රේමයෙන් පිරුණු “දේව රාජ්‍යය” මිනිස් හදවත් වල ගොඩනැගීමට නොවේ. ගඩොල්, ප්‍රදර්ශනාත්මක බව, අත්‍යලන්කාරය වැනි විවිධ දේ වලින් පිරුණු “ලෞකික රාජ්‍ය” ගොඩ නැගීමට ය.

මගේ “වතිකාන සුළඟ” පොත දොරට වැඩිය දා නුවන් ලියනගේ සොයුරා එය සුන්දර කතන්දරයකින් විස්තර කළේය.
එනම් දෙවියන් වහන්සේ දෙන ගඩොල්, සිමෙන්ති, වැලි, ටොයිලට් සෙට්, කිචන් සෙට් වැනි සියලු ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිත කරමින්, උන්වහන්සේ ගේ රාජ්‍යය ගොඩ නගනු වෙනුවට අපේ සභාව තමන් සඳහා මහා මන්දිර ඉදි කරගනිමින් සිටින බව ය.

කොරෝනා යනු “ආගමික” යයි පම්පෝරි ගහන රටවලට දෙවියන් වහන්සේ ගේ අභියෝගයකි.
“උඹලා ආගමික නම්, උඹලගේ ප්‍රේමයෙන් ඒක පෙන්නපල්ලා. ඉතාලියේ සිටින ලාසරස්ලා ඒ රටේ අසරණ වෙලා. සරණ සොයාගෙන ලංකාවට ආපු ලාසර්ස්ලා උඹලගේ දුෂ්ට දේශපාලනය, ආත්මාර්ථය තුළ අසරණවෙලා.. මම අසරණව සිටිමි … පෙන්නපල්ලා උඹලා ඔවුන් තුළ මා දකින බව …”

(පින්තුර: 1. COVID -19 නව කොරෝනා වෛරස
2. ලාදුරු රෝගීන් දකින්නටවත් බිය වූ අසීසියේ ප්‍රැන්සිස් තරුණයා මාවත අසල සිටි ලාදුරු රෝගියා වැළඳගත් අවස්ථාව දැක්වෙන සිතුවමක්.)
සමන් විජේසුරිය