කොරෝනා වෛද්‍ය පරීක්ෂණ රජයේ රෝහල්වලින් පමණයි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

0
73

a7a2e548784fdd72c3f6241a2c7c9c54_XLකොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරස් රෝගය පිළිබඳව වෛද්‍ය පරීක්ෂණ සිදුකරනු ලබන්නේ රජයේ රෝහල්වල පමණක් බවත්, පෞද්ගලික රෝහල්වලට ඒ සඳහා රජය අවසර දී නැති බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙම පරීක්ෂණ රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨය, කරාපිටිය හා අනුරාධපුර ශික්ෂණ රෝහල් මගින් දැනට සිදුකෙරෙන අතර ඉදිරියේදී උතුරු කොළඹ රෝහලේද එම පරීක්ෂණ සිදුකිරීමට කටයුතු යොදාගෙන යන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(13) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා කීය.

 

මේ අතර විදේශයන්හි සිට මෙරටට පැමිණ සිටින පුද්ගලයින් 4794ක් පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මගින් පසු විපරම් සිදු කරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

එසේ පසු විපරමට ලක්කරන පුද්ගලයන් අතර ශ්‍රී ලාංකිකයින් 3035ක් සහ චීන ජාතිකයින් 1153ක්ද සිටිති. ඉතාලියෙන් සහ දකුණු කොරියාවෙන් පැමිණි අය නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවා ඇත.

මේ වන විට රජයේ රෝහල් 17ක කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන 64දෙනෙක් රඳවා සිටින බවද ව්ශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තවදුරටත් කීය. ඔවුන් අතර දෙවැනි කොරෝනා රෝගියාගේ පවුලේ අට දෙනෙකු සිටින බවත්, ඔවුන් රඳවා ඇත්තේ අයි ඩී එච් උණ රෝහලේ බවත් ඔහු සඳහන් කළේය.