කොළඹ පෞද්ගලික බස් නැවතුම්පළේ බස්රථ විෂබීජ හරණය කෙරේ !

0
403

අන්තර් පළාත් පෞද්ගලික බස්රථ සේවාවේ ධාවනය වන බස්රථ විෂබීජ හරණයට ලක් කිරීම ජාතික ගමනාගමන කොමිසමේ ප්‍රධානත්වයෙන් අද (16) කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස් නැවතුම්පළෙහි දී සිදු කළේ ය.

මෙම අවස්ථාව එම කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩෝ මහතාගේ ප්‍රධානත්වයෙන් උදෑසන 08.30ට ආරම්භ විය.

එය සවස් වනතුරු සිදුවන අතර එහිදී බස් නැවතුම්පොළෙහි පිහිටි බස් රථ නවතා තබන පෝලිම් සහ බස් රථ පිටත හා ඇතුලත නිරෝධායනය කිරීමට ලක්විය. එමෙන්ම බස් නැවතුම්පොළෙහි දෑත් සෝදන ස්ථාන පිහිටුවීමද සිදුවිය. මීට අමතරව බස් මගීන් බස් රථවලට නංවා ගැනීමේදී ඔවුන්ට දෑත් පිරිසුදුකාරකයක් මගින් පිරිසුදු කිරීම සඳහා රියදුරන් හා කොන්දොස්තරවරුන්ට මඟ පෙන්වීමද සිදුවිය.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩො මහතා පැවසුවේ, මෙම ක්‍රියාවලිය අදින් නතර නොවන්නක් බවත් අද සිට දිගින් දිගටම මෙම බස් රථ විෂබීජ හරණය සිදුවන බවත්, ඒ සඳහා සහකාර අධ්‍යක්ෂකවරයකුට බලය ලබාදී දිගින් දිගටම එම කටයුතු අධීක්ෂණය කරන බවත්ය. එමෙන්ම අද වන විට අත් සේදීමේ ස්ථාන කිහිපයක් පිහිටුවා ඇති අතර එම ස්ථාන හෙට (17) සිට 20කට අධික කරන බවද පැවසීය.
news.lk