ගංවතුරෙන් පීඩාවට ලක්වන මීපුර වැසියෝ සහ මීගමුවේ අක්‍රමවත් කානු පද්ධතිය.

0
794

Deppa alla dalupotha

මේ  දිනවල  ඇදහැලෙන  ධාරානිපාත   වර්ෂාව  නිසා  මීගමුව  නගරයේ  ප්‍රදේශ  ගනනාවක්  ජලයෙන්  යටවී  ජනතාව  පීඩාවට  ලක්වී  සිටිති.  එමෙන්ම  ප්‍රධාන  පාරවල්  වලද  ජලය  එකතුවී  ජලාශ  මෙන්  පෙනෙන්නට  තිබින. මීගමුවේ  දළුපත  විවිධ  ස්ථාන වලත්  තැරබෑරුම්  වත්ත,  රබර්  වත්ත,  දෙනිය  වත්ත,  යන  බිම් කඩවල්  දෙපා ඇල  උතුරා  යාම  නිසා   මෙසේ  ජලයෙන්  යටවී  තිබින. එසේම  දළුපත  පෙත්තං  ඇල  වැනි  ඇලවල්  කිහිපයක්  උතුරා  යාම  නිසා  නිවාස  යටවී  තිබින.

මේ  ගැන  අදහස්  දැක්වූ  එක්  ග්‍රාමනිලධාරි  මහතෙකු  පැවසුවේ   දැඩි  වර්ෂාව  නිසා  අහසින්  වැටෙන  ජල  කඳ  දරා ගැනීමට  මෙම  ඇලවල්  ගැඹුරු  නැතිබවයි. අවශ්‍ය  වන්නේ  ඒවා  ගැඹුරු  කිරීමයි. නගරසභාවෙන්   මෙවැනි  අවස්ථාවක  සේවයේ  යොදවා  ඇති  පිරිස  පැමිණ  උඩින්  තිබෙන  සැල්වීනියා  ඉවත්  කළ  පමණින්    මෙකී  ගංවතුර  ප්‍රශ්ණය  නොවිසෙඳන  බව  ඉහතකී  ග්‍රාම  නිලධාරි  මහතා  අප  සමඟ  පැවසීය. අනවසර  බිමක්  දුටුතැන  එහි  කුමක්හෝ  අටවා  ගෙන  සල්ලි  හොයන  මුදලාලිලා   අනෙකාට  සිදුවනදේ   තුට්ටුවකට  නොසලකන  බැවින්   මෙවැනි  තත්වයක්  උදාවී ඇත.  එමෙන්ම  ප්‍රතිපත්තියක්  වැඩලිළිවෙලක්  නැති  නිසා  ඇලවල්  අසල  නිවාස  හැදෙයි,  තාප්ප  බැ‍‍ෙඳෙයි,  ඇවල්  උඩින්  කොන්ක්‍රීට්   ලෑලි  දමයි,   වැසිකිළි  බට  හරවයි. බලධාරීන්   මේවා  දැකදැකත්   නිහඬව  සිටියි. අපි  නිතරම  මේ  ගැන  අදහස්  දැක්වූයෙමු.  දළුපත  මහ  ඇලක්  උඩින්  ෂෙඩ්  එකක්    හැදීමේ  සිට  ඇල  මැද  විදුලි  කනු  සිටවීමේ  මෝඩ  තකතීරු  වැඩ  දක්වාම  දේවල්  හෙලිදරව්  කළෙමු.

නමුත්  සියල්ල  ගඟට  කැපූ  ඉනි  මෙන්  වී  ඇත.  වගකිව යුත්තෝ  කොන්ක්‍රීට්  පාරවල්  සහ  කාපට්  පාරවල්  සඳහා  වන  උනන්දුව  මීගමුවේ  කානු  පද්ධතියට  නැති  හේතුව   සමහරු  පවසන්නේ   ඉන්  කොමිස්  සහ  වෙනත්  ලාභ  මේ  සඳහා  නොලැබෙන  නිසා  බවය.  දපත  පෙත්තන්  ඇලේ  එක්  ස්ථානයක   ඇලක්  වෙනුවට  ඇත්තේ  ගෙමිදුලකි. ඇල  එහිදී  වසා  ඇත්තේ  එය  තමන්ගේ  පුද්ගලික  දේපලක්  යැයි  සිතාගෙනය.  වරක්  එහි  තාප්පය  කැඩීමට  නගරසභාවෙන්  සූදානම්වූ  අවස්ථාවේ දැන්  පොහොට්ටුවේ  නාගරික  මන්ත්‍රීවරයෙකු  ඊට  විරුද්ධවී  ඇත්තේ   මුදල්   නිසා  බව  සමහරු   පවසයි. කෙසේ  නමුත්  මේවා  නිසා  අවසානයේදී  පීඩාවට  ලක්වන්නේ   පීඩිත  ජනතාවය.  ජලය  ගලාගෙන  යන්නේ  පහත්  තැනින්ය. මේ  නිසා  අපි  වගකිවයුතු  අයට  නැවතත්  ප්‍රකාශකර  සිටින්නේ  ඉදිරියේදී  හෝ  ප්‍රශ්ණය  සඳහා  නිසි පිළියමක්   යොදා  මීගමුවේ  පවතින  මෙකී  ගංවතුර  ප්‍රශ්ණය  විසඳා  ගැනීමට   මැදිහත් වන  ලෙසය.  එසේ  නොවුන  හොත් ඔබේ  බොරුපොරොන්දු   මත  රැවටෙන  ජන  කොටස්  විසින්ම    මේවා  හෙළි  කරන  දිනය  ලංවනු  ඇති  බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here