ගම්පහ දිසාවේ,ඉඩම් නිවාස අහිමි ජනතාවගෙන්  වාසස්ථාන ප්‍රතිපත්තියක්

0
198

ගම්පහ දිස්ත්‍රික්කයේ,  ඉඩම් සහ නිවාස අහිමි ජනතාව සහ ඉඩම් නිවාස වල නීතිමය ගැටලු පවතින ජනතාව විසින් සකස් කළ ප්‍රතිපත්ති මාලාවක් මෙම දිස්ත්‍රික්කයේ දේශපාලඥයින්ට පිළිගැන්වීමේ වැඩසටහනක් ඊයේ එනම් 2024/09/08  වැනි ඉරු දින පෙරවරුවේ දී පැවැත්විණි. ඊයේ මෙම වැඩසටහන පැවැත්වුණේ කටුනායක සීදුව නගර සභා පුස්තකාල  ශාලාවේ දීය.
මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ ශ්‍රීමාභිමානි කේන්ද්‍රය සමඟ ගම්පහ දිස්ත්‍රික් ඉඩම් අයිතිය සඳහා වන  ජනතා සන්ධානය ඒකාබද්ධවයි.

මෙම වැඩසටහන සඳහා ආරාධිතයින් ලෙස, ඇවරිවත්ත, ශෛලබිම්බාරාම විහාරාධිපති ගරු ආරියවංශ ස්වාමීන් වහන්සේ , ගරු ටෙරන්ස් ප්‍රනාන්දු පියතුමා ,ශ්‍රීමාභිමානි කේන්ද්‍රයේ  ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා ඇතුළු ගිහි පැවිදි  පිරිසක්  සහභාගි වූහ.
එමෙන්ම මෙම වැඩසටහනේ සංවිධායකවරුන් විසින්  ගම්පහ දිස්ත්‍රික්කයේ සෑම දේශපාලන පක්ෂයක් ම නියෝජනය වන පරිදි  ප්‍රධාන දේශපාලන පක්ෂවල දේශපාලඥයින්ට  ආරාධනා කර තිබුණි.  එහෙත් මේ සඳහා සහභාගි වුයේ ගම්පහ දිස්ත්‍රික්කයේ  දේශපාලනඥයන් ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකා පොදු ජන  පෙරමුණේ , විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පමනි.
මෙහිදී  ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව, කටාන, ජාඇල, වත්තල සහ පස්යාල යන ප්‍රදේශවල සිට පැමිණි ඉඩම්, නිවාස අහිමි අයද එලෙසම මෙම ප්‍රදේශවල නිවාස හා ඉඩම් වල තවමත් ස්ථිර ලෙස නොවිසඳී ඇති නීත්‍යානුකුල ගැටලු හා ප්‍රශ්න පවතින අයද මෙහිදී දිස්ත්‍රික්කයේ දේශපාලඥයන් ඉදිරියේ තමන් පෙළෙන ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කරමින් අදහස් දැක්වූහ.

ඒ අනුව මිගමුව ප්‍රදේශයෙන් පැමිණි ග්‍රේස් මැටිල්ඩා මහත්මිය පැවසුවේ මීගමුව කඩොල්කැලේ, මුන්නක්කරය, වැල්ලවීදිය, කුඩාපාඩුව, සහ මහාවීදිය වැනි ප්‍රදේශවල වෙසෙන බොහෝ දෙනෙකුට රජය මගින් ලබා දුන් ඉඩම් සහ නිවාස වල⁣ට බලපත්‍රයක් පමණක් ලබා දී ,නිසි ඔප්පු ලබා නොදීමෙන් ගැටළු රාශියකට මුණ පා සිටින බවයි, දරුවන් පාසල් වලට ඇතුළත් කිරීම, රජයේ හා පෞද්ගලික බැංකුවලින් ණය මුදලක් ලබා ගැනීමටත් , තමන්ගේ දරුවන්ට එම ඉඩම කොටස් කර බෙදා දීමටත් නිසි ඔප්පුවක් ලබා නොදීම නිසා ගැටළු මතුවී ඇති බවයි.
එමෙන්ම මීගමුවෙන් පැමිණි එස්.ක්වේනි මහත්මිය සඳහන් කළේ වසර ගණනාවක් කුලී නිවාස වල පදිංචි වී සිටින තමන් වැනි බොහෝ පිරිසකට මසකට රුපියල් 3000 ක් කුලීය ගෙවූ නිවසකට අද වන විට මසකට රුපියල් 35000 ක් පමණ මුදලක් කුලී ලෙස ගෙවීමට සිදුව ඇති බවයි. මේ හේතුවෙන් තමන් වැනි කුලී නිවැසියන් විශාල පිරිසක් අද වන විට දැඩි ආර්ථික අපහසුතාවයන්ට සහ දුෂ්කරතාවයන්ට ලක්වන බවද ඇය පැවසීය.  කුලී නිවැසියන් නිසාවෙන් සමෘද්ධි වැනි ආණ්ඩුවෙන් ලැබෙන සහනාධාර කිසිවක් තමන්ට නොලැබෙන බවත් ,නිවසේ කිසිවෙකු හෝ මියගියහොත් එම මරණ කටයුතු සිදු කරන්නට වත්, එලෙසම නිවසේ වෙනත් උත්සව අවස්ථාවක් වූ සිදු කරන්නටවත් නිවාස හිමියන් කුලී පදනමට සිටින අයට ඉඩ නොදෙන තත්ත්වයන්ටද මුහුණ පෑමට බොහෝ කුලී නිවැසියන් ට සිදුව ඇති බවද ඇය පැවසීය. ආර්ථික මෙන්ම සමාජය වශයෙන් ද මෙවැනි ගැටලු හා දුෂ්කරතාවයන් නිසා තමන් වැනි කුලී නිවැසියන් දෛනිකව දැඩි මානසික අසහනයකට සහ කලකිරීමට ලක්ව ඇති බවද පැවසීය. ඇය ඉල්ලා සිටියේ කාලාන්තරයක් තිස්සේ මීගමුවේ කුලී නිවැසියන් ලෙස සිටින තමන් වැනි  පිරිස් වලට සුදුසු ඉඩම් සොයා බලා ඔවුන් හට ජීවත්වීමට සුදුසු නිවාස ලබාදෙන ලෙසයි.

එලෙසම කටාන, ජාඇල ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි නියෝජ්‍යවරියන් පෙන්වා දුන්නේ එම ප්‍රදේශ වල ඇති කර්මාන්ත කලාපයන් හී කර්මාන්තශාලා තුල සේවය කරන තමන් වැනි පිරිසට තම පවුලේ සාමාජිකයන් සමඟ බෝඩිං කාමර තුළ දිවිගෙවීම ඉතාම දුෂ්කර බවයි. විශේෂයෙන්ම බෝඩිං කාමර කුලිය එන්න එන්නම වැඩිවීම, විදුලි ජල අයකිරීම්ද මේ වන විට අධික වීම යන කරුණු නිසාද තමන් වැනි බෝඩිං කාමර තුළ දිවි ගෙවන බොහෝ පිරිස් දැඩි සේ අසහනයට හා දුෂ්කරතාවයන්ට පත්ව ඇතැයි ඇය පවසයි.එනිසා ඇයද ඉල්ලා සිටින්නේ තමන් වැනි බෝඩිං කාමර තුළ දිවි ගෙවෙන පවුල් වලට තමන්ටම කියා නිවාස ලබාදෙන ලෙසයි.

මේ අතර වත්තල,  පුබුදුගම ප්‍රදේශයෙන්  පැමිණි නියෝජිතවරියක් සඳහන් කළේ පුබුදුගම පවුල් 3500ක් පමණ වෙසෙන ගමක් වුවත්, එහි වැඩි පිරිසකට ඉඩම් අයිතිය නොමැති බවයි. පිරිසකට බලපත්‍ර ලබා දී ඇතත්.ඔප්පු ලබාදී නොමැති බවද  සඳහන් කළේය. රජයෙන් ලබා දුන් මෙම ඉඩම් වලට  පර්චසයකට රුපියල් 5000 බැගින් ගෙවීමට නියම වුවත්, එසේ ගෙවා තිබියදීත් නැවතත් රජයෙන් පර්චසයකට  රුපියල් 50000 ගෙවීමට නියෝග කර ඇති බව ද සඳහන් කරන ඇය පවසන්නේ එය ඉතා අසාධාරණ ඉල්ලීමක් බවයි.  පෙර වගුරු බිමක් ව පැවති මේ ගම නිතරම ගංවතුරට යටවීම, නිසි පාරවල් සහ නිසි කානු පද්ධතියක් නොමැතිවීම, ගමේ ජනතාව නිතරම සෞඛ්‍ය ගැටලු වලට ලක්වීම ආදී කරුණු පිළිබඳව ඇය මෙහිදී අනාවරණය කළාය.  එහිදී ඇය ඉල්ලා සිටින්නේ රජය විසින් ඔවුන්ගේ එම ගැටළු  වලට ඉක්මන් හා සාධාරණ විසඳුම් ලබා දෙන ලෙසයි.

පස්යාල ප්‍රදේශයෙන් පැමිණි නියෝජිතවරිය පෙන්වා දුන්නේ පස්යාල, නුග දොළවත්ත ගම්මානයේ පවුල් 25 ක් නාය යාමේ අවදානමක් ඇති බව පවසමින් කිසිදු වන්දි මුදලක් හෝ වෙනත් කිසිදු විසඳුමක් ලබා නොදී ඔවුන්ගේ එම නිවාස වලින් ඉවත්ව යන ලෙසට එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දන්වා ඇති බවයි. එමෙන්ම බලපත්‍ර මගින් ඉඩම්වල අයිතිය ලබා දී ඇති තවත් පිරිසකගෙන් එම බලපත්‍ර ආපසු ලබා ගැනීමට එම ප්‍රාදේශීය  ලේකම් කාර්යාලය කටයුතු කරන  බවද අය පවසයි. ඇය මෙහිදී පෙන්වා දෙන්නේ අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් ස්ථාපිත කිරීම වෙනුවෙන් මෙලෙස මෙම ඉඩම් අත්පත් කරගැනීමට කටයුතු කරන බවට  මේ වන විට කරුණු අනාවරණය වී ඇති බවයි. ඇයද ඉල්ලා සිටින්නේ ඇය ඇතුළු එම පිරිසට සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙසයි.

මේ ආකාරයෙන් එ ඒ  ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි කාන්තාවන් ඔවුන්ගේ නිවාස,ඉඩම් සහ ඔවුන් වෙසෙන ප්‍රදේශ වල නීතිමය වශයෙන් පවතින  ගැටළු මෙන්ම දුෂ්කරතාවයන් පිළිබඳව ද මෙම වැඩසටහනේදී දිස්ත්‍රික්කයේ දේශපාලඥයන් ඉදිරියේ කරුණු අනාවරණය කළහ.

ඉන් පසුව කතා කළ විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින  ඉඩම් සහ නිවාස පිළිබඳ ප්‍රශ්නය තමන් සහ තම පක්ෂය විසින් ඉතා හොඳින් දැනුවත්ව ඇති බවත්, රට තුළ ක්‍රියාත්මක විය යුතු නිවාස ප්‍රතිපත්තියක් ඇති මුත් එය ක්‍රියාත්මක නොවන බවයි. ඒ නිසා රට තුළ සැලසුම් සහගත ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලක් යටතේ නිසි නිවාස ප්‍රතිපත්තියක් වහාම ක්‍රියාත්මක විය යුතු බවද ඔහු පැවසීය. ඒ අනුව කර්මාන්තවලට සුදුසු ප්‍රදේශද වාසස්ථාන සඳහා සුදුසු ප්‍රදේශද තෝරාගත යුතුව ඇත. එලෙස නිසි ක්‍රමවේදයකට අනුව මෙම නිවාස හා ඉඩම් ගැටළුවට විසඳුම් ලබා දිය යුතු බවද ඔහු අවධාරණය කළේය.

ඉන් පසුව කතා කළ ඉන්දික අනුරුද්ධ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ගම්පහ දිස්ත්‍රික්කය යනු විශාල ජන ඝනත්වයක් සහිත දිස්ත්‍රික්කයක් බවය. එලෙසම ප්‍රතිපත්ති නිර්මාණය වන්නේ එක් දිස්ත්‍රික්කයක් ඉලක්ක කොට ගෙන නොව රටම ඉලක්ක කරගෙන බවද ඔහු පැවසීය.  එමෙන්ම ආර් ප්‍රේමදාස මහතාද, සජිත් ප්‍රේමදාස මහතා ද නිවාස ලක්ෂ ගණනින් හැදූ බවත්, බලයට පත් සෑම ආණ්ඩුවක්ම නිවාස විශාල සංඛ්‍යාවක්  සෑදූ බවත් , අද වන විට ඒ සෑදූ නිවාස වලින් බාගෙට බාගයක්ම වසා දමා ඇති බවද ඔහු පැවසීය. විශේෂයෙන්ම උතුරේ මන්නාරම වැනි ප්‍රදේශවල අතහැරදා ගොස් ඇති නිවාස විශාල ප්‍රමාණයක් ඇති බවත්  , බොහෝ පිරිස් ගම්බිම් අතහැර ගොස් ඇති බව ද ඔහු පැවසීය. එනිසා රජයෙන් ලබා දෙන නිවාස නිවාස නැති අයටම පමණක් ලබාදීමට කටයුතු කළ යුතු බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය,. කර්මාන්ත කලාප වල රැකියාව කරන බොහෝ පිරිසක් පදිංචි වන්නේ එම කර්මාන්ත කලාප ආශ්‍රිතව බවත් කාලයක් යාමේදී ඔවුන් එම ප්‍රදේශවලම ස්ථීර ලෙස පදිංචි වීමට කටයුතු කරන  බවද ඔහු පැවසීය. නමුත් ඒ සඳහා ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඉඩම් නොමැති බවද  ඔහු වැඩිදුරටත්   අවධාරණය කළේය.

අනතුරුව ඉඩම් සහ නිවාස අහිමි ජනතාව සහ ඉඩම් නිවාස වල නීතිමය ගැටලු පවතින ජනතාව විසින් සකස් කළ ලිඛිත ප්‍රතිපත්ති මාලාව විජිත හේරක් මන්ත්‍රීවරයාටත්, ඉන්දික අනුරුද්ධ නියෝජ්‍ය අමාත්‍යවරයාටත් පිළිගැන්වීම සිදුවිය.