ගාල්ලෙන් ඇවිත් මීගමුවේ සැමටම රස බෙදන, කාගෙත් හිතවතා

0
272

මීගමුවේ, අලූත් පාරේ ස්පාර් සුපර් මාර්කට් එක ළඟ ටයර් කඩේ ගාව ඉන්න සුනිල් අයියාව මීගමුවේ නම් නොදන්නා කෙනෙක් නැති තරම්. අවුරුදු 13 ක පමණ කාලෙක ඉඳලා මීගමුව අලුත් පාරේ, තහඩු වලින් හදපු පුංචි කඩේක රසට ආප්ප හදන සුනිල් අය්යාව මීගමුවේ පමනක් නෙවෙයි මීගමුවෙන් පිට ගම් වල අයත් ඔහු ගැන නොදන්නා කෙනෙක් නැති තරම් . ලොකු කුඩා දුප්පත් පොහොසත් ඕන කෙනෙක් සුනිල් අයියා හදන ආප්පවල රස බලලා ඇති.
එහෙම රස නොබලපු කෙනෙක් ඉන්නවානම් ඒත් බොහොම කලාතුරකින්.
සාමන්‍යයෙන් උදේට සුනිල් අයියා හදන රොටී පරාටා, ඉඳිආප්ප කාලා යන්න එහෙම නැත්නම් අරගෙන ගිහින් කන්න බොහෝ දෙනෙක් කැමතියි. මේවත් එක්ක දෙන පරිප්පු කරියට මාළු කරියට ඒවාගේම කටට රසට හදන ලුණු මිරිස් සහ සම්බොල වලටත් හුගාක් අය කැමතියි.ඒ වගේමයි සුනිල් අය්යා හදන ඉඟුරු දාපු රසම රස තේ එකක් බොන්නත් හුඟක් අය කැමතියි. හැන්දෑවට සුනිල් අයියා ගාව තියෙන්නේ අප්ප , සහ බිත්තර ආප්ප විතරයි. ඒත් එක්කම හැන්දෑවටත් සුනිල් අයියා ගාව රසම රස ඉඟුරු තේ නම් වරදින්නේ නැහැ. ඔහුගේ ගාවට හුඟක් දෙනෙක් එන්නේ එයාගේ කෑම වල තියන රසයට විතරක් නෙවෙයි, එයා ඒ කෑම බොහොම පිරිසිදුවට, පිළිවෙළකට හදනවා ඒවගේම ඒ කෑම වල මිල ගණනුත් හරිම සාධාරණ නිසයි. සුනිල් අයියා නම් කියන්නේ කාටත් දැරිය හැකි සාධාරණ මිල ගණන් වලටලු එයා කෑම විකුණන්නේ. අනික ඔහු නිතරම කියන දෙයක් තමයි ගෙවන මුදලට සාධාරණ වෙන්න විකුණන කෑම වර්ග ,රසට ගුණට වගේම පිරිසිදුවටත් තියෙන්නත් ඕනෙලු.
මේ විදිහට මීගමුවේ කාටත් රසය බෙදන සුනිල් අයියාගේ සම්පූර්ණ නම ගෝන පීනුවල විතානගේ සුනිල් උපන් ගම ගාල්ල. ගාල්ල දොඩන්දුවේ .දොඩන්දුවේ ධර්මසූරිය පාසලට තමයි සුනිල් අය්යා ඉගෙන ගන්න ගිහින් තියෙන්නේ. දරුවන් නව දෙනකුගන් යුත් පවු‍ලක හතරවෙනි දරුවා තමයි සුනිල් අයියා. ඔහුට සහෝදරයෝ 05 දෙනයි, සහෝදරියෝ 03 දෙනයි.සුනිල් අයියගේ පියා රැකියාවට කරලා තියෙන්නේ ලී මෝලක, ලී ඉරන රස්සාව. තාත්තා මිය ගිහිල්ලා තියෙන්නේ වයස අවුරුදු 117 දී. සුනිල් අය්යාගේ මවගේ දැන් වයස අවුරුදු 88 ක් පමන වෙනවාලු
සුනිල් අය්යා මීගමුවට. පැමිණෙන්නේ හරිම අහම්බයකින්.ඒ කියන්නේ වයස අවුරුදු 14 විතර ගෙදරින් තරහා වෙලා පාසල් ගමනටත් ආයුබෝවන් කියලා, ඔහු කොළඹට ඇවිල්ලා තියෙනවා. අඳුනන කිසිම කෙනෙක් නොමැතිව කොළඹ කඩවීදියේ, මාර්කට් එකේ නාට්ටාමි කෙනෙක් විදියට වැඩ කරලා, පස්සේ ඔහුට රැකියාවක් හම්බවෙලා තියෙනවා කොළඹ කෙසෙල්වත්තේ පොඩි හෝටලයක , ඒ පොඩි හෝටලයේ අත් උදව් කරුවෙක් විදිහට වැඩ කරන්න. ඒ පොඩි හෝටලේ වේටර් වැඩේ කරලා, තව කුස්සියේ කෝකියන්ට එහෙම උදව් පදව් කරලා, කෑම උයන්න එහෙම එතනදි තමයි මුලින්ම ටිකක් පුරුදුවෙලා තියෙන්නේ.ඉන් ඉන්පස්සේ අවුරුදු 04 ක් විතර ගියාට පස්සේ එතනින් අයින් වෙලා තවත් කොළඹ පැත්තේ හෝටලයක වැඩට ගිහින් තියෙනවා.ඒ මුදලාලි තමයි සුනිල් අයියට ආප්ප ,තෝස , පරාටා, රොටි වගේ කෑම ජාති ඒ වගේම රසට හොදි මාළු පිනි උයන්නත් හොඳට පුරුදු පුහුණු කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒ මුදලාලි මීගමුවේ දාපු ශාන්ත ජෝසප් හෝටලේ රස්සාවට ආව නිසා තමයි සුනිල් අයියා මීගමුවට ආවේ. මේ විදිහට ඒ මුදලාලිගේ මීගමුවේ දාපු ශාන්ත ජෝසප් හෝටලේ අවුරුදු 34 ක් විතර කාලයක් වැඩ කරපු සුනිල් අයියා තවත් හෝටලයක දෙකක වැඩ කරලා අවසානයේ මේ මීගමුව අලුත් පාරේ තමාගේම කියලා කුඩාවට තහඩුවලින් හදපු මේ පුංචි කඩේ දාගෙන තියෙන්නේ. එදා ඉඳලා අද වෙද්දි අවුරුදු 13 ක් විතර ගෙවිලා ගිහින් තියෙනවා.

දැන් සුනිල් අයියා මීගමුවේම කෙනෙක් වෙලා . සුනිල් අයියා ගේ මෙි කතාව අහන් හිටපු , සුනිල් අයියගෙන් ආප්ප ගන්න ආපු කෙනෙක් කිව්වේ ,සුනිල් අයියාගේ කතාව අහපුවම මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ “මඩොල් දූව” නවකතාව මතක් වෙනවා කියලයි.ඒ කතාවේ තියෙන්නෙත් සුනිල් අයියාගේ වාගේ කතාවක්ලු. ඒ කතාවේ උපාලි සහ ජින්නා කියලා ළමයි දෙන්නෙක් ගෙදරින් කට්ටි පැනල ඇවිල්ලා නොදන්නා පළාතකට ගිහිල්ලා, වගා කටයුතු කරලා යම් ආකාරයට ජීවිතය සාර්ථක කරගත්තු කතාවක්ලු ඒ නවකතාවේ තියෙන්නේත්. අපිට හිතෙන්නෙත් සුනිල් අයියත් ඒ වගේ කියලා.
සුනිල් අයියා විවාහ වෙලා තියෙන්නෙත් 1988 විතර ලංකාවේ කලබල තිබුණු කාලෙලු. ඔහු විවාහ වෙලා තියෙන්නේ මීගමුවේ කෙනෙක් එක්ක.එයාගේ නම නිර්මලා.එයා මහාවීදිය පැත්තේ.සුනිල් අයියා විවාහ වෙලා තියෙන්නේ ආදර සම්බන්ධතාවයකින්. දැන් සුනිල් අයියට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා .දුවයි පුතයි දෙන්නත් විවාහ වෙලා.එයාලා වෙනමම ජීවත් වෙනවා කියලයි සුනිල් අයියා කියන්නේ. සුනිල් අයියට මේ කඩේ කරලා ලැබෙන දෛනික ආදායම එයාටයි එයාගේ බිරිඳටයි කාටත් කරදරයක් නැතුව, දරුවන්ටත් ප්‍රශ්නයක් නොවී ජීවත් වෙන්න ඇති කියලයි ඔහු කියන්නේ.සුනිල් අය්යා තවමත් ඉන්නේ කුලි ගෙදරක. ඒ ගෙදර කුලියත් ගෙවාගෙන ඒත් එක්කම සුනිල් අයියා මේ වෙද්දි හෘද රෝග සැත්කමක් එහෙම කරලා තියෙන්නේ. ඉතින් ඒකේ බෙහෙත් හේත් වලටත් සැලකිය යුතු මුදලක් මාස් පතා වැයවෙනවලු. ඒ වියදම් සියල්ලම මේ කඩෙන් ලැබෙන ආදායමෙන් පිරිමසා ගන්නවා කියලා තමයි සුනිල් අය්යා අපිත් එක්ක කිව්වෙි.
ඉතින් මේ සටහන බලන ,කියවන ඔයාලටත් අපි ආරාධනා කරනවා සුනිල් අයියගේ කඩේට ගිහිල්ලා එයාගේ අතින් රසට හැදෙන රොටියක ,පරාටයක. ආප්පයක , බිත්තර ආප්පයක රස බලන්න එන්න කියලා. ඒත් එක්කම එයාගේ අතින් හදන රසම රස ඉඟුරු තේ කෝප්පයක රස බලන්නත් අමතක කරන්න එපා.
ඉතින් ඔයාලටත් උදේට , පරාටා රොටී ඉඳි ආප්ප වගේ කෑම ඒ වගේම හවසකට ආප්ප, බිත්තර ආප්ප එහෙම ටිකක් වැඩිපුර ගන්න අවශ්‍ය වුණොත් පහත අංකයට සුනිල් අය්යට කතා කරන්න.

සුනිල් – 0772144023

තුෂාර රොහාන්