ගාසා හි ළමා අරමුදලට දායකවූවන්ට ජනාධිපතිවරයාගේ ස්තූතිය

0
156

ගාසා තීරයේ පවත්නා යුදමය තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින දරුවන්ගේ මූලික අවශ්‍යතා සැපයීම සඳහා අවශ්‍ය මුල්‍යාධාර ලබා දීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව පිහිටුවන ලද “ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා දායකවීමේ අවස්ථාව 2024 ජූලි මස 31 වන දිනෙන් අවසන් කර තිබේ.

රාමසාන් මාසය තුළ මෙම අරමුදල වෙනුවෙන් දායකවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් කළ ඉල්ලීමට අනුව දිවයින පුරා විශාල ජනතාවක් ජාති, ආගම් බේදයකින් තොරව ඒ සමඟ අත්වැල් බැඳගනු ලැබීය. ඒ අනුව තවදුරටත් අරමුදලට දායකවිමට අවස්ථාව ලබා දෙන ලෙස ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම අනුව එම කාලය 2024 මැයි 31 දින තෙක් දීර්ඝ කෙරිණි.

අරමුදල සඳහා දායක වීමේ දිනය 2024 මැයි 31 දිනෙන් අවසන් වුවද පරිත්‍යාගශීලින් විසින් මෙම අරමුදල සඳහා තවදුරටත් මුදල් තැන්පත් කිරීම සිදුකරන බව නිරීක්ෂණය වී ඇත.

මෙම අරමුදල සඳහා තවදුරටත් මුදල් බැර නොකරන ලෙස ජනාධිපති කාර්යාලය ඉල්ලා සිටින අතර 2024 ජූලි 31 දිනෙන් පසු යම් තැන්පත් මුදලක් සෘජුවම ජනාධිපති කාර්යාලයේ නිල බැංකු ගිණුමට ප්‍රේෂණය කළහොත් එම මුදල සමාජ සත්කාරක වැඩසටහන් ක්‍රියාවට නැඟීම වෙනුවෙන් ජනාධිපති අරමුදල වෙත බැර කිරීටමට කටයුතු කරන බව දැනුම් දෙයි.

අමාත්‍යාංශ සහ රජයේ ආයතන මෙවර ඉෆ්තාර් සැමරුම පැවැත්වීමට වෙන් කර තිබූ ප්‍රතිපාදනවලින් මෙම අරමුදලට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියනයක් පළමු අදියර යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා පලස්තීන රජය වෙත භාර දුන් අතර 2024 ජූලි 31 දක්වා ලැබුණු සියලු පරිත්‍යාග ඉදිරියේ දී නිල වශයෙන් පලස්තීන රජය වෙත භාරදීමට නියමිතය.

මේ අතර මෙම අරමුදල සමඟ මානුෂිකත්වයෙන් අත්වැල් බැඳ ගත් සියලු ජනතාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ජනාධිපති කාර්යාලයේ ස්තූතිය පිරිනමයි.