ජාතීන් අතර සංහිදියාව හා සහෝදරත්වය ගොඩනැගීම අපි කළා නම්, මිලේච්ඡ ත්‍රස්තවාදී යුද්ධයක් නෑ – ජනාධිපති

0
94

 

බලයට පත් වූ සෑම ආණ්ඩුවක් ම භෞතික සම්පත් සංවර්ධනයට, ආර්ථිකය ගොඩනැගීමට ප්‍රමුඛත්වය ලබාදුන්නා. එහෙත් ජාතීන් අතර එකමුතුව, සංහිදියාව, සහෝදරත්වය, මිත්‍රශීලීභාවය ඇතිකිරීම සඳහා කළයුතු කාර්යයන් අපි කළා නම් 26 වසරක් ගෙවුණු මිලේච්ඡ ත්‍රස්තවාදී යුද්ධයට මුහුණ දීමට සිදු වන්නේ නැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ ය.

අද (04) කොළඹ,ගාලුමුවදොර පිටියේ දී පැවැති,අභිමානවත් 68 වැනි ජාතික දින සැමරුමේ දී ලක්වැසි ජනතාව අමතිමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ය.තවදුරත් ජාතිය ඇමැතූ ජනාධිපතිතුමා;

අද අප සියලු දෙනා එක්වී නිදහස් දින සමරු උළෙල ඉතාමත් අභිමානයෙන් සහ උත්කර්ෂවත් ලෙස පවත්වනු ලබන අවස්ථාවක්.වසර 68කට පෙර බිතාන්‍ය පාලනයෙන් යටත්විජිතවාදයෙන් අප නිදහස ලබාගැනීමෙන් පසුව වසරක් පාසා පැවැත් වූ රටේ ස්වාධීනත්වය ලබාගත්තා වූ ජාතික නිදහස් සමරු උළෙලේ අද 68වැනි අවස්ථාවයි.

1948ත් 2016 අද දවසත් මේ සියල්ල ගත්විට නිදහස පිළිබඳව කතා කරන විට ආර්ථික, දේශපාලන, සාමාජීය, සංස්කෘතික වශයෙන් අපේ රට වගේම මුළු ලෝකය පුළුල් වෙනස්වීම් පරිවර්තනයන් රාශියකට භාජනය වී තිබෙනවා.

1948 ලබාගත් නිදහස අර්ථකතනය කළහොත් 48 දී අපේ ජනතව බලාපොරොත්තු වූ නිදහසත්, වසර 68කට පසු අද බලාපොරොත්තුවන නිදහසත්,අතර පුළුල් වෙනසක් තිබෙනවා. 40 දසකයේ හා 50 දශකයේ උපන් දරුවෙක් මා හඳුන්වන්නේ සංස්කෘතික දරුවෙකු ලෙසයි.මේ කාලයේ 21 ශතවර්ෂයේ මුල්අවස්ථාවේ අද උපදින දරුවන් තාක්ෂණික දරුවන් ලෙසයි දකින්නේ.

මේ දරුවන් එක් කරමින් ජාතිය, රට ගොඩනැගීමේ කාර්යය පුළුල් ප්‍රබුද්ධ වූ මනසකින් අප විසින් සාමූහික ප්‍රයත්නයකින් කළ යුතුයි කියා විශ්වාස කරනවා. අපි යටත්විජිතවාදයෙන් නිදහස ලබාගැනීම සඳහා එදා සටන් කළ ජාතික වීරවරයින් පිළිබඳ කතා කිරීමේ දී ඒ විරුවන් අතරේ සිංහල, දමිළ,මුස්ලිම් කියන කියන නිදහස් අරගලයේ නායකයින් රාශියක් මිත්‍රශීලීව එකමතයක සිට රටට නිදහස ළඟාකරගැනීම සඳහා සටන් කර නිදහස ලබාගත් බව දන්නවා.

1505 සිට විදේශීය ආක්‍රමණිකයින් අපේ රට ආක්‍රමණය කරගත් අවස්ථාවේ සිට 1948 දක්වා කාලසීමාව තුළ අපේ බොහෝ දේ විනාශ වුණා.අපේ කම බිදී ගියා, සංස්කෘතික සෝදාපාළුව ඇති වුණා.බරපතල ආර්ථික විනාශයන් ඇති වුණා.පෙර රජ දවස ගොඩනගා තිබූ මහා වැව් අමුණු හා සශ්‍රීකත්වයෙන් පිරී තිබූ අපේ උතුම් දේශය විනාශ වුණා.

ඒ විරුවන් සුසුම ජීවිත පරිත්‍යාගකරමින් අවුරුදු හාරසිය ගණනක සටනකින් පසුව,1948 අප නිදහස ලබාගත්තා.අපට ලැබුණු නිදහස, නිදහසක් ලෙස යටත්විජිතවාදීන්ගෙන් නිදහස් වුවත් ආක්‍රමණිකයින් මේ රටේ හැදූ ප්‍රශ්න නිර්මාණය කළ ප්‍රශ්න අපට බාර දී ඔවුන් ආපසු ගියේ.නිදහස් සටන් ආගම් ජාති කුලභේදවලින් තොරව සියල්ල එකට එක්ව කළ සටනින් පසුව අපේ රට ගොඩනැඟීමේ කාර්යේ දී වසර 68 ක් ගෙවී ගිය කාලය තුළ අපිට බාර දී ගිය ප්‍රශ්න අප විසඳුවාද කියන ප්‍රශ්නය සෑම කෙනෙක්ම විමසිය යුතු වෙනවා.

බලයට පත් වූ සෑම ආණ්ඩුවක් ම භෞතික සම්පත් සංවර්ධනයට ප්‍රමුඛත්වය ලබාදුන්නා. ආර්ථිකය ගොඩනැගීම සඳහා ප්‍රමුඛත්වය ලබාදුන්නා. එහෙත් ජාතීන් අතර එකමුතුව, සංහිදියාව, සහෝදරත්වය, මිත්‍රශීලීභාවය ඇතිකිරීම සඳහා කළ යුතුකාර්යයන් අපි කළා නම් 26 වසරක් ගෙවුණු මිලේච්ඡ ත්‍රස්තවාදයට යුද්ධයට මුහුණ දීමට සිදු වන්නේ නෑ.

රටක සංවර්ධනය තුළ ආර්ථික සංවර්ධනය, භෞතික සම්පත් සංවර්ධනය ඉතා ප්‍රමුඛ කාර්යයක් මෙන් ම එය රට තුළ ජීවත්වන ජනතාවගේ සංස්කෘතික ලක්ෂණයන්, ආගමික ලක්ෂණයන්,භාෂාමය ලක්ෂණයන්,ඒ සියල්ල පාලකයින් විසින් තෙරුම් ගැනීම අත්‍යාවශ්‍ය දෙයක් බව මා දැඩි ලෙස විශ්වාස කරනවා.

මුළු මහත් ලෝකය ගත්විට ඉතාම ඉහළ සංවර්ධනයක් තිබෙන රටවල රාජ්‍ය පාලකයින්ගේ සිට ලෝකයේ සියලු පාලකයින් මුහුණදෙන අභියෝගයක් හා ප්‍රශ්නයක් මා දකිනවා.අධිතාක්ෂණ යුගයේ,අන්තර්ජාලය සමඟ සිටින නව පරපුර,මුළු මහත් පොදු ජනතාව සෑමවිට තම සිතුම් පැතුම් සිය ආකල්ප සිය අධිෂ්ඨානයන් සහ සිය පරමාර්ථ සඳහා පාලකයින්ට වඩා ජනතාව ඉදිරියෙන් සිටිනවා.

ඒ නිසා අධි තාක්ෂණ යුගයේ ජීවත්වන ජනතාව නව පරපුර නව ආකල්ප හා සිතුම් පැතුම් තුළ ගමන් කරද්දී බොහෝ විට සියලු අංශවලින් පරිවර්තනයන්ට ලක්වෙනවා.විප්ලවීය සංකල්ප ඇතිවෙනවා.එම පරිවර්තනයන්ට ඔරොත්තු දෙන ආකාරයට අපි සෑම කෙනෙක්ම සාමූහිකත්වයෙන් රාජ්‍ය පාලනය ගෙන යාම අවශ්‍ය වෙනවා.

මේ සියල්ල සැළකිල්ලට ගනිමින් නිදහසේ අර්ථය පිළිබඳව නව මානයකින් නව අර්ථයකින් නිදහස පිළිබඳව බැලීම අත්‍යාවශ්‍යයි. නිදහස කියන වචනය විග්‍රහ කිරීමට තිබෙන අසීරුම සංකීර්ණම වචනය ලෙස මම විශ්වාස කරනවා.නිදහස කියන වචනය පුළුල් ලෙස විසිරීගිය වචනයක්.නිදහස අධි තාක්ෂණය සමඟ විහිදී ගොස් තිබෙනවා.

අප ජීවත්වෙන්නේ,ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වූ යුගයකයි.ඒ නිසා පැහැදිලි ලෙස තේරුම්ගත යුතු කරුණු කාරනා කීපයක් තිබෙනවා.අපි අද සිටින්නේ රජවරු රජකම් කරන පාලනයක නොවේ.නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතා කිරීමේ දී නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ කාර්යය රජයක් ජනතාව වෙත ඉටුකරනවා වගේම,රටක ත්‍රිවිධ හමුදාව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා සැමවිටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කැප වී සිටිනවා.

අවුරුදු විසිහයකට වැඩි කාලයක් පැවැති මිලේච්ඡ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී යුද්ධය පරාජය කර රටේ නිදහස හා සාමය, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ,තහවුරු කළ අපේ ගෞර්වණීය රනවිරුවන් ජීවිත පරිත්‍යාග කළ,ආබාධිත වූ සටන් බිමේ සිට වගකීම ඉටුකළ සෑම කෙනෙකුටම ජාතියේ ගෞරවය හිමිවිය යුතුයි.

අපි මුහුණදෙන ප්‍රශ්නවලදී දේශපාලන ප්‍රතිසංස්කරණ,සමාජ ප්‍රතිසංස්කරණ,ආර්ථික ප්‍රතිසංස්කරණ,මේ කරුණුවලට අපි මූලිකත්වය ලබාදී තිබෙනවා.පශ්චාත් යුදමය ශ්‍රී ලංකාව පිළිබඳව සිහිපත් කළොත් 2009 මැයි 19- 20 දිනයන්, පශ්චාත් යුද සමයේ කළ යුතු කාර්යයන්,අප විසින් ඉටු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව හරහා අපිට යෝජනා මාලාවක් ඉදිරිපත් වුණා.

පශ්චාත් යුද සමයක කළ යුතු කාර්යයන් අප විසින් ඉටුකර තිබුණා නම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව හරහා අපට ඉදිරිපත් වූ යෝජනා එලෙස ඉදිරිපත් නොවන්නට ඉඩ තිබුණා.වර්තමාන තත්ත්වය සැළකිල්ලට ගත් විට ජාතීන්ගේ සමඟිය සඳහා කළ යුතු කාර්යයන්,සංහිදියාව සඳහා කළ යුතු කාර්යයන්,එක්සත්භාවය සඳහා 2015 ජනවාරි 08 වැනිදා අපේ ආණ්ඩුවට බලය ලබාදුන්නා, මේ ප්‍රශ්න විසඳීම සඳහා.

ඒ ප්‍රශ්න අප විසින් විසඳීම අත්‍යාවශ්‍යයි.අපිට පසුව නිදහස ලබාගත් ලෝකයේ බොහෝ රටවල් ජාතීන්ගේ සමඟිය, සංහිදියාව,ආගමික සමඟිය,භාෂාමය සමඟිය තුළ පුළුල් සංහිදියා පිළිවෙත් ශක්තිමත් කරමින් දේශපාලන ප්‍රතිසංස්කරණ සහ සමාජ ප්‍රතිසංස්කරණ කළ නිසා ඔවුන් ප්‍රබල ජාතීන් ලෙස දියුණු වී ඉදිරියට ගොස් තිබෙනවා.

අපිට මේ ලැබී තිබෙන අවස්ථාව අප විසින් ඉටුකළ යුතුයි.එක්සත් ජාතීන්ගේ යෝජනා සඳහා අප මුහුණ දෙන්නේ,අපේ රාජ්‍යයේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහයි.අපේ රටේ ජනතාවගේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහායි.අපේ ත්‍රිවිධ හමුදාවේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහායි.ලෝකයේ පිළිගත් ත්‍රිවිධ හමුදාවක් බවට පත් කරගැනීම සඳහායි.

ඇතැම් දේශපාලන ප්‍රතිවාදීන්,බලය පිළිබඳ ක්ෂණික බලාපොරොත්තු තිබෙන අය මේ යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී රජය අනුගමනය කරන්නා වූ ක්‍රියාපිළිවෙත් සම්බන්ධයෙන් ජනතාව නොමඟ යවන බොහෝ වැරදි අර්ථකතනයන් දෙනු ලබනවා. ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ සිත් නොසන්සුන් කරන ආකාරයට නොයෙක් ආකාරයේ වැරදි මත මේ සම්බන්ධයෙන් දේශපාලන ප්‍රතිවාදීන්, නොයෙක් අන්තවාදී අඳහස් දරන අය ක්‍රියාත්මක කරන බව පෙනී යනවා.

ඔබේ ප්‍රධාන සේවකයා ලෙස, සෙනාධිනායකයා ලෙස ජනාධිපතිවරයා ලෙස මුළු මහත් ජාතිය ප්‍රතිඥ්ඥා දෙනවා,සහතික කරනවා, මේ සියල්ල ඉටු කිරීමේ දී රටේ ස්වාධීනත්වයත්,භෞමික අඛණ්ඩතාවය,ආරක්ෂා කරමින් රටතුළ සංහිදියා පිළිවෙත ශක්තිමත් කරන්නේ රජයේ ගෞරවය ,ත්‍රිවිධ හමුදාවේ ගෞරවය,මුළු මහත් ජනතාවගේ ගෞරවය ආරක්ෂා කරගෙන ප්‍රශ්න විසඳීමට රජයක් ලෙස සාමූහිකව මුහුණදෙන බව සඳහන් කරන්නට අවශ්‍යයි.

සිතේ අපි ධාරණය කරගත යුතු වෙනවා,අපි අභිමානවත් ජාතියක් ලෙස,අභිමානවත් රාජ්‍යයක් ලෙස ලෝක සිතියමේ සටහන් වෙන්නට අප සැම කෙනෙක්ම කටයුතු කිරීමේ අවශ්‍යතාව තිබෙනවා.මුළුමහත් ජනතාව ඒ සඳහා සැදී පැහැදී අධිෂ්ඨානශීලීව කටයුතු කරන බව.පසුගිය වසරේ නව රජය ලබාගත් ජයග්‍රහනවලදී මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරමින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබාගත් විශිෂ්ඨ ජයග්‍රහනයක්.ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම,මැතිවරණ කොමිෂන් සභා මේරටේ ජනතාව ඉල්ලා සිටියා,මැතිවරණ වංචා දූෂණ ගැන කතා කළා.19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්, මැතිවරණ,රාජ්‍ය සේවය,පොලීසිය,මානව හිමිකම්,විගණන කටයුතු,යන ආයතන රාශියක් සඳහා ස්වාධීන කොමිෂන් සභා පිහිටුවමින් ජනතාවගේ අභිමානවත් අයිතීන් පෝෂණය කළා.

ගෙවීගිය වසරක කාලය තුළ දූෂණය, වංචාව,නාස්තිය තුරන් කිරීම සඳහා රජයක් ලෙස ගත් ක්‍රියාමාර්ගවල සාර්ථක ප්‍රතිඵල තිබෙනවා.අපි පාර්ලිමේන්තුව ශක්තිමත් කළා.රාජ්‍ය සේවය දේශපාලනීකරණයෙන් නිදහස් කිරීම සඳහා ස්වාධීන කොමිෂන් සභා ඉදිරියේ දී පැහැදිලිව ක්‍රියාත්මක කෙරෙනවා. නිදහස් මාධ්‍ය සම්බන්ධයෙන් අප අනුගමනය කළ ක්‍රමවේදය තුළ,මාධ්‍යයට පුළුල් නිදහසක් අපි ලබාදුන්නා.ඒ නිදහස අද උච්ඡතම අවස්ථාවට පත් වී තිබෙනවා.

අපි මේ නිදහස ලබාදුන්නේ බුද්ධිමතුන්ට උගතුන්ට,ප්‍රඥ්ඥාවන්තයින්ට,මානවවාදීන්ට විනයක් හික්මීමක් ඇතිව සිය මාධ්‍ය හසුරුවන්නට කියන එක මම පැහැදිළිව සඳහන් කළ යුතුයි.
ඒ ලබාදෙන්නා වූ නිදහස,ඒ පරමාර්ථයන්ගෙන් තොරව කටයුතු කරන්නේ නම්,ඒ නිදහස අනාගතයේ දී අපෙන් පසුව එන අය විසින් යම් කිසි දවසක අහිමි කරන්නට ඉඩ තිබෙනවා.ඒ නිදහස ආරක්ෂා කරගැනීමේ වගකීම සියලු මාධ්‍ය ආයතනවලට,සියලු මාධ්‍යවේදීන්ට තිබෙන බව සිහිපත් කරනවා.ආර්ථික වශයෙන් සමෘද්ධිමත් වූ රටක් ගොඩනගන්නට,ශාස්ත්‍රීය දියුණුවක් ඇති කරන්නට,නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්නට,නිදහස් සෞඛ්‍ය සේවය ශක්තිමත් කරන්නට,මන්ද පෝෂණයෙන් තොර රටක් ගොඩනගන්නට,නව තාක්ෂණයෙන් නව පරපුර බද්ධ කරමින් තරඟකාරී ලෝකයේ ඉදිරියට යන්නට,දේශීය කර්මාන්ත,ආහාර දියුණු කරන්නට,විදේශ වෙළඳපොළ සඳහා අපේ නිෂ්පාදන ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්තිය අපි ක්‍රියාත්මක කරනවා.

අපේ සාගර සම්පත අපේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා කොතෙක් දුරට භාවිතා කර ඇත්දැයි ප්‍රශ්නයක් තිබෙනවා.අපේ සාගර සම්පත සියයට 01%ක්වත් ප්‍රයෝජනය ගෙන නෑ.අපි දූපත් රාජ්‍යයක් ලෙස අපේ මේ මහා සාගර සම්පත තුළින් අපේ ආර්ථිකය දියුණූ කරන්නට පුළුල් කාර්යයක් ඉටු කිරීමට හැකියාව තිබෙනවා.

භාග්‍යවන්ත දවසක නිදහස් සටහනට කැපවූ ශ්‍රේෂ්ඨ නායකයින් ගෞරවයෙන් සිහිපත් කරමින්,ත්‍රස්තවාදී යුද්ධය අවසන් කළ ජීවිත පරිත්‍යාගයෙන් රටට සාමය ලබාදුන් අපේ රණවිරුවන්ට ගෞරවය පුදකරමින්,අද දවසේ අපේ කාර්යය,හෙට දවස වෙනුවෙන් කැපවීමෙන් උතුම් ලෙස සාමූහිකත්වයෙන් ඉටු කරමින් පටු දේශපාලන පක්ෂ භේදවලින් මිදී පටු අඳහස්වලින් තොරව අපේ රටේ ජනතාවට තම අඳහස් පරිදි රාජ්‍ය පාලනයට ඉඩකඩ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තුළ ලබාදෙනවා.නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය,අපි ලබාදී ඇති සියලු අයිතීන් ප්‍රයෝජනයට ගැනීමේ දී බුක්ති විදීමේ දී එය බුද්ධිමත්ව,ප්‍රඥ්ඥාවන්තව,ඉවසීමෙන් එම කාර්යයන් සඳහා කැපවෙන ලෙස දේශපාලන ප්‍රතිවාදීන්ට ම ප්‍රකාශ කරන්න කැමතියි.

මේ උතුම් දිනයේ මගේ ආදරණීය ජනතාවට,මගේ උතුම් දේශයට අපේ වගකීම ඉටු කිරීමේ දී අනාගතය සඳහා වසර 2020 වසර 2030 සඳහා අපි සූදානම් වෙමින් ඉදිරි දසක දෙකක කාලයක් සඳහා අපේ රට ජාත්‍යන්තරයට මුහුණ දීම සඳහා ශක්තිමත් රටක්, ජාතියක් ලෙස ගොඩනැගීමේ කාර්යයේ දී අපි සෑම කෙනෙක් ම සහෝදරත්වයෙන් හා මිත්‍රශීලීව කටයුතු කරන යුගමෙහෙවර ඉටුකරමු කියන ගෞරවනීය ආරාධනය කරනවා.
http://www.sathhanda.lk