Friday, November 22, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

Home Editor's Choice ගෝඨාට නොතීසි ! ජනාධිපති අපේක්ෂාව ඔක්. 2 වනදා තීරණය වෙයි!

ගෝඨාට නොතීසි ! ජනාධිපති අපේක්ෂාව ඔක්. 2 වනදා තීරණය වෙයි!

0
75
gotabhaya-lanka-life-afpගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවන නියෝගයක් ඉල්ලා ගාමිණි වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ගොනුකර ඇති පෙත්සම ඔක්තෝබර්  02 වන දා පෙරවරු 9.30ට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම සඳහා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කරයි.
 ඒ සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ඉදිරියේ ඔක්. 2 දා කරුණු දැක්වීම සදහා අද (30) අභියාචනාධිකරණය විසින් ගෝඨාභය රාජපක්ෂට නොතීසි නිකුත් කරන ලදී.
ගෝඨාභය රාජපක්ෂ වලංගු ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවන බැවින්, ඔහුගේ ද්විත්ව පුරවැසි සහතිකය තහනම් කරන ලෙස ඉල්ලා සිකුරාදා (27) අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර ඇත. සිවිල් සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.
මෙම පෙත්සම්කරුවන් විසින්ම කළ පැමිණිල්ලකට අදාලව කොළඹ මහේත්‍රාත් අධිකරණයේ ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කරන ලද ‘බී’ වාර්තා අභියාචනාධිකරණයේ මෙම පෙත්සම ගොනු කිරීමේදී අමුණා ඇත.
එකී ‘බී’ වාර්තා මගින් හෙළිවන කරුණු අනුව ගෝඨාභය රාජපක්ෂට ද්විත්ව පුරවැසිභාවය ලබා දීමට අදාළව ලිපිගොනුවක් ආරක්ෂක අමාත්‍යාංශයේ හෝ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නැති බවත්, එසේම රාජපක්ෂගේ පුරවැසිභාවය සම්බන්ධ වාර්තා සොරකම් කර ඇති බවත් තමන් විශ්වාස කරන බව පෙත්සම්කරුවන් පෙන්වා දී ඇත.
එසේම, පුරවැසි පණතේ 19 වන වගන්තිය ප්‍රකාරව රාජපක්ෂ ද්විත්ව පුරවැසිභාවය සදහා නිසි අයදුම්පතක් ඉදිරිපත් කර නොමැති බවත්, එබැවින් රාජපක්ෂට ඇතැයි කියන ඊනියා ද්විත්ව පුරවැසි සහතිකය වංචනික සහ / හෝ අවලංගු සහ බලශුන්‍ය  වන බැවින් එම සහතිකයේ නීත්‍යානුකූල වලංගුභාවයක් හෝ බලපෑමක් නොමැති බව ද පෙත්සම මගින් දක්වා ඇත.
එසේම පෙත්සම්කරුවන් දක්වා ඇත්තේ නොවැම්බර් 16 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති බව තමන්ට දැන ගැනීමට ඇති බවත්, රාජපක්ෂ නිත්‍යානුකූල ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන්නේ නම්, ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් රටේ පුරවසියන්ට, ජාතික ආරක්ෂාවට, භෞමික අඛණ්ඩතාවයට, ස්වෛරීභාවයට ආපසු හැරවිය නොහැකි බරපතල හානියක් සිදුවිය හැකි බවත්ය.
එබැවින්, අභියාචනාධිකරණයෙන් අතුරු සහනයක් ඉල්ලා සිටින පෙත්සම්කරුවන්, ගෝඨාභය රාජපක්ෂගේ  ඇතැයි කියන ඊනියා ද්විත්ව පුරවැසි සහතිකය, ජාතික හැදුනුම් පත සහ විදේශ ගමන් බලපත්‍රය අත් හිටුවන ලෙසත්, ඔහු  ශ්‍රී ලාංකික පුරවසියෙකු යන පදනම මත පිහිටා ක්‍රියා කිරීමට ගෝඨාභය රාජපක්ෂට හෝ ඔහුගේ නියෝජිතයන්ට, සේවකයන්ට ක්‍රියා කිරීම වළක්වන අතුරු නියෝගයක් නඩුවේ අවසාන තීන්දුව ලබා දෙන තෙක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටී.

මේ අනුව අභියාචනාධිකරණය මෙකී ඉල්ලා ඇති අතුරු සහන සහ නියෝග පෙත්සම්කරුවන්ට ලබා දුනහොත්, ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති අපේක්ෂකත්වය විශාල අවදානමකට ලක්වීමට ඉඩ ඇත.

newstube.lk
Exit mobile version