ඉගෙනීමෙන්, ක්‍රීඩාවෙන් දේශපාලනයෙන් පමණක් නොව යුද්ධ කිරීමෙන් ද දක්ෂතා පෙන්වූ විරුවන් ගැන ද අනේකවිද කතා පුවත් අප අසා ඇත. එලෙසම කලාව තුළ, ගොවිකම තුළ, සමාජ සේවය තුළ වීරයන් වූ අය ගැන අප විවිධ වූ කතා පුවත් ද සටහන් තබා ඇත. ඉතින් අද දවසේ අප සූදානම් වන්නේ තම ජීවිතය පවා දෙවැනි කොට මහ සයුරේ දල රළ පෙළ සමග පොර බදිමින් අපේ බත් පතට රසම රස මාළු සැපයූ අපේ කාලයේ ධීවර විරූවෙකු පිළිබඳව කෙටි සටහනක් තබන්නටය.
ඔහු නමින් කුරුකුලසූරිය ජෝන් සිරිල් ප්‍රනාන්දු ය. සම්පූර්ණ නම එලෙස වුවත් ඔහුව කවුරුත් ඇමතූයේ ජෝන් සිරිල් අයියා ලෙසය. සමකාලිකයන්ට එසේ වුවත් ,අපි ඔහුට ආදරයෙන් ආමන්ත්‍රණය කරන්නේ ජෝන් සිරිල් අංකල් කියාය.
ජෝන් සිරිල් අංකල් ඉපදුණේ 1931 වසරේ අප්‍රේල් මාසේ 09 වෙනිදා. දැන් ඔහුට වයස අවුරුදු 93 ක්. තාමත් ඔහුට හොඳින් ඇවිදින්නට අප සමගින් හොඳින් කතා බහ කරන්නට හැකි නිසාත් එමෙන්ම ඔහුගේ මතක ශක්තිය ඉතා ඉහළ මට්ටමක ඇති නිසාත් අපි ඔහුගේ අතීත වත ගොත ගැන කතාබහ කරන්නට වුණා.
ජෝන් සිරිල් අන්කල් කියන්නේ එයාගේ උපන් ගම මීගමුව මහාවිදිය කියලා. අංකල් දැන් පදිංචි වෙලා ඉන්න මුන්නක්කරේ ගමට ආවේ ,එයා විවාහ කර ගත්තු එයාගේ බිරිඳගේ ගම මුන්නක්කරේ ප්‍රදේශය නිසාලු. අංකල්ගේ තාත්තත් ධීවර රස්සාව තමයි කරලා තියෙන්නේ. කුරුකුලසූරිය ජෝසප් සූසෙයි ප්‍රනාන්දු කියන අංකල්ගේ තාත්තා ත් දක්ෂ ධීවරයෙක් කියලයි අංකල් කියන්නේ. එමෙල්ඩා පීරිස් කියන්නේ එයාගේ අම්මා. දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වෙනියා වුණේ ජෝන් සිරිල් අංකල්. එයාට වැඩිමහල් අක්කලා දෙන්නෙක් හිටියා. තව එයාට බාල මල්ලි කෙනෙක් හිටියා. මල්ලට පෝලියෝ කියන රෝගය හැදිලා ඉඳලා තියෙන්නේ. මේ වෙද්දී අක්කලා දෙන්නයි මල්ලියි, ඒ තුන්දෙනාම මිය ගිහිල්ලා කියලා තමයි අංකල් කියන්නේ. අක්කලා කසාද බැඳලා තියෙන්නෙත් ධීවර රැකියාවේ නිරත වුනු දෙන්නෙක් එක්ක. දැන් ජෝන් සිරිල් අන්කල්ටත් දරුවෝ 05 දෙනෙක් ඉන්නවා. ඒ දුවලා තුන් දෙනෙකුයි. පුතාලා දෙන්නෙකුයි . මේ පුතාලා දෙන්නත් ධීවර රැකියාව තමයි කරන්නේ.ජෝන් සිරිල් අංකල්ගේ බිරිඳ දැනට වසර 20 කට පමන පෙර මිය ගිහිල්ලා .
ජෝන් සිරිල් අන්කල් ධීවර රැකියාවේ වීරයෙක් කියලා අපි කියන්නේ නිකම්ම නිකම් නෙවෙයි ඔහු ධීවර රැකියාවට යොමු වෙලා තියෙන්නෙ වයස අවුරුදු 20 විතර තරුණ කාලෙදි.: තමන්ගේ දරුවන්ගේ දැඩි ඉල්ලීම මත ඔහු මුහුදු යෑම නතර කරලා තියෙන්නේ වයස අවුරුදු 75 දී විතර වගේ කාලෙදි. ධීවරයෙක් විදිහට මුහුදු යෑම තම රස්සාව කරගත්තු ජෝන් සිරිල් අන්කල්ට ඒ රස්සාව කරගෙන ගිය අවුරුදු 55 ක් වගේ දිගු කාලයක් පුරාවටම කිසිම දවසක මාරාන්තික අනතුරකට මුහුණපාන්න වුනේ නෑ කියලයි ඔහු අපිට කිව්වේ. තද කුණාටු, සුළං දැඩිව තියන වෙලාවල් වලත් අන්කල් මහා මුහුදේ මාළු අල්ලන්න ගිහින් තියෙනවලු. සමහර වෙලාවල් වලට දියඹට වැටිලා පිහිනන්න වුනු අවස්ථාත් තියෙනවලු. ඒත් ඒවා මාරන්තික අනතුරු වුණේ නෑ කියලයි අංකල් අපිට කිව්වේ.
අංකල් කියන්නේ,ඒ කාලේ අද වගේ දියුණු තාක්ෂණයෙන් යුත් එන්ජින් හයිකරපු බෝට්ටු නොතිබුන කාලේ, අන්කල්ලා ධීවර රස්සාව කරලා තියෙන්නේ ඔරු වලින්. ඔරු කියන්නේ රුවල් ඔරුවලින්. රුවල් ඔරුවකින් ඈත දියඹට ගිහිල්ලා, මාලු අල්ලාගෙන, එන එක අද කාලේ වගේ ලේහෙසි වුනේ නෑ කියලයි අන්කල් කියන්නේ අද කාලේ නම් ඇන්ජින් සවි කරපු බෝට්ටුවේ ගිහිල්ලා මාළු කොයි කොයි හරියේද වැඩිපුර ඉන්නේ කියලා බලන තාක්ෂණය වාගේ දේවල් භාවිතා කරලා දැල් වගේ දේවල් දාලා ලෙහෙසියෙන් මාලු අල්ලනවා වගේ නෙමෙයිලු ඒ කාලේ රුවල් ඔරුවෙන් ගිහින් මාළු අල්ලනවා කියන්නේ.
රුවල් ඔරු වලින් ගිහින් මාලු ඇල්ලීමේ කාර්යයේදී සියලුම දේවල් කෙරෙන්නේ තමන්ගේ අත්දැකීම් මත ගොඩනැගුණු හිතේ තියෙන දැනුමෙන් පමණයි කියලයි ජෝන් සිරිල් අන්කල් කියන්නේ. හුළං හමන දිශාව, හුළං හමන වේගය, බඩදිය බාදිය ඇතිවන වෙලාව, කුණාටුව වැස්ස මේ ආදී සොබාදහමේ වෙනස්විමේ කරුණු කාරණා වගේම, මාළු වැඩිපුර ඉන්න ඉසව්වන් වගේ ප්‍රායෝගික දේත් තමන්ගේ අත්දැකීම් මත ලබා ගත්තු දැනුමෙන් තමයිලු අනුමාන කරන්න සිද්ධ වුණේ. ඉතින් ඒ වාගේ කාරණාවන් ගැන ස්වයංව දැනගන්න පුළුවන් වෙන්නේ ඒ සඳහා සොබාදහමත් එක්ක ලොකු සබැඳියාවක් තිබුනොත් පමණයි කියලයි ඔහු අපට වැඩිදුරටත් කිව්වේ.
ජෝන් සිරිල් අන්කල් මෙතැනදී වැදගත් කාරණයක් අපිට කිව්වා. ඒ තමයි ඒ කාලේ දියුණු තාක්ෂණයක් නැතිවුණත් ධීවර රස්සාව හොඳින් එයාලට කරන්න පුළුවන් වුණේ මේ සොබාදහමේ හැසිරීම් රටාව ඒ කියන්නේ වැස්ස කුණාටු විදුලි කෙටීම් අකුණු ගැහිලි සහ සුළං ප්‍රවාහය වගේ දේවල් ගැන ඒ කාලේ ධීවරයන්ට හොඳ දැනුමක් තිබුනලු. ඒ දැනුම අත්දැකීමෙන්ම ආපු දෙයක්ලු.
රුවල් ඔරුවකින් ගිහින් මාලු අල්ලන ධීවරයෙකු ඉතාම හොඳින් පීනන්න දැනගෙන තිබීම අනිවාර්යය දෙයක් කියලයි ජෝන් සීරිල් අන්කල් නම් කියන්නේ. අංකල්ලාගේ කාලේ මුහුදු යන සෑම රුවල් ඔරුවක්ම හදලා තියෙන්නේ දැවයෙන් . ඒ සඳහා යොදා ගැනෙන දෙමළ භාෂාවෙන් “ආසනී” නමින් හඳුන්වන ඒ විශේෂිත දැව වර්ගය වැඩිපුරම තිබිලා තියෙන්නේ පන්නල ප්‍රදේශයේ තියෙන ” දික්කැලේ” නමින් හඳුන්වන මේ වන විට රක්ෂිත වනාන්තරයක් ලෙස නම් කරපු වන ප්‍රදේශයකයි. රියන් 20 ක විතර දිගින් යුත් ඒ ගස් කපලා ,ඒ ගහේ බර අඩුවෙන්න ඔරුවේ හැඩයට රැහැලා, ඊට පස්සේ කොටන් අදින අලින් ලවා කැලේ ඉඳලා ඒවා පාරට ඇදන් ඇවිල්ලා.ඊට පස්සේ වාහනයක දාගෙන තමයිලු ඔරුව හදන තැනට මේ ගස් අරගෙන ආවේ. ඊට පස්සේ ඔරුව විදිහට ඒක හදන්නේ ඔරුව හැදුවට පසුව ඒකට රුවල් සකස් කරන්න වෙන්නේ ඔරුවෙ මාලු අල්ලන්න යන ධීවරයන්ටම තමයි.
දෙමළ භාෂාවෙන් “කාරික්කන්” ලෙස හඳුන්වපු ටිකක් ඝනකම් රෙදි ජාතියක් තිබුණලු ඔය ධීවර ආම්පන්න විකුණන්න තිබුණු කඩවල් වල. ඒ කාලේ මීගමුවේ වෙරළබඩට වෙන්න ඔය රෙදි විකුණන කඩ කීපයක්ම තිබිලා තියෙනවා.රුවල් ඔරුවක රුවලක් සකස් වෙන්නේ උස රියන් විස්සක් විතර සහ පළල රියන් දෙකහමාරක් විතර වෙන රෙදිකඩවල් පහක් එකතු කර එකට මැසීමෙන්. ඒවා මහන්න පැවරිලා තියෙන්නෙත් මේ ඔරුව භාරදෙන ධීවරයන්ටමයි. ඉතින් ජෝන් සිරිල් අංකල්ට මේ රුවල් මහන වැඩේ ගැන හොඳ පලපුරුද්දක් තියෙනවලු.
අංකල් කියන විදිහට රුවල් ඔරුවක ධීවරයෝ හතර දෙනෙක් යනවා. දෙන්නෙක් යනවා ඔරුවේ පල්ල අල්ලන්න. ඔරුවේ පල්ල කියලා කියන්නේ ඔරුවේ ගමන් මඟ මෙහෙයවන කොටස. ඒ කියන්නේ හරියට ඔරුවේ සුක්ඛානම වගේ කොටස. රුවල් ඔරුවෙන් මාලු අල්ලන්න යන ධීවරයෝ මුලින්ම යන්නේ මඩේ ඉස්සෝ අල්ලන්නලු .ඒ අල්ලපු ඉස්සෝ ටිකත් අරගෙන ඊට පස්සේ තමයිලු මාළු අල්ලන්න දියඹට ඇදෙන්නේ. මාළු අල්ලන්න බිලි පිත්තට ඇමට දාන්නේ අර මුලින්ම අල්ලගත්තු ඉස්සෝ අතර ඉන්න කුඩාම ඉස්සෝ ටිකලු. ඒත් එක්කම ජෝන් සිරිල් අන්කල් කියන විදිහට එයාල තව වේවැල් වලින් හදපු “බස්සන කූඩේ ” කියලා හඳුන්වන පුංචි උපකරණයක් වගේ දෙයක් තියාගෙන හිටියලු, අර ගල් අස්සෙ දිය යට ඉන්න මාළුන්ව උඩට ඇදලා ගන්න. ඒ බස්සන කූඩේටත් ඉස්සෙක්ව අමුණලා අර දිය යට ගල් අතරේ ඉන්න මාළුන්ව දියඹේ මතුපිටට ගෙනල්ලා පසුව බිලී පිති වලින් ඇමදාලා තමයිලු මාළුන්ව ඇල්ලුවේ. ජෝන් සිරිල් අන්කල් ගාව එයාම වේවැල් දාලා හදපු ඒ බස්සන වේවැල් කූඩයක් තවමත් තියෙනවා ,සිහිවටනයක් විදිහට තියාගෙන.
ජෝන් සිරිල් අන්කල් රුවල් ඔරුවෙන් මුහුදු යන කාලේ , රුවල් ඔරුවල අයිතිකාරයෝ වෙලා තියෙන්නේ ඒ කාලේ ගමේ හිටපු ටිකක් සල්ලි තිබුන උදවියලු. ගමේ ඉස්කෝලේ මහත්තුරු වාගේ යමක් කමක් කරගන්න පුළුවන් අය ළඟ තමයිලු වැඩිපුරම ඒ කාලේ රුවල් ඔරු තිබුණේ. ඉතිං ධීවර රස්සාව කරන අය ඒ රුවල් ඔරුව අරගෙන මුහුදු ගිහිල්ලා ,අල්ලාගෙන එන මාළු විකුණලා ගන්න ආදායම හරියටම කොටස් පහකට බෙදෙනවලු. ඒකෙන් කොටස් හතරක් ගන්නේ ඔරුවේ යන ධීවරයෝ හතර දෙනාට. ඉතුරු කොටස දෙන්නේ රුවල්වරුව අයිතිකරුට.ඉතින් මෙහෙම තමයි, ඒ කාලේ ජෝන් සිරිල් අන්කල්ලා රුවල් ඔරුවෙන් ධීවර රස්සාව කරලා තියෙන්නේ.
ඒත් එක්කම මේ අල්ලන මාළු විකුණල ගේන සල්ලි වලින් සියයට දහයක මුදලක් දවස ගානේ පල්ලියෙන් ක්‍රියාත්මක වන රේන්දයට ගෙවීම අනිවාර්ය වෙලා තියෙනවා ඒ කාලේ ධීවර රස්සා කරපු හැමෝටම. ඒ රේන්දේ කියලා කියන්නේ ඒ කාලේ හරියට ගත්තොත් සමිතියක් වගේ තැනක්. එහෙම රේන්දට එකතු වෙන සල්ලි වලින් සමහර ධීවරයන්ට අසනීප වෙලා, අනතුරු වෙලා ධීවර රස්සාව කරගන්න බැරුව ගියොත් එයාට ජීවත් වෙන්න, ලෙඩ වලට බෙහෙත් හේත් ගන්න යම් මුදලක් ප්‍රධානය කරලා තියෙනවාලු.මේ සෑම දෙයක්ම වෙලා තියෙන්නේ ගමේ පල්ලියේ මූලිකත්වයෙන් කියලයි ජෝන් සිරිල් අන්කල් අපිට කිව්වේ.
ජෝන් සිරිල් අන්කල්ලා රුවල් ඔරු වලින් ගිහිල්ලා වැඩිපුරම අල්ලන්නේ ලවයෝ, කොස්සෝ, මීවැටි, තුඹයෝ පරව් කබරු සහ වැටියෝ, වාගේ ගල් මාලු වර්ග කියලයි අපිට ඔහු කිව්වේ. අන්කල්ලා මුහුදු යන කාලේ වැඩිපුරම රුවල් ඔරු තිබිලා තියෙන්නේ මහාවීදිය සහ මුන්නේක්කරේ කියන ප්‍රදේශවලලු. . ඒත් එක්කම පිටිපන, දුව, පළඟතුරේ වගේ ප්‍රදේශවලත් රුවල් ඔරු ටිකක් තිබුනලු. කොහොමත් රුවල් ඔරු පනහක් විතර වගේ ප්‍රමාණයක් තමයි ජෝන් සිරිල් අන්කල් කියන විදිහට ඒ කාලේ තිබිලා තියෙන්නේ.
ඒවාගේම ජෝන් සිරිල් අන්කල් අපට තවත් කතාවක් කිව්වා මේ කතාබහේදී. එයාට වයස අවුරුදු පනහ විතර කාලයේදී එයාට අවස්ථාවක් ලැබුණාලු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට යන්න. සරත් ඉද්දමල්ගොඩ පියතුමා තමයි ඔය අවස්ථාව ලෑහැස්ති කරලා දුන්නේ. ජෝන් සිරිල් අන්කලුයි පිටිපන ඉන්න නාමල් කියන කෙනයි, තවත් දෙන්නෙකුටයි තමයිලු මේ අවස්ථාව ලැබුණේ. කේරල ප්‍රාන්තයට ගිය වෙලාවේ ඒ ප්‍රාන්තයේ එක වෙරළාසන්නව තිබුණු ගමක කුණාටු ආවහම හුඟක් අය ඒ කුණාටුවලට හසුවෙලා අයාලේ මිය ගිහිල්ලා තියෙනවා.
ඉතිං ඒ අය අහලා තියෙනවා ,ලංකාවේත් ඔයාලා ජීවත්වෙන වෙරළබඩ ප්‍රදේශවලට කුණාටු ආවාහම ජීවිත හානි නොවෙන්න හේතුව මොකක්ද කියලා. ඒ වෙලාවේ ජෝන් සිරිල් අංකල්ලා කියලා තියෙනවා අපේ ගමේ වෙරළ අයින් වල විශේෂ ගස් ජාතියක් හිටවලා තියෙනවා ඒක නිසා කුණාටු කාලෙට එන හුළඟත් එක්ක මුහුදු ජලය ගොඩබිමට එන එක වැලකිලා තියෙනවා කියලා. ඉතින් ජෝන් සිරිල් අන්කල්ට අවස්ථාවක් ලැබුනලු ලංකාවෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට කඩොලාන ගස් වර්ග අරන් ගිහින් හිටවන්න . දැනට අවුරුදු දහයකට වාගේ කලිනුත් අංකල් එහි ගිය වෙලාවේ දැක්කලු එදා එයාලා පැල කරපු ගස් දැන් ලොකු ගස් බවට පත්වෙලා තියෙනවා. ඒත් එක්කම මේ ගම දැන් කුණාටු වලින් සෑහෙන්න බේරෙනවලු.. කුණාටු ආවට ඒ මුහුදු ජලය දැන් ගොඩබිමට ඒම අවම වෙලා තියෙනවලු. ඉතින් ජෝන් සිරිල් අංකලුත් දායක වුනු ඒ ගස් වැවිල්ල නිසා ඒ ගමේ ගොඩක් අයගේ ජීවිත දැන් ආරක්ෂා වෙනවා කියලා අන්කල් අපිත් එක්ක කිව්වේ හරිම ආඩම්බරයෙන්.
ජෝන් සිරිල් අන්කල් කියන විදිහට එයාල කරපු ධීවර රැකියාව ,එයාලා කරලා තියෙන්නේ සොබාදහමත් එක්ක බොහෝම බද්ධ වෙලාලු. සොබා දහමට මහා මුහුදට හානියක් නොවෙන විදිහට තමයි ඒ අය ධීවර රැකියාව කරලා තියෙන්නේ. ඉතින් එහෙම බලපුවහම දැන් ඉන්න ධීවරයොයි, ජෝන් සිරිල් අන්කල් වාගේ අය අතරේ පරතරය හරියට අහසට පොළව වගේ.දැන් ඉන්න ධීවරයා බලන්නේම මුහුද විනාශ කරලා හරි කමක් නෑ පුළුවන් තරම් මාළු වැඩි ප්‍රමාණයක් අල්ලාගෙන ඒවා සල්ලි බවට පත් කරගන්න. නමුත් ජෝන් සිරිල් අන්කල්ලා වැනි අය සිතන්නේ මහ මුහුදටත් හානියක් නොවන විදිහට තමන්ගේ රැකියාව කරගෙන ,ලැබෙන මුදලින් තමන්ගේ දරුවන්වත් හොඳින් හදාගෙන කාලා බීලා හරිම සන්තෝසෙන් සතුටින් ජීවත් වෙන්න.
එහෙම හිතෙන්නේ එයාලා බොහොම සරල අදහස් තියෙන ධීවරයෝ නිසා.
ඉතින් මේ මා හැඟී මිනිසාට තව චිරාත් කාලයක් නිදුක් නිරෝගිව ජීවත් වෙන්නට කියලා ප්‍රාර්ථනා කරමින් අපි ඔහුගෙන් සමු ගත්තා. ඉතින් මෙවැනි සුන්දර මිනිසුන් තවත් අපි අතරේම ඉන්න පුළුවන්. කනගාටුව වන්නේ එවන් සුන්දර මිනිසුන්ගෙන් සමාජයට වෙන සේවාව අගයන්නට, ගෞරව පුද කරන්නට කිසිවෙකු හෝ උත්සුක නොවීමයි.