අදට වසර ගණනකට පෙර කල මිනී මැරුම් නඩුවක මනුෂ්‍ය ඝාතනයට හේතුව වූයේ ශත විසි පහකි. දුම් වැටියක් මිලදී ගැනිමට පැමිණි අයෙකුට ශත විසි පහක් අඩුවීම නිසා දුම්වැටිය විකිණීම ප්‍රතික්ෂේප කිරීම හබයේ ආරම්භයයි. හවස කඩයෙහි මුදලාලි ඝාතනය කිරීමෙන් හබය අවසන් විය. මේ අදට වසර විස්සකට විතර එහා කාලයක වූ සිද්ධියකි. නිවස ඉදිරිපිටට පැමිණ කුනු හරුප කියූ තැනැත්තාට පහරදී මරා දැමූ නඩුවක්ද ඔය කාලයේම තිබුණේය. මේ සෑම සිද්ධියකින්ම පෙනෙන්නෙ මිනිසුන්ගේ ඉවසීම සහ වෛරය යන මානසික කාරණා ඉතාමත් පහත් අගයක පවතින බවයි.
බොහෝ ආරවුල්වලදී අනෙකා මරණයට පත් කරන බවට කෙරෙන තර්ජනය අනිච්ඡානුගව කියැවෙන ප්‍රකාශයක් බවට පත් වී ඇත. සෑම සිදුවීමකම ප්‍රතික්‍රියාව මරණයෙන් අවසන් වන්නේ නැති නමුත්, පලිගැනීම බොහෝ අවස්ථාවල දැකිය හැකිය. අධිකරණ ඉදිරියේ විභාගවන සමහර නඩුවල මෙම දාම ක්‍රියාකාරිත්වය දකින්නට ඇත. පවුල් දෙකක් අතර සිදුවන ආරාවුලක් ඇසට ඇස, දතට දත ආකාරයෙන් ඉදිරියට ඇදී යන අවස්ථා ඕනෑ තරම් ඇත. තමන්ගේ ගෙදර එකා මරා දැමීමෙන් පසු , ප්‍රතිවාදියාගේ ගෙදර එකා මරා දැමීම, ඉන්පසු එයට පලිගැනීම, නැවත හතුරාගේ එකෙකු ඝාතනය කිරීම එක් යුගයක සමහර පැතිවල සුලබව සිදුවිය. ඝාතන රැල්ලෙන් බේරීමට පසු පරම්පරාව සමග ගම් බිම් අතහැර වෙනත් ප්‍රදේශයකට පලා යෑමද සුලබව සිදුවූ දෙයකි.
බෞද්ධ පරිසරයක ජීවත්වෙන මිනිස් සමූහයක් මෙතරම් සාහසික වන්නේ කෙසේද? ප්‍රාණ ඝාතය කුඩා කල සිටම පවක් ලෙස ඉගැන්වූ පරිසරයක අනෙකා මරා දැමීමට තරම් රෞද්‍ර සිතක් නිර්මාණය කර ගන්නේ කෙසේද? ඒ පලිගැනීම සමාජ නෝමයක් බවට පත් වී ඇති නිසා විය යුතුය. සෑම සමාජ ඒකකයක් තුලම පලිගැනීම ඇත, එය ක්‍රියාකාරීව ඇත, උදාහරණයක් ලෙස සෑම ආණ්ඩු පෙරලියකින්ම පසුව දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන්ට සහන දෙන කොමිසම් ඇතිවේ, ඒවායේ සහන පතන්නන් අතර රජයේ සේවකයන්ද ඇත, තමන්ට වූ අගතීන් අතර ස්ථාන මාරු, තත්වයෙන් පහල දැමීම්, උසස්වීම් අහිමි කිරීම් වැනි අනේක විධ කාරණා ඇත. ආණ්ඩු පෙරලිවලින් පසුව පලි ගැනීමේ ප්‍රතිඵල ලෙස ජීවිතය අහිමි වූවන්, අතපය අහිමි කර ගත්තන්, දේපල අහිමි කර ගත්තන් ඕනෑ තරම් ය. එයින් පෙනෙන්නේ සමාජය තුල පමණක් නොව රාජ්‍ය දේහය තුලද පලිගැනීම අවියක් වී ඇති බවයි.
පසුගියදා ඇතිවූ ඝාතන දෙස බලන විට පලිගැනීම කෙතරම් සමාජගත වී ඇත්ද, ප්‍රහාරකයා හෝ පලිගන්නා කෙතරම් බලවත් වී ඇත්ද යන්න මොනවට පැහැදිලි වේ. මිනිසෙකු සංවිධානාත්මක අපරාධයකට ප්‍රසිද්ධියේ පෙලෙඹෙන්නේ තමන් පිටුපසින් ආරක්ෂකයෙකු සිටින බව ඔහු දන්නා විටකදීය. අපරාධයක්, අපරාධයක් නොවේ යැයි තර්කයක් ගොඩ නගන්නේ තමන්ට පද්ධතිය නැත්නම් සිස්ටම් එක තුලින්ම ආරක්ෂාවක් ඇති බවට ඔහුට විශ්වාසයක් ඇති විට සහ එම පද්ධතිය විසින් ඔහු ආරක්ෂා කරන බවට සහතිකයක් ඔහුට කොතැනකින් හෝ ලැබී ඇතිවිටයි.
මේ සියලු තත්වයන් සමග සමාජය ඉතාමත් භයංකාර අඩියකට තල්ලු වෙමින් ඇත. පලිගැනීම සහ වෛරය මරණයෙන් අවසන් කල යුත්තක් ලෙස සිතන සමාජයක ඉදිරි දවස කෙසේ වනු ඇත්ද යන්න සිතීම, නොසිතා සිටීම සිතට සහනයක් වනු ඇත.
උපුල් කුමරප්පෙරුම