පාඨලී චම්පික රණවකගේ දක්ෂතාවය සහ දේශපාලන කෘතහස්ත භාවය පිළිබඳව කිසිදු විවාදයක් නැත. කුමන කතා කෙසේ කියවුණද ඔහුට මේ මොහොතේ එල්ල වෙමින් පවත්නා අභියෝග පොහොට්ටුවේ දේශපාලනික සැළසුම්කරුවන් විසින් 2025දී තමන්ට එල්ල වියහැකි ප්‍රබලතම අභියෝගය ලෙස චම්පිකව හඳුනා ගැනීමේ ප්‍රතිඵලයකි. එය ශ්‍රී ලාංකිකයාගේ දේශපාලන මනෝභාවය අනුව ගත්කල දිගුකාලීනව චම්පික රණවකටම වාසි සහගත බවද ඇත්තකි. නමුත් දෛවයේ සරදම වන්නේ අද ඔහුව සපාකන දේශපාලනික නාගයා නිර්මාණය කිරීමේ සැළකියයුතු කාර්යභාරයක් චම්පික විසින්ම ඉටුකර තිබීමය.
2001/02 කාලවකවානුවට පෙර දේශපාලන වේදිකාවේ ජාතිවාදී සටන්පාඨ පැවතියද ඒ යම් සීමාසහිත මට්ටමකිනි. එනම් ප්‍රධාන දේශපාලන ප්‍රවණතාවය බවට ජාතිවාදය පත්වී තිබුණේ නැත.
ජනප්‍රියතාවය දිනෙන් දින හීන වෙමින් 1994 පටන් ඇදී ආ චන්ද්‍රිකා කුමාරතුංගගේ පොදුජන එක්සත් පෙරමුණු රජය 2001/02 වකවානුවේ පැවති මහ මැතිවරණයෙන් පරාජයට පත්ව රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පෙරමුණට බලය හිමිවිය. එය ස්වභාවයෙන්ම නිරන්තරයෙන් පෙරළෙන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ සාමාන්‍ය සංසිද්ධියකි. ඒ අනුව පොදුජන එක්සත් පෙරමුණට තවත් වසර 6-7කින් නැවත සිදුවන ස්වභාවික පෙරළියක ප්‍රතිඵලයක් ලෙස බලයට ඒමට හැකියාව තිබුණි. නමුත් එය ප්‍රමාණවත් වූයේ නැත. හැකිතාක් ඉක්මනින් බලය ලබාගන්නා සැළසුමක අවශ්‍යතාවය තදින්ම ඔවුන්ට දැනුණු නමුත් එතෙක් දේශපාලන වේදිකාවේ පැවැති සාම්ප්‍රදායික සටන්පාඨ එවැනි ඉක්මන් බළපෙරළියක් සඳහා ප්‍රමාණවත් වූයේ නැත.
එපමණක් නොව අතීතයේ පටන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානවල ආධිපත්‍යය දැරූ බණ්ඩාරනායක පවුලේ ඊළඟ පුරුක ලෙස අනුර බණ්ඩාරනායක බලයට පැමිණීම වලක්වා නව යුගයක් උදා කිරීමේ අවශ්‍යතාවයද පොදු පෙරමුණු කඳවුර තුලින්ම නැගෙමින් පැවතුණි.
ඒ සඳහා පොදුජන එක්සත් පෙරමුණේ සාම්ප්‍රදායික ක්‍රියාකාරීන්ට කළහැකි දෙයක් තිබුණේ නැත. ඔවුන්ගේ වචන සහ ක්‍රියා පටිපාටීන් තවදුරටත් තීරණාත්මක බලපෑමක් කළහැකි ඒවා නොවීය.
එබැවින් ඒ සඳහා පෙරමුණ ගන්නා ලද්දේ ජාතික හෙළ උරුමය සහ ජනතා විමුක්ති පෙරමුණ වේ. ඒ හා සමගාමීව පාඨලී චම්පික රණවක, අතුරලියේ රතන හිමි, විමල් වීරවංශ, දඹර අමිළ හිමි වැනි චරිත ප්‍රසිද්ධ දේශපාලන කරළියට අවතීර්ණ වූ අයුරු දක්නට ලැබුණු අතර එතැන් සිට ක්‍රියාවට නැගුණේ ඔවුන් විසින් අතිශයෝක්තිගත කරන ලද දේශපාලන ප්‍රතිපත්ති වේ.
ශ්‍රී ලංකාවේ මෑතකාලීන දේශපාලනයේ ජාතිවාදයේ නැගීම ඇරඹුණේ එතැනිනි. සාම්ප්‍රදායික දේශපාලන සටන්පාඨ වෙනුවට ජාතිය ආගම වැනි පුද්ගලයෙකුගේ ඇතුලාන්තය කිති කවන දේශපාලනික නොවන කාරණා වලට දේශපාලන වේදිකාවේ ප්‍රමුඛත්වය ලැබීම ඇරඹුණි. චම්පික රණවකලා, රතනලා එක් අතෙකින්ද, ජනතා විමුක්ති පෙරමුණ (විමල් වීරවංශ), දඹර අමිල, ගුණදාස අමරසේකර වැනි චරිත තවත් පසෙකින්ද නව දේශපාලන උපායමාර්ගික වෙනසට පණ පෙවූහ.
විමල් වීරවංශ දේශහිතෛශී ජාතික ව්‍යාපාරය හරහා බිම් මට්ටමට ජාතිවාදය මුදාහරිද්දී, රණවකලා රතනලා ඇතැම්විට ආවේගශීලීවද ඇතැම් විට සංයමයෙන් යුතුවද උගත් බුද්ධිමත් යැයි සම්මත පරපුර වෙත ජාතිවාදය මුදාහළහ.
“සිංහල කොටි, එන්.ජී.ඕ නඩ” වැනි වචන මෙම නව දේශපාලන ප්‍රවණතාවය හරහා ජනතාවට සමීප කරවන ලදී. ඒ අනුව දේශපාලනය යනු කලින් කලට රටේ භාරකරුවන් තීරණය කරන සාමාන්‍ය ක්‍රියාපටිපාටියකි යන තැනින් වෙනස් කොට “කළ යුත්තේ මෙයයි, එය කෙසේ හෝ කළ යුතුය” යන මතය සීග්‍රයෙන් ජනගත කෙරුණි.
දඹර අමිළ හිමි විසින්ම අවස්ථා ගණනාවකදී ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවේ ප්‍රකාශ කළ පරිදි, ඔවුන් විසින් මූලිකත්වයට තෝරාගන්නා ලද පුද්ගලයා වූ මහින්ද රාජපක්ෂ කතා කරන, ඇවිදින, එක්වරම දුවගොස් වේදිකාවට වේගයෙන් ගොඩවී දෑතම ඔසවා ජනතාවට ආචාර කරන ආකාරය පවා මෙම නව දේශපාලනික උපක්‍රමයේ කොටසක් ලෙස ප්‍රවේශමෙන් සැළසුම් කර පුරුදු පුහුණු වූ ඒවා වේ.
කෙසේ වෙතත් මේ හරහා ඇතිවූ ජාතිවාදී නැගීම 2004/05 කාලයේ මැතිවරණ ජයග්‍රහණ දක්වා පමණක් නොව කොටින්ට ගහන්න අවශ්‍ය බව කියූ විට ගහන්නෙ ලබ්බෙන්දැයි ඇසූ බව කියන මහින්ද රාජපක්ෂගේ දේශපාලන නායකත්වය යටතේම එල්.ටී.ටී.ඊ සංවිධානය යුධමය වශයෙන් පරාජය කිරීම දක්වා දිගහැරුණි.
නමුත් ආරම්භ කරන ලද නව දේශපාලනික ප්‍රවණතා ප්‍රවාහය යුධ ජයග්‍රහණයෙන් පසුවද නොනැවතී දිගින් දිගටම ඉදිරියට අැදුණි. එන විදියට ගහ උළුවස්සා ක්‍රමය ප්‍රගුණ කර ඇති එක්සත් ජනතා නිදහස් සන්ධාන දේශපාලනඥයන් මුළින්ම එතරම් කැමැත්තක් නොදැක්වුවද 2004/05 ජයග්‍රහණයෙන් පසුව චම්පිකලා, රතනලා, විමල්ලා, අමිළලා නිර්මාණය කළ ජාතිවාදී දේශපාලන ප්‍රවේශය ඉක්මනින්ම කරපින්නා ගත්තෝය. ඒ අනුව රටේ දේශපාලනය යනු තවදුරටත් සිවිල් කටයුත්තක් නොව පුරවැසියන්ගේ රුධිරය හා බැඳුණු ආත්මීය ගණුදෙනුවක් බවට පත්කරන ලදී.
පසුකාලීනව සක්‍රීය ජාතිවාදී දේශපාලනයේ නියමුවන් බවට පත්වූ ඥානසාර හිමි, අමිත් වීරසිංහ, ඩෑන් ප්‍රියසාද් වැනි අය එම සංස්කෘතිය තවදුරටත් ඉදිරියට ගෙන ගියහ.
ඒ අනුව 2015 වසරේ ලද පරාජයෙන් අනතුරුව නැවත නැගිටීම සඳහා වඩාත් ගැලපෙන ප්‍රත්‍යක්ෂ ඔසුව ලෙස නැවතත් ජාතිවාදයම තෝරාගන්නා ලදී. එය අති සාර්ථක විය.
ඒ වනවිට විවිධ හේතූන් මත ජනතා විමුක්ති පෙරමුණ, චම්පිකලා ප්‍රමුඛ හෙළ උරුමය උග්‍ර ජාතිවාදී දේශපාලනයෙන් විතැන් වී තිබුණි. එය ඔවුන් විසින්ම ගොඩනගන ලද ජාතිවාදය උරාගෙන හැදී වැඩුණන්ගේ කෝපයට හේතුවූ අතර අද වන විට එජාපයටත් වඩා ජාතිවාදීන්ගේ වෛරයට මුහුණදීමට ජවිපෙට සහ චම්පිකලාට සිදුවී ඇත්තේ ජාතිවාදයට ද්රෝහි වීමේ වරදට වේ.
මෙම නව ප්‍රවණතාවයට අනුව හරි ක්‍රමය කියා දෙයක් හඳුනා නොගනී. තමන්ගේ රුධිරය හා බැඳුණු කාරණාවකදී හරි වැරැද්ද කුමක්දැයි බලමින් සිටින්නේ ඉතා කලාතුරකින් බිහිවන දුර්ලභ වූ සංයමයක් සහ බුද්ධියක් ඇත්තවුන් පමණි. මේ න්‍යාය යටතේ කළ යුතු යැයි තම දේශපාලන නායකත්වය කියන දෙය රුධිරය හා සම්බන්ධ ගණුදෙනුවක් ලෙස ගෙන කෙසේ හෝ ඉටුකළ යුතු වේ. එය අද සක්‍රීයව ක්‍රියාවට නැගෙමින් පවතී.
අද එහි වින්දිතයන් බවට පත්වුවද චම්පික රණවක වූ කලී, මෙම ගින්නක් බඳු විනාශකාරී දේශපාලන ප්‍රවණතාවය බිහිකිරීමෙහිලා විශාලතම මෙහෙයක් කළ පුද්ගලයෙකි. පසෙක සිටි අහුරු කුක්කෙකු අතට ගෙන විෂ දළ ඇද විෂ පොවා කාට වුවද දෂ්ඨ කරන නාගයෙකු කළේ චම්පිකලාමය.
අද ඒ නාගයා චම්පිකට දෂ්ඨ කරන්නට තතනයි. චම්පිකගේ අතීතය හා කල්ක්‍රියාව අනුව ගත්කල එය චම්පිකගේම සැළසුමකට අනුව සිදුවන්නක්දැයි කීමට තවමත් කල් වැඩිය. එසේ වුවද නැතද චම්පිකගේම නාගයා සමග චම්පිකටම අඟර දඟර නැටුම් දමන්නට සිදුවීම දෛවයේ සරදමක් ලෙස මේ මොහොතේ පෙනේ.
නීතිඥ අතිල අතාවුද