”චූටි” අරගලය අතහරී….

0
123

බරපතළ රෝගී තත්වයකින් පෙළෙමින් ජීවිතයත් මරණයත් අතර අරගලයක සිටි විප්ලවවාදී සමාජ ක්‍රියාධරයකු වූ චන්දන ජයතිස්ස හෙවත් ‘චූටි’ සහෝදරයා ඊයේ (18) සියලු අරගලවලින් සමුගෙන ගියේය.

පානදුර වලානේ පදිංචිව සිටි ඔහු, රෝගී තත්ත්වය උත්සන්න වී පානදුර රෝහලට ඇතුළත් කර සුළු මොහොතකින් අභාවප්‍රාප්ත වූ බව ඔහුට හිතවත් ආරංචිමාර්ග කියයි.

දිගු කලක් නව සම සමාජ පක්ෂයේ පූර්ණකාලීනයකු ලෙස කටයුතු කළ චන්දන ජයතිස්ස, නොපසුබට, අභීත සහ නිර්ව්‍යාජ සටන්කාමියකි. වෘත්තීය සහ සිවිල් අයිතිවාසිකම් ක්ෂේත්‍රයේ අරගල රැසකට දායක වී ඇති ඔහු, හරය පුවත්පතේ ජනමාධ්‍යවේදියකු ලෙසද කටයුතු කර තිබේ.

මෑතකදී විවාහ දිවියට පත් චූටි, වසර එකහමාරක් වයසැති සිගිති දියණියකගේ පියෙකි.

යුක්තිසහගත සමාජයක් ගොඩනැංවීම වෙනුවෙන් ජීවිතයේ වැඩිම කාලයක්, තම මුළු ශක්තියම කැපකළ චූටිට, පෞද්ගලික දේපළ කිසිවක් රැස්කරගැනීමේ අවස්ථාවක් නොවීය. විවාහ වූ පසු ඔහු සුළු රැකියාවකින් එදිනෙදා ජීවිතය පවත්වාගෙන ගියේය.

ඔහු බරපතළ රෝගී තත්ත්වයට ගොදුරු වූ පසුව ඔහුගේ ප්‍රතිකාර වලටත්, ඔහු වෙනුවෙන් කැපවූ බිරිදගේ සහ සිගිති දියණියගේ ජීවිත පවත්වාගෙන යෑමටත් උදව් කළේ ඔහුගේ මිතුරන් ය. එම පිරිස එක්ව ‘චූටිගේ මිතුරෝ’ නමින් අරමුදලක් ආරම්භ කළ අතර, කුලී නිවසක දිවි ගෙවූ චූටිට නිවසක් ඉදි කර දීමත්, ඔහුගේ දියණියගේ අනාගතය වෙනුවෙන් යම් වැඩපිළිවෙළක් සැකසීමත් එහි අරමුණ විය.

මේ ගැන සංවේදී වන අයට, ජයදේව ( 071 599 0774 ) හෝ වෛද්‍ය නිහාල් (071 181 2954) ඇමතීමෙන් ඒ පිළිබද වැඩි දුර තොරතුරු දැනගත හැකිය.

චූටිගේ දේහය, පානදුරේ ඔහු පදිංචිව සිටි නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට (20) සවස 2‍ට සිදු කෙරේ.

(පානදුර පරණ පාරේ, වලාන හන්දියෙන් ‘ඩෙක්කෙගම පාරට’ හැරී මද දුරක් ගිය විට හමුවන නාවැටිය පාරේ ඔහුගේ නිවස පිහිටා ඇත.)

Chuti2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here