ජනපතිවරණයේදී මුහුණුපොතට නීති පොතක්

0
64

 1-billion-people-logged-into-Facebook-on-Monday-660x400අඅප මේ පසුකරන්නේ තොරතුරු තාක්ෂණයේ අග්‍රපල භුක්ති විඳින යුගයකි. ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති සමයක තම පුද්ගලිකත්වය පවා සඟවා ගත නොහැකි තරමට ඒ තාක්ෂණික ලොව මිනිසා ආක්‍රමණය කර ඇත. ‘සමාජ මාධ්‍යය’ නූතන සන්නිවේදනයේ ප්‍රබලතම මෙවලමකි. ජනාධිපතිවරණයක් පිළිබඳ මෙරට සමාජයම අවදියෙන් සිටින මොහොතක සමාජ මාධ්‍යයේ හැසිරීම මේ ජනාධිපතිවරණයේදී තීරණාත්මක වනු ඇත. ඒ අද බොහෝ දෙනා තොරතුරු හුවමාරු කරගන්නේ සමාජ මාධ්‍යයේ ඇසුරේ නිසාය. එම නිසා මෙවර ජනාධිපතිවරණයේදී ද වෛරී සහගත) (Hate Spech) හා වැරදි ප්‍රකාශ (Hate Spech) සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරීම වැළැක්වීම සඳහා මැතිවරණ කොමිසමේ විශේෂ අවධානය යොමුවී ඇත. ෆේස්බුක් සමාගමේ නියෝජිතයන්, දේශපාලන පක්ෂ නියෝජිතයන් හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයන් අතර මැතිවරණ කොමිසමේදී සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණේ ඒ වෙනුවෙන්ය.

සමාජ මාධ්‍යය යනු අද සමාජ ඇබ්බැහියකි. ලොව පුරා ෆේස්බුක් පරිශීලකයන්ගේ ප්‍රමාණය මේ වන විට බිලියන 2.82කි. ඉන්ස්ටර්ග්‍රෑම් පරිශීලනය කරන පිරිස බිලියන 1.6ක් වෙද්දි වටස්අප් භාවිතය බිලියන 1.5කි. අප දෙසට හැරණහොත් මෙරට තුළ ෆේස් බුක් පරිශීලකයන් ප්‍රමාණයක මිලියන 7ක් පමණ වේ. මෙම දත්ත අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී සමාජ ජාලා ප්‍රචාරකයන්ගේ හැසිරීම ඉතා තීරණාත්මකය. 2015 ජනාධිපතිවරණ සමයේද සමාජ මාධ්‍යයේ ක්‍රියාකාරීත්වය සමස්ත ඡන්ද ප්‍රතිඵලයට බලපෑම් කිරීමට තරම් ප්‍රබල විය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව රූපවාහිනී සංස්ථාව, ගුවන්විදුලි සංස්ථාව හා ස්වාධීන රූපවාහිනිය වැනි ආයතන සෘජුවම අධීක්ෂණය කිරීමට මැතිවරණ කොමිසමට බලය ලැබේ. මැතිවරණය සමයේ නිකුත් කරනු ලබන මාධ්‍ය උපමාන පිළිබඳ ගැසට් පත්‍රයෙන්ද පෞද්ගලික මාධ්‍ය ක්‍රියාකාරීත්වය යම් පමණකට සොයා බැලීමේ බලය මැතිවරණ කොමිසමට හිමිවේ. නමුත් ලොව වෙනත් රටවල සිට දත්ත ගබඩා කිරීම හා බෙදාහැරීම කරන සමාජ මාධ්‍යය නියාමනය කිරීම ප්‍රයෝගිකව සිදුකළ නොහැක. එසේ වුවද ෆේස්බුක් සමාගමට මැතිවරණ සමයන්හිදී එල්ලවූ චෝදනා නිසා ඔවුන් වඩා වෛරී සහ අසත්‍ය තොරතුරු තම සමාජ මාධ්‍ය ජාලා අඩවිවලින් ඉවත් කිරීමට පියවර ගත් අයුරු අපි දුටිමු.

සමාජ මාධ්‍ය තුළ අසත්‍ය තොරතුරු ප්‍රචාරය බහුලව සිදුවන්නේ Fake Account හරහාය. තම අනන්‍යතාව හෙළි නොකර ව්‍යාජ නමකින් පෙනී සිටිමින් පුද්ගල චරිත ඝාතන, වෛරී ප්‍රකාශ ප්‍රචාරණය, අසත්‍ය තොරතුරු බෙදාහැරීම මේ Fake Account හරහා ඉතා අශීලාචාර ලෙස සිදුවෙමින් පවතී. කිසිදු සුජාතභාවයක් නැති මෙවැනි ෆේස්බුක් ගිණුම් බිලියන 1.5ක පමණ අක්‍රීය කිරීමට ෆේස්බුක් සමාගම ක්‍රියා කිරීමෙන් පැහැදිලි වනුයේ මේ ව්‍යාජ ගිණුම් කෙතරම් සමාජ පිළිලයක් වී ඇත්ද යන්නයි. එසේ වුවද ඔවුන්ගේ පද්ධතිය තුළ එවැනි ව්‍යාජ ගිණුම් 2%-3% පමණ තිබිය හැකි බව ඔවුන් පිළිගනී.

ව්‍යාජ තොරතුරු පිළිබඳ ෆේස්බුක් සමාගමට පැමිණිලි කිරීමෙන් ඒවා ඉවත් කළ හැකි වුවත්, එය ඉවත් කරනුයේ ෆේස්බුක් සමාගමේ අභිමතය පරිදිය. එතනදි සියයට සියයක්ම එම කාර්යය නිවැරදිව සිදුවෙනවා යැයි සහතිකයක් අපට නැත. එසේම ඔවුන් පවසනුයේ විශාල පිරිසක් එකවර පැමිණිලි කිරීම අනවශ්‍ය බවත්, එක් අයකු නිවැරැදි ලෙස පැමිණිලි කිරීම ප්‍රමාණවත් බවය.

මැතිවරණ සමයන්හිදි ෆේස්බුක් හැසිරීම පිළිබඳ වාර්තා මෑතකාලීන හොඳම නිදසුන ඉන්දීය මහ මැතිවරණයයි. එහිදී ෆේස්බුක් පිටු දහස් ගණනක් අත්හිටුවිණි. ඉන් බහුතරයක් ඉන්දීය කොංග්‍රස් පක්ෂයට අයත් පිටු විය. විශේෂයෙන් ජාතීන් අතර සංහිඳියාවට බාධාවන ආකාරයේ ප්‍රකාශයන් ප්‍රචාරය වන අවස්ථාවලදී ෆේස්බුක් සමාගම ඒ පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කිරීමට උත්සාහ ගෙන ඇත. උදාහරණයකට ඉන්දීය මහ මැතිවරණයේදී උත්තර ප්‍රදේශ ප්‍රධාන අමාත්‍යවරයා වූ යෝගි ආධිත්‍යනාත්, මුස්ලිම් ජනතාව අරබයා කරන ලද වෛරී ප්‍රකාශ නිසා මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවීම දින 3කට තහනම් කරන ලදී. එමෙන්ම පසුගිය සමයේ මෙරට සමාජය කැලඹූ මහනුවර, දිගන සිදුවීම්වලින් පසුව සිංහල භාෂාවෙන් පළවන පෝස්ට් පවා ස්වයංක්‍රියව අධ්‍යයනය වන ක්‍රමයක් ෆේස්බුක් සමාගම විසින් ආරම්භ කර ඇත.
මෙරට තුළ පැවැති සාපරාධී අපහාස නීතිය 2003 වර්ෂයේ සිට ක්‍රියාත්මක නොවේ. ඒ දණ්ඩ නීති සංග්‍රහයෙන් සහ පුවත්පත් මණ්ඩල පනතේ එම වගන්තිය ඉවත් කළ නිසාය. එසේ වුවද 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (අයි.සී.සී.පී.ආර්. පනත) මගින් වෛරී ප්‍රකාශවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට බාධාවක් නැත. එම පනතේ 3වැනි වගන්තියේ ‘කිසිම තැනැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනත් ලෙස සැලකීමට එදිරිවාදිකම් හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමුකිරීම සංයුක්ත වන ජාතික වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙලඹවීම නොකළ යුතුය’ යනුවෙන් දක්වා ඇත. මෙම වරදට ඇප නැත. එමෙන්ම වසර 10 දක්වා සිර දඬුවම් ලබාදිය හැකිය.

බොහෝ දෙනා ෆේස්බුක් භාවිත කළද වෛරී ප්‍රකාශන පිළිබඳ එම සමාගමේ ක්‍රියාකාරීත්වය ගැන අවබෝධයක් නැත. වෛරී ප්‍රකාශන පිළිබඳ ෆේස්බුක් සමාගමේ අර්ථ නිරූපණය වඩා පුළුල්ය. ඔවුන්ගේ අර්ථ නිරූපණයට අනුව වර්ගය, ආගමට අමතරව කුලය, ලිංගිකත්වය හා ආබාධිතතාව පිළිබඳවද වෛරී ප්‍රකාශ සිදුකළහොත් එවැනි පෝස්ට් ගලවා ඉවත් කිරීමට හැකිය. තම දේශපාලන විරුද්ධවාදීන් පිළිබඳව සෘණාත්මක දැන්වීම් (Negative Advertising) භාවිත කිරීම මැතිවරණය සමයේ බටහිර රටවල සිදුවන ප්‍රවණතාවකි. මේ සෘණාත්මක දැන්වීම් භාවිත කළ හැකි වුවද ඒවායේ වැරැදි තොරතුරු හා වෛරී ප්‍රකාශ අඩංගු විය නොහැක.

ඉන්දීය මැතිවරණ කොමිසම ෆේස්බුක් සමාගම සමග සුහදව යම් යම් ගනුදෙනු සිදුකර ඇත. මාස දෙකක් පුරාවට කඩින් කඩ පැවැත්වෙන ඉන්දීය මැතිවරණයේදී සිදුවූ මෙම සිදුවීම ඊට නිදසුනකි. ඒ මැතිවරණ දිනයක් පිළිබඳව පළවූ වැරැදි තොරතුරු පෝස්ටුවක් ඉන්දීය මැතිවරණ කොමිසමේ ඉල්ලීම පරිදි ෆේක්බුක් සමාගම ඉවත් කිරීමට පියවර ගැනීමයි. එමෙන්ම බ්‍රසීල ජනාධිපතිවරණයට දිනකට පෙර, පැතිර ගිය අසත්‍ය පුවතක් නිවැරැදි කිරීමටද ෆේස්බුක් සමාගම පියවර ගත්තේය.
ඇරිස්ටෝටල්ට අනුව මිනිසා දේශපාලන සත්ත්වයෙකි. ඔබටත්, මටත් යම් දේශපාලන මතයක් ඇත. නමුත් ඔබට එම දේශපාලන මතය වෛරී හා අශිෂ්ට ලෙස සමාජ ගත කිරීමට කිසිවිටක අයිතියක් නැත. විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ පවතින අසීමිත නිදහස ‘වල් බූරු නිදහසක්’ සේ භාවිත කරමින් ඔබගේ දේශපාලන විරුද්ධවාදීන්ට පදනම් විරහිත ලෙස අවලාද නැගීමට පෙලඹෙන්නේ නම් ඔබගේ ෆේස්බුක් ගිණුම අවලංගු වීමේ අවදානමක් ඇති බව සිහි තබා ගැනුම වටී. ඒ අසත්‍ය තොරතුරු හඳුනාගැනීම, එම තොරතුරු අධ්‍යයනය කිරීම, News feed අඩු ප්‍රමුඛත්වයක් ලබාදීම (එවිට එම පෝස්ටුව දකින පිරිස අඩුවේ), නිතර නිතර වැරැදිකරන පිරිස මාධ්‍ය ජාලයෙන් ඉවත් කිරීම වැනි කරුණු නියාමනය සඳහා ෆේස්බුක් සමාගම තෙවන පාර්ශ්වයක් යොදා ගන්නා (Third party fact checking Organizations) නිසාය. එය මේ මැතිවරණයේදී තදින් ක්‍රියාත්මක වනු ඇත. ෆේස්බුක් සමාගම පවසනුයේ මෙම තෙවන පාර්ශ්වය පිළිගත්, සහතික ලත් ආයතන බවයි. සිංහල භාෂාවෙන් කටයුතු කිරීමේදී යම් යම් ඌනතා ඇතිවිය හැකි බවද ඔවුන් පිළිගනී. කෙසේ වුවද අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ප්‍රචාරයට, ඔවුන්ගේ දේශපාලන කතා ප්‍රචාරයට එහිදී වැටකඩොලු නොවැටෙනු ඇත.

කිනම් මාධ්‍යයක් ශිෂ්ටාචාරයක ප්‍රගමනයට මිස අවගමනය සඳහා යොදා නොගත යුතුය. විශේෂයෙන්ම දියුණු මිනිස් ශිෂ්ටාචාරයන් තුළ මඩගැසීම්, චරිතඝාතන කිනම් මාධ්‍යයක් මගින් හෝ සිදුවන්නේ නම් එය එම මාධ්‍යයේ වැරැද්ද නොව එම මාධ්‍ය භාවිත කරන්නන්ගේ ශිෂ්ටත්වය පිළිබඳ ගැටලුවකි. ඉතිහාසයේ නොවූ විරූ අයුරින් සාම්ප්‍රදායික මාධ්‍ය පරදා සමාජ මාධ්‍ය ඉදිරියට පැමිණ ඇති බව සත්‍යයකි. ජනාධිපතිවරණ උණුසුමක රටම ගිලී ඇති මොහොතක මෙරට ජන මතයට මේ සමාජ මාධ්‍යය විශාල බලපෑමක් සිදුකරනු ඇත. මේ සමාජ මාධ්‍ය හසුරුවන්නෝ ඔබය. එයට ස්වයං විනයක් පනවා ගත හැකි නම් කිසිදු නීතියක් අවශ්‍ය නොවේ. කෙසේ වුවද වෛරී ප්‍රකාශ හා අසත්‍ය පුවත් පාලනයට ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම ගෙන ඇති ඉදිරි පියවර කාලෝචිත එකකි.

නීතිඥ රසංග හරිස්චන්ද්‍ර
ජාතික සංවිධායක
ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය