ජනපති එක්ක ෆොටෝගන්න ඇමතිලා 3ක් ඇවිත් නෑ

0
76
 117604419_3109555925828658_9021401643622557988_o

මහනුවර මගුල් මඩුවේ දිවුරුම්දීමෙන් පසුව ජනපති සමඟ සමූහ ඡායාරූපයට පෙනී සිටීමට අමාත්‍යවරු තිදෙනෙක් පැමිණ නැතැයි වාර්තා වේ.

මෙසේ පැමිණ නැත්තේ වනජීවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරිම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න යන අමාත්‍යවරුන්ය.

විමලවීර දිසානායක මහතා හදිස්සි වැඩකට යාම නිසා ඡායාරූපයට පෙනී සිටීමට නොහැකි වූ බවත්, පියංකර ජයරත්න මහතා සන්නිවේදන ප්‍රශ්නයක් හේතුවෙන් එය මඟ හැරුණු බවත් මාධ්‍යට පවසා තිබේ.

කෙසේවුවද, ලොහාන් රත්වත්තේ මහතා ඊයේ (12) දිනය පුරා සිය දුරකථනය විසන්ධිකර තිබූ බව පැවසේ.

ලොහාන් රත්වත්තේ මහතා මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්වූයේ මහනුවර දිස්ත්‍රික්කයෙන් මනාප 140,917 ක් ලබා ගනිමින් පොහොට්ටු ලයිස්තුවේ තෙවැනි ස්ථානය හිමිකරගනිමින් වන අතර, විමලවීර දිසානායක මහතා මෙවර පාර්ලිමේන්තුවට පත්වූයේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොහොට්ටු ලයිස්තුවේ ප්‍රථමයා වෙමින් මනාප 63,594 ක් ලබාගනිමිනි.

පියංකර ජයරත්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පුත්තලම දිස්ත්‍රික්කයෙන් දෙවැනි ස්ථානයට පත්වෙමින් මනාප 75,425ක් ලබා ගනිමින් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්විය.
srilankamirror.com