Saturday, November 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

Home Stories ජනපති සිරිසේන ගැන – ඇමති මංගලගෙන් සැර නිවේදනයක් !

ජනපති සිරිසේන ගැන – ඇමති මංගලගෙන් සැර නිවේදනයක් !

0
53
ඔක්තෝබර් 26 වෙනිදා තමන් විසින් දියත් කළ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයෙන් පසුව ජනාධිපතිවරයා තුන්වන වතාවටත් මේ රටේ ජනතාව අමතමින් තමන් තවදුරටත් සත්‍යයට ගරු නොකරන, බලය වෙනුවෙන් ඕනෑම බොරුවක් පවා කියන්නට පුළුවන් ඒකාධිපති වියරුවෙන් පෙළෙන මානසික රෝගියකුගේ තත්ත්වයට ඇද වැටී ඇති බවට පැහැදිලි බව අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරයි.අද (13) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ දැක්වේ.

ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද එම ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණකාරී ක්‍රියාවලිය මේ රටේ යුක්තිය සාධාරණත්වය ගරු කරන සමස්ත පුරවැසියාම පක්ෂ පාට භේදයකින් තොරව පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කොට ඇත. එසේම ජාත්‍යන්තර ප්‍රජාව පවා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද හොර ඇගමැති  ප්‍රමුඛ ඇමති මණ්ඩලය ද පිළිගැනීමට මෙතෙක් ඉදිරිපත් වී නැත. එවැනි පසුබිමක සිරිසේන ජනාධිපතිවරයා පෙරේදා (11) සිදුකළ කතාවෙන් මේ තත්ත්වය තව තවත් උග්‍ර වනවා නියතය.

මන්ත්‍රීවරුන් මිලදී ගත්තේ ජනාධිපතිගේ නියෝජිතයන් !

නීති විරෝධීව කල්දමන ලද පාර්ලිමේන්තුව, ව්‍යවස්ථා විරෝධීව විසුරුවා හැරීමට බලපෑ හේතුකාරණා පැහැදිලි කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු මුදලට මිලදී ගැනීමට ඇතමුන් කටයුතු කළ බවය. මෙහිදී පවසන ආකාරයට සමහර මැති ඇමතිවරුන්ට රුපියල් මිලියන 100, 150 පමණක් නොව මිලියන 500ක් වුවද ලබාදීමට කතාකර ඇති බවය. එය එසේ සිදුකරන ලද්දේ අපගේ කිසිවකු නොව මේ ප්‍රකාශය සිදුකරන ජනාධිපතිවරයාගේම හිතවත් නියෝජිතයන් ය.

බොරු කියන ජනාධිපති !

අපගේ මැති ඇමතිවරු තමන් ළඟට ගෙන්වා ගෙන ජනාධිපතිවරයා විසින්ම ඇමතිකම් ලබාදීමට පොරොන්දු වූ ආකාරයත්, ජනාධිපතිවරයාගේ හිතවත් නියෝජිතයන් ලවා ඔවුන්ට දුරකථනයෙන් අමතා සිතාගත නොහැකි තරමේ මුදල් ලබාදීමට පොරොන්දු වූ කතාබහත් මේ වනවිට ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇත. ඒ අනුව මැති ඇමතිවරු මිලදී ගැනීමේ මිනිස් ජාවාරමට නායකත්වය දී ඇත්තේ අන් කිසිවකු නොව තමන්ගේ වැරදි වසා ගැනීමට බොරු කියන ජනාධිපතිවරයාම බව පැහැදිලිය. ඒ සම්බන්ධයෙන් වූ සාක්ෂි අප සතුව ඇත. ඒ සියල්ල දැනට උද්ගතව ඇති ව්‍යවස්ථාදායක අර්බුදය විසඳුණු වහාම අල්ලස් හා දූෂණ කොමිසමට භාරදීමට අප සුදානම් ය.

මිනීමරුවන් දැන් සිටින්නේද ජනාධිපති සමඟය !

තවද කෙසේ හෝ  පාර්ලිමේන්තුව යළි කැඳවූයේ නම් ඒ තුළ මිනීමරා ගනී යැයි බියක් තිබූ නිසා පාර්ලිමේන්තු කැඳවීම අත්හිටු වූ බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටී. අපේ පැත්තේ මිනීමරුවන් කිසිවකු නොමැති බවත් ජනාධිපතිවරයාගේ අලුත් පාර්ශ්වයේ නම් ඕනෑතරම් මිනීමරුවන් සිටින බවත් මේ රටේ කුඩාදරුවකු පවා හොඳින්ම දන්නා කරුණකි. එය එසේ හෙයින් පාර්ලිමේන්තුවේ මිනීමරාගනී යැයි බිය විය යුත්තේ ජනාධිපතිවරයා නොව අප ය.

රුපියල් සත හමුවේ නොනැමුණ එක්සත් ජාතික පෙරමුණ ! 

කෙසේ වෙතත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳවීම පසෙකලා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළේ, ඔවුනට කෝටි ගණන් මුදල් විසිකරලත්, ඇමතිකම් වෙන්දේසි කරලත් අපගේ මන්ත්‍රීවරු, ඇමතිවරු ලබාගැනීමට නොහැකි වූ බැවිනි. මේ තුළින් එක්සත් ජාතික පෙරමුණේ සාතිශය බහුතරය යනු රුපියල් සතවලට සිය පක්ෂය පාවානොදෙන ප්‍රතිපත්තිගරුක මිනිසුන් පිරි පක්ෂයක් බව යළි වතාවක් ලෝකයා ඉදිරියේ ඔප්පු කර සිටියේය.

එමෙන්ම 2015 ජනවාරි 09 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පත් කරන විට එක්සත් ජාතික පක්ෂයට සිටියේ මන්ත්‍රීවරු 41ක් පමණක් බවත් ඒ අවස්ථාවේ බහුතරය පිළිබඳව කිසිවෙක් කතා නොකළ බවත් ජනාධිපතිවරයා කියා සිටී. 2015 දී එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීවරු 41ක් සිටිය ද එදා පටන් සෑම අවස්ථාවකදීම රජයට සහයෝගය දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ මහතාටත්, එතුමාගේ රජයටත්, එතුමාගේ ප්‍රතිපත්තිවලටත් සෑම අවස්ථාවකදීම පෙනී සිටි බව සිහිපත් කළ යුතුය. එමනිසා බහුතරය පිළිබඳ කිසිදු ගැටලුවක් මතු වූයේ නැත.

එපමණක් නොව ජනාධිපතිවරණයෙන් පසු 2015 ජනවාරි 20 දා පාර්ලිමේන්තුව යළි වතාවක් රැස් විය. ඉන් අනතුරුව අපගේ ආණ්ඩුවේ පළමු අයවැය පෙබරවාරි 07 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එහිදී අපගේ පළමු පුංචි අයවැයට පක්ෂව ඡන්ද 104තුක් විරුද්ධව 01 ඡන්දයකුත් ලැබුණු අතර වැඩි ඡන්ද 103කින් සම්මත කරගන්නා ලදී.

යහපාලන ආණ්ඩුවට බහුතරයේ ප්‍රශ්නයක් තිබුණේම නැත !

එසේම 2015 අප්‍රේල් 28 වෙනිදා මේ රටේ ජනාධිපතිවරයා සතු  බලතල සීමා කිරීම සඳහා ඉදිරිපත් කළ 19වන සංශෝධනයේ දී ද ඊට පක්ෂව ඡන්ද 215ක් ද විපක්ෂව එක් ඡන්දයක් ද ඡන්දය දීමෙන් වැළකී සිටි එක් මන්ත්‍රීවරයෙක් සමඟ නොපැමිණි 07ක් ද වශයෙන් 5/6 බහුතරයකගේ කැමැත්තෙන් එය සම්මත කරගන්නා ලදී. මේ ගෙවුණු කාලය තුළ අප පාර්ලිමේන්තුව තුළ බහුතරයේ හීනතාවයකින් හෝ ඌනතාවයකින් පෙළුණේ නැත. එසේම ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු කල් තැබීමක් හෝ සිදු කළේ නැත. 2015 සිට මේ දක්වා පාර්ලිමේන්තුවේ පැවැති සෑම ඡන්දයකටම අප ජයග්‍රාහීව මුහුණ දී ජය තහවුරු කර ඇත.

එය එසේ සිදුවෙමින් තිබිය දී සිරිසේන ජනාධිපතිවරයා විසින් මේ වසරේ අප්‍රේල් මාසයේ දී අගමැතිවරයාට විරුද්ධව කූඨ ලෙස දියත් කළ විශ්වාසභංගය ද ඔවුන් නොසිතූ ලෙස ජයග්‍රහණය ලබාගැනීමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සමත් විය. ඒ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 76ක් ද විරුද්ධව ඡන්ද 122ක් ද නොපැමිණි මන්ත්‍රීවරු 26ක් ද සමඟ වැඩි ඡන්ද 46කින් පරාජයට පත්කර දැමීමෙනි.

 බුද්ධිහීන ඔල්මාදකාරයකුගේ මුග්ධ ක්‍රියාවක්  ! 

මේ ආකාරයට පාර්ලිමේන්තුවේ දී කිසිදිනක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට බහුතරය සම්බන්ධයෙන් කිසිම අවධානමක් තිබුණේ නැත. ඒ අනුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ශිෂ්ටත්වය, සංස්කෘතිය හා පවුල් පසුබිම කෙරෙහි ක්‍රෝධයෙන් හා ද්වේශයෙන් පිරීගිය සිරිසේන ජනාධිපතිවරයා විසින් නීත්‍යනුකූල අගමැතිවරයා ඉවත් කිරීමත්, පාර්ලිමේන්තුව කල් දැමීමත්, විසුරුවා හැරීමත් මුළුමණින්ම ඒකාධිපති වියරුවෙන් ආවේශ වුණු බුද්ධිහීන ඔල්මාදකාරයකුගේ මුග්ධ ක්‍රියාවක් බව පැහැදිලිය.

මේ අශික්ෂිත ක්‍රියාවට එරෙහිව නොබියව නැගී සිටි ගරු කතානායකවරයාට ද ඉතාම පහත් අයුරින් දෝෂාරෝපණය කිරීමට ජනාධිපතිවරයා සිය කතාව තුළ වැඩි වෙලාවක් වෙන්කර තිබිණි.

 කරු ජයසූරිය කතානායකවරයාගේ සේවය ප්‍රශංසනීයයි ! 

ප්‍රජාතන්ත්‍රවාදයේ යථාපැවැත්ම විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන මූලික කුළුණු මත රඳා පවති. ඒ වෙනුවෙන් එහි ස්වෛරීත්වය මෙන්ම ස්වාධීනත්වය ආරක්ෂා කළයුතුව ඇත. විධායකය වල්වැදී ඇති පරිසරයක් තුළ ව්‍යවස්ථාදායකයේ ස්වාධීනත්වය ආරක්ෂාකර ගැනීමට උරදීම කතානායකවරයා සතු වගකීමකි. ව්‍යවස්ථාදායකයේ ස්වෛරීත්වය රැකගැනීම නීතියෙන්ම එතුමාට පැවරී ඇත. මන්ත්‍රීවරුන්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට එතුමා බැඳී සිටී. එසේම සියලු ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය වෙනුවෙන් වගකීමක් ද එතුමා සතුය. ඒ වෙනුවෙන් එතුමා නොබියව පෙනී සිටියේය.

කුමන්ත්‍රණකාරී කුහකයන්ගේ තර්ජන ගර්ජන මැද්දේ කරු ජයසූරිය කතානායකවරයා සිදුකළ මේ නිර්භීත කාර්යය වෙනුවෙන් අප සියලු දෙනා සදා ණයගැති විය යුතුය. එසේම එතුමාගේ ජීවිතය ආරක්ෂාකර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන සියලු පුරවැසියන්ගේ වගකීමක් බව සිහිපත් කළයුතුය.

සිරිසේනගේ ආපසු ගමන !

අවසාන වශයෙන් සඳහන් කළයුතුව ඇත්තේ, 2015 ජනාවාරි 08 වෙනස නියෝජනය කළ මේ රටේ සුවහසක් ජනතාවගේ පරම අභිලාශයන්ට පයින් ගසා ජනාධිපති සිරිසේන සිය ගෝත්‍රිකත්වයේ මුල් බිම් සොයා නිර්ලජ්ජිත ලෙස පසුබැස ඇති බවය.  එසේනම් ඊට එරෙහිව උස් නිදහස,  ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන, ඊට ගරු කරන සියලු ජනතාවත් සමඟ අප වීරියෙන් යුතුව නිවහල්බවේ උස් බිම් කරා පියනැගීමට සුදානම් බව කිව යුතුය.

Exit mobile version