ජනමාධ්‍යය නොව, අපරාධකරුවන්ගේ මාධ්‍යය – නදී කම්මැල්ලවීර

0
117

128713

දැරියක් බරපතල ලිංගික අපයෝජනයකට ලක් කරන වීඩියෝවක් පිළිබද සිද්ධිය සම්බන්ධයෙන් වහ වහා මැදිහත් වන ලෙස ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඇතුළු බලාධීකාරීන්ට බල කිරීම සදහා රටේ තැන තැන විවිධ සංවිධාන සහ සිවිල් වැසියන් විසින් විරෝධතා පවත්වමින් සිටිනවා. ඒ ගැන පසුගිය සති කීපය පුරාම විශාල ආන්දෝලනයක් රටේ ඇති වුණා. අදටත්ඒ සිද්ධිය පිළිබද කතා බහ උත්සන්න වෙමින් තියෙනවා.

නමුත් අපේ රටේ විද්්‍යුත් මාධ්‍යවලටත්, පත්තරවලටත් ඒක තඹ දොයිතුවක වැදගත් කමක් ඇති සිද්ධියක් නොවේ බවයි පෙනෙන්නේන‍ේ. ඔවුන් ඒ සිදුවීම පිළිබද සම්පූර්ණයෙන්ම නොතකා හැරියා. රන්ජන් ගේ හඩ පටි ගැන ත්ත්පරෙන් තත්ත්පරේට කතා කළ මාධ්‍ය, මේ අසරණ කුඩා දරුවෙකුට සිද්ද වෙන සාපරාධය හමුවේ නින්දිත නිහඩතාවක් අනුගමනය කරනවා. ඇයි මේ?

පසුගිය 26 වෙනිදා ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඉදිරියේ පැවැත්වූ නිහඩ විරෝධයට රටේ සිවිල් සංවිධාන ගණනාවක් සහ ප්‍රධාන පෙළේ කලාකාරුවන් රාශියක් සම්බන්ධ වුණා. එතනට සියළුම විද්‍යුත් මාධ්‍ය කැමරාකරුවන් සහ මුද්‍රිත මාධ්‍ය වාර්තා කරුවන් පැමිණ සිටියා. නමුත් ඔවුන් කිසිවෙක් ඒ ප්‍රවෘත්තිය සිය මාධ්‍ය වල පල කරේ නෑ. ඔවුන් දුන් ප්‍රවෘත්තිය මාධ්‍ය හිමිකරුවන්ගේ උපදෙස් මත ඉවත් කරා වෙන්න ඇති.
‍මේ අපාරාධයේ ගොදුර, අවුරුදු පහක හයක කුඩා දැරියක්!!! සාපරාධී ලෙස මෙය නොතකා හැරීමෙන් අපේ රටේ ජනමාධ්‍ය අහිංසක දරුවා චප්ප කොට අපරාධ කාරයාගේ සහ අපරාධකාරයා ආරක්ෂා කරන්නවුන්ගේ පැත්ත ගන්නා බව ඉතා හොදින් පේනවා.

අපේ රටේ බොහෝ මාධ්‍ය ජනතා හතුරු මාධ්‍ය. Tv channel, පත්තර……වැඩ කරන්නේ ජනතාව වෙනුවෙන් නොවේ. Little Star, අර talent, මේ talent තියන මාධ්‍ය, කාගේ හෝ බලවන්තයෙකුගේ පයට පෑගිච්ච අසරණ දෙමව්පියන්ගේ දරුවෙකුට මේ තරම් සහ ගහන අපරාධයක් සිදුවෙද්දී, ඒ සම්බන්ධයෙන් දක්වන නිනදිත නිහඩතාව අපට කියා සිටින්නේ කුමක්ද? අර ළදැරිය ලිංගික අපයෝජනයට ලක් කරන පාපතරයා සහ මේ ජනමාධ්‍ය වල භාවිතාව අතර වෙනසක් ඇතිද?

අපේ රටේ අන්ධකාරයට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය බරපතල ලෙස වගකිව යුතු බව නැවත නැවතත් සිහිපත් කරගනිමු.

මේවා ජන මාධ්‍ය නොව, පාලක මාධ්‍යයයි. දූෂිතයින්ගේ මාධ්‍යයයි. අපරාධකරුවන්ගේ මාධ්‍යයයි.

නදී කම්මැල්ලවීර