ජනාධිපති මෛත්‍රීපාල සීමාව ඉක්මවයි

0
62

කොළඹ පදනම් ආයතනයේ පැවැති ‘සත්විරු උරුමය‘ නම් ආරක්ෂක අංශවලට නිවාස හා ඉඩම් හිමිකම් පිරිනැමීමේ උත්සවයේදී වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා FCID ය, ස්වාධින කොමිෂන් සභා වලට දොස්තැබුවේ ,ඉහළ පෙලේ ආරක්ෂක අංශ නිලධාරීන් කිහිපදෙනෙකුව අධිකරණයට දක්කාගෙන යෑම සම්බන්ධවයි.
එමෙන්ම මාස ගණනක් තිස්සේ නඩු නැතිව ආරක්ෂක නිලධාරීන්ව අත්අඩංගුවේ තබාගැනීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා සිය කෝපය  ප්‍රකාශ කළේය.
ලංකා ඊ නිව්ස් ප්‍රකාශ කළ ආකාරයට ජනවාරි 08 වනදා ජන්දය දුන් ජනතාවගේ පැත්තේ සිට බලන විට ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් ඇතිවන්නේ පුදුමයකි. මන්ද පසුගිය මහින්ද පාලනය තුළ මාධ්‍යෙව්දීන් බිලිගත්තේ, මානව හිමිකම් ක්‍රියාධරයන් පසුපස පැන්නුවේ ගමේ ගොඩ් අහිංසක චන්ඩින් නොව, මේ රටේ සමහර හමුදා නිලධාරීන් බව දැන් ඔප්පුවෙමින් තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මෙන්ම, මහින්ද රාජපක්ෂ ඇතුළු රෙජිමයම තමන්ගේ චෞරකම් වලට හමුදාව අවියක් කරගත් බව මුළු රටම පමණක් නොව ලෝකයම දනියි. මේ වනවිට සිරගෙවල් වල දේශපාලන දෙමළ දේශපාලන සිරකරුවන් මෙන්ම එම පවුල්වලට යම්තම් ගෑවුණ පුද්ගලයන්ද නිරපරාදේ වසර ගණන් සිරබත් කති. උතුරේ මාපියන් පාරවල්වල තවමත් උද්ඝෝෂණය කරන්නේ තමන්ගේ අහිමිවුණ දරුවන්,ස්වාමිපුරුෂයන් ගැන විසඳුමක් අයදිමිනි. ජනතාවගේ ජනාධිපතිවරයාට  එසේ නම්  ඔවුන් ගැනද වේදනාවක් තිබිය යුතුය. ඔවුන් ගැනද මෙසේ කෑ ගැසිය යුතුය. එසේ නොවී මූල්‍ය වංචා චෝදනා මත අධිකරණයට කැඳවූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් පමණක් ඇති කැක්කුම කුමක්ද?  එහි දේශපාලනයක් තිබිය හැක. බුදුන්වහන්සේ රහිසින්වත පවු නොකළේය කියූ ජනපති ඊයේ ප්‍රසිද්ධියේ මේ රට ඒකාධිපති පාලනයකට දක්කාගෙන ගිය රාජපක්ෂ රෙජිමයේ ප්‍රබලයෙකු වෙනුවෙන් සිය අභ්‍යන්තර වේදනාව පුපුරැවා හැරියේය.
මේ වනවිටත් රාජපක්ෂ පාලනයේ වැරදි කළ පුද්ගලයන්ට දඩුවම් කිරීම ප්‍රමාද බවට ජනතාව චෝදනා නගති. මාධ්‍යෙව්දීන්ට,කලාකරුවන්ට පහරදුන් පුද්ගලයන් මේ වනවිටත් ජනාධිපතිවරයාගේ වර්තමාන පාලනයේ කොටස්කරුවන් වී සිටිති. තමන්ගේ බලය පවත්වාගෙන යාම වෙනුවෙන් දූෂිත ක්‍රමයේම ඉත්තන් එහා මෙහා කරමින් ජනාධිපතිවරයා  මේ කරන සෙල්ලම රටේ අධිකරණ ස්වාධිනත්වයට මෙන්ම පොලීසියේ ස්වාධිනත්වයට ද  බාධාවක් බව දැන් ඔප්පුවී හමාරය.
පසුගිය ජුනි 02 වනදා මීපුර කර්තෘ ප්‍රෙඩී ගමගේට සිදුකළ පහරදීම සම්බන්ධයෙන් අධිකරණය ඉතාමත් ස්වාධීන ලෙස නියෝග නිකුත් කරන විට නිමල් ලාන්සාගේ පවුල් බලයට මීගමුව පොලීසියත්, පෑලියගොඩ පොලීසියත් යටවී ඇති බව මේ වනවිට ඔප්පුවි ඇති සත්‍යයකි. මේවා මෙසේ සිදුවන්නේ , රහසින්වත් පව් නොකරන්නැයි කියන ජනාධිපතිවරයා දූෂණ වංචා රැසකට චෝදනා ලැබ සිටින නිමල් ලාන්සා වැනි පුද්ගලයන් ආණ්ඩුවට එක්කර ගැනීම හේතුවෙනි. මේ එක් උදාහරණයක් පමණි. මේවායේ අනිසි විපාකය වන්නේ තමන්ට ජනවාරි 08 වනදා ජනතාවගෙන් ලැබුණ බලය දූෂිත කර ගැනීම පිළිබඳව අත්විඳින්නට වන විපාකය නැවත වටකියකින්  තමන්වෙත මුණගැසීමය.

ජසින්තා නිර්මලී