ජපනුන්ගෙ සුද්දන්ගෙ වාහන 10කට කියන අපේම නම්

0
405

“අර බලපන් රුක්මණී මොඩල් එකක්”

“ඔය කියන්නෙ අත්තනායක මොඩල් එක ගැනනෙ”

පරණ වෑන් ජාතියක්, කාර් එකක් ඇහැ ගැටුනම සමහරු ටක් ගාල ඒක හඳුන්වන්නෙ මේ වගේ නම් වලින්. ඒ විතරක් නෙමෙයි සමහර පත්තර ඇඩ් වල එහෙමත් පරණ වාහන විකුණද්දි අමුතු නම් යොදල තියනව. ඔබත් පුදුම වෙලා ඇති නේද ඇයි මේ වගේ නම් වලින් වාහන හඳුන්වන්නෙ කියල.

ඉස්සර කාලෙ ඉඳන් එන මේ වගේ නිර්මාණශීලී නම් හැදිල තියෙන්නෙ වාහන වල පෙනුම, ඒව වැඩිපුර පාචිච්චි කරපු අය වගේ හේතු පදනම් කරගෙනයි. සමහර ඉංග්‍රීසි වචන කියද්දි ටිකක් පැටලෙන නිසා වාහන විකුණන අය දාපු නමුත් මේ අතර තියනව.
සමහර නම් පසුපස තිබෙන්නේ රසබර සිදුවීම්. තවත් සමහරක් පිටුපස දුක්බර සිදුවීමුත් ගැබ්වෙලා නොතිබෙනවා නොවෙයි.
පහත දක්නට ලැබෙන්නෙ එවැනි අපූරු නම් වලින් හඳුන්වන ලංකාවෙ දකින්න ලැබෙන විදෙස් වාහන කිහිපයක් පිළිබඳ තොරතුරුයි.

 

1. රුක්මනී මොඩල් – Toyota Hiace

Rukmani

අහල තියනවද රුක්මණී මොඩල්? ලංකාවේ කතානාද සිනමාවේ මුල්ම නිළිය වන රුක්මනී දේවියගේ මරණය සිදුවන්නේ හදිසි අණතුරකින්. ඒ 1978 වර්ෂයේදීයි. මේ අවාසනාවන්ත අණතුර සිදුවන විට ඇය ගමන් ගත් වාහනය වී තිබෙන්නේ ටොයොටා හයිඒස් H10 වර්ගයේ වෑන් රථයකුයි. මේ හේතුවෙන් අද දක්වා එම මොඩලයේ වෑන් රථ රුක්මණී මොඩල් නමිනුයි හඳුන්වනු ලබන්නේ.

 

2. ඩෙලිකා – Mitsubishi Delica

ඩෙලිකා වෑන් රථ වර්ග දෙකක් ලංකාව ඇතුලෙ වෙනස් නම් වළින් හඳුන්වනු ලබනව. ඒව තමයි මේ.

 

ජේ. ආර් මූන මොඩල් – Mitsubishi Delica van

Delica

ජේ. ආර් ජයවර්ධන කියන්නෙ ලංකාවෙ විසූ කෘතහස්තම දේශපාලඥයෙක්. ඒ වගේම හිටපු ජනාධිපතිවරයෙක්. එතුමාට පිහිටලා තිබ්බ පළල් නලල් තලයක් සහ දිගු නැහැයකින් යුක්ත මුහුණක්. එතුමාගේ ඒ පෙනුමට සමානකම් දැරූ නිසා 80 දශකයේ පමණ දකින්න තිබූ මෙම ඩෙලිකා වෑන් රථය ජේ. ආර් මූණ මොඩලය නමින් හැඳින්වී තිබෙනවා.

 

කිචි කිචි ඩෙලිකා

Kichi Delica

Mitsubishi delica T120 කියන වෑන් රථය තමයි මේ නමින් හඳුන්වන්නෙ. ඒකට හේතුවෙලා තියෙන්නෙ මේ රථයෙ යන අයට කිචි කැවෙන නිසා නම් නෙමෙයි. මේ රථයෙන් නැගෙන කිචි කිචි හඬක් නිසාවෙනුයි මේ නම එයට යොදාගෙන තිබෙන්නේ. භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්න ලොරි බවට හරවපු කිචි කිචි ඩෙලිකා අදටත් ඉඳහිට දක්නට ලැබෙනව.

 

3. කනේ මයිල් – වොක්ස්වැගන් බීට්ල්

KaneMayil

ලංකාවෙ බොහොම ප්‍රසිද්ධ වාහන හඳුන්වන නමක් තමයි මේ කනේ මයිල් කියන්නෙ. එහෙම හඳුන්වන්න හේතු වෙලා තිබෙන්නේ මේ වර්ගයට අයත් වොක්ස්වැගන් කාර් වල පිටුපස වීදුරුව අසල තිබෙන කොටසක් හේතුවෙන්. මේ වාහන වල එන්ජිම සිසිල් කරන්න අමතර සුළං ධාරාවක් යොදාගැනීමට සඳහා පසුපස වීදුරුව අසල කවාකාර කොටසක් පවතිනවා. මිනිස් කනක ස්වරූපය ගන්නා මෙය තුළ තිබෙන ඉරි රටා නිසා මයිල් සහිත කනක් වගේ ඒ කාලෙ උදවියට පේන්න ඇති.

 

4. අත්තනායක මොඩල් – ලාන්සර් වැගන්

Attanayaka

ලංකාවේ ප්‍රකට විප්ලවීය නායකයෙක් වූ රෝහණ විජේවීර අවසාන වරට අත්අඩංගුවට පත්වීමට ප්‍රථම උලපනේ ප්‍රදේශයට වී “අත්තනායක” නමින් සැඟවුණ ජීවිතයක් ගතකර තිබෙනවා. ඒ කාලයේදී ඔහු භාවිතා කළායැයි පැවසෙන්නේ මේ ආකාරයේ මිට්සුබිෂි ලාන්සර් වැගන් රථයකුයි. පසුකලක අත්තනායක මොඩල් බවට මේ රථය හැඳින්වෙන් පටනගෙන තිබෙන්නේ ඒ හේතුවෙන්.

 

5. උපාලි ෆියට්

Upali

ලංකාවෙ හිටපු කීර්තිමත්ම ව්‍යාපාරිකයෙක් වූ උපාලි විජේවර්ධන මහතා 1970 ගණන් වලදී පිටරටින් අමතරකොටස් ගෙනවිත් ලංකාවෙ වාහන එකළස් කිරීම අරඹනව. ඒ විදිහට නිමවෙච්ච ෆියට් කාර් එක තමයි උපාලි ෆියට් නමින් හඳුන්වන්නෙ

 

6. සදහටම ඔබ මගේ – Nissan serena van

Sadahatama

සදහටම ඔබ මගේ කිව්වම ටිකක් රොමෑන්ටික් ගතියක් තියනවා නේද? ඒ නමින් 1973 නිපදවූ චිත්‍රපටියකුත් තියනවා. අර “අමර පෙම් ලතාවේ” සින්දුව තියෙන්නෙ ඒකෙ.

හැබැයි මේ සෙරීනා වෑන් රියට මේ නම පටබැඳිල තියෙන්නෙ ඒ රිය හිමියො ඒ රථයට පවතින ආදරය හින්දනම් නෙමෙයි. විවිධ ලෙඩ දෙන නිසා නැවත විකිණීම එහෙමත් නැත්නම් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නැතිවීම තමයි ඊට හේතුව. ඉතින් මුල් අයිතිකාරයට සදහටම අයිතිකරගන්න වෙන වාහනයක් හැටියට මෙය ප්‍රසිද්ධ වෙලා තිබෙන්නෙ.

 

7. ඩොක්ටර් සනී – Nissan Sunny FB 13

Doctor

1990 ගණන්වල වෛද්‍යවරුන්ට හිමි බලපත්‍ර මගින් ගෙන්වනු ලැබීම නිසයි නිසාන් සනී වර්ගයට අයත් මෙම කාර් රථයට මෙම අපූරු නම පටබැඳී තිබෙන්නේ. මේ වර්ගයේ වාහන වලට සෙකන්ඩ් හෑන්ඩ් හොඳ ඉල්ලුමකුත් තිබුණා මතකයි. මොකද වෛද්‍යවරයෙක්නෙ පාවිච්චි කරල තියෙන්නේ.

 

8. බටු සනී- Nissan Sunny B210

Batu

ඉරිදා පත්තර වල, අන්තර්ජාලයේ වාහන විකුණන දැන්වීම් අතර අදටත් නිතර හමුවෙන නමක් තමයි නිසාන් බටු සනී කියන්නෙ. Nissan Sunny B210 තමයි මේ කාරයේ නියම නම වෙන්නෙ. සාමාන්‍ය සනී කාරයකට වඩා කුඩා හුරුබුහුටි බවකින් යුක්ත වන නිසා මේ නම පටබැ‍ඳ ඇති කියා තමයි සිතෙන්නේ.

 

9. මුක්කන් මූණ

Mukkan

සිංහල භාෂාවෙ මුක්කන් මූණක් කියල හැඳින්වෙන්නෙ ටිකක් කොට, තැළිච්ච වගේ නහයකින් යුක්ත මූණකටයි. මේ වගේ මුහුණක් සිහිගන්වන ඉදිරිපසකින් යුක්ත වාහන වලට මුක්කන් මූණ නමින් හැඳින්වෙන්න පටන් අරන් තිබෙන්නේ ඒ නිසයි. මුක්කන් මූණ නමින් හැඳින්වෙන වාහන විශේෂ කීපයක්ම තිබෙනවා. ඒ අතරින් මුක්කන් මූන මොරිස් මයිනර් රථ සහ මුක්කන් මූණ බෙන්ස් ලොරි රථය විශේෂයි.

 

10. ඩොල්ෆින් – Toyota LH102

Dolphin

ලංකාවේ ඉතා ප්‍රසිද්ධ සහ බහුලව දක්නට ලැබෙන Toyota LH102 නැමැති වෑන් රථය මෙරටදී හැඳින්වෙන්නෙ ඩොල්ෆින් කියන නාමයෙන්. මෙම වෑන් රථයේ ඉදිරිපස කොටස ඩොල්ෆින් මත්ස්‍යයකුගේ මෙන් ඉදිරියට නෙරා පැවතීමයි ඊට හේතුව

 

11. පළාත් සභා ජීප්/පැජරෝ – Mitsubishi pajero 1980.

Palath Sabha

ඉහත සඳහන් මිට්සුබිෂි ජීප් රථය පළාත් සභා මන්ත්‍රීන් සඳහා විශේෂයෙන්ම ගෙන්වීම හේතුවෙන් එය පළාත් සභා ජීප් වශයෙන් හැඳින්වෙන්න පටන්ගෙන තිබෙනවා.

 

12. තැපැල් නයින්ටිය – MD 90

Thapal

තැපැල් 90 කියන්නෙ ලංකාවෙ ඉතාම ප්‍රචලිත මොටර් සයිකල් වර්ගයක්. කඳු අදින්න, ඕනැම බරක් පටවගෙන යන්න පුලුවන් සවිශක්තියෙන් යුක්ත බයික් එකක් හැටියටත් මේක හරිම ප්‍රසිද්ධයි. ජපානයේ තැපැල් බෙදීම සඳහා මේ බයිසිකල් වර්ගය භාවිතා වූ බවක් කියවෙනවා. ඒ නිසා මෙයට මේ නම පටබැදෙන්න ඇතැයි කියලයි හිතෙන්නේ .

http://www.aniwa.lk