ජපානයෙන් රු. බිලියන 1.5 ක ඖෂධ නිෂ්පාදනාගාරයක්

0
66
ජපානෙන් ඔෘෂධාගාරයක්

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඖෂධ නිෂ්පාදන ධාරිතාවය වැඩිදියුණු කිරීම සදහා අදාල යටිතල පහසුකම් සහ නවීන යන්ත්‍රෝපකරණ සහිතව නව ඖෂධ නිෂ්පාදනාගාරය ඉදිකිරීම සදහා ජපානය සමග ගිවිසුම් අත්සන් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (11) සිදු කෙරිනි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගිවිසුම අත්සන් කිරිම සිදු වූ අතර අමාත්‍යාංශය වෙනුවන් සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර මහතා ගිවිසුමට අත්සන් කරන ලදි.

ජපානය වෙනුවෙන් එම නිෂ්පාදනාගාරය ඉදිකරන ජපාන කතිමංසු සංස්ථාවේ ව්‍යාපෘති කළමණාකරු මොතොකෝ යොකෝසි මහතා ගිවිසුමට අත්සන් කරන ලදි.

නව නිෂ්පාදනාගාරය ඉදිකිරිම සදහා වැය කරන මුදල රුපියල් බිලියන 1.5 කි.

මෙහිදී අදහස් දැක්වු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසිය.

ඖෂධවලින් 80 % ක් දේශීයව :

“රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මේ වනවිට වාර්ෂිකව ඖෂධ පෙති මිලියන 1900 ක් නිෂ්පාදනය කරනවා. නව නිෂ්පාදනාගාරය ස්ථාපිත කිරීමෙන් පසු එය මිලියන 3800 දක්වා වැඩි වෙනවා.

රජයේ රෝහල්වලට අවශ්‍ය ඖෂධ වර්ග වලින් සියයට 43 ක් නිෂ්පාදනය කරන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවයි.
නව නිෂ්පාදනාගාරයෙන් එය සියයට 70 දක්වා වැඩි වෙනවා.

සෞඛ්‍ය සේවාව නොමිලයේ ලබාදීම සදහා අවශ්‍ය සියළුම පියවර රජය විසින් ගනු ලබන අතර, රෝහල්වලට අවශ්‍ය ඖෂධ මාස 02 ක තොඟයක් වෛද්‍ය සැපයුම් අංශය සතුව තිඛෙනවා.

හිඟයකින් තොරව :

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමග සමාගම් 24 ක්. ඖෂධ නිෂ්පාදනය කිරිමට ගිවිසුම් අත්සන් කර තිඛෙනවා. තවත් සමාගම් 08 ක් ස්වාධීනව ඖෂධ නිෂ්පාදනය කිරිමට සුදානම්.

තවත් සමාගම් 07 ක් ඉදිරියේ දී ඖෂධ නිෂ්පාදනය කිරිමට එක්වීමට නියමිතයි. මාගේ බලාපොරොත්තුව 2018 අවසන් වන විට ඖෂධ වලින් සියයට 80 ක් දේශීයව නිෂ්පාදනය කිරිමටයි.”

“ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සදහා වාර්ෂිකව රුපියල් බිලියන 60 ක් වැය කරනවා. ඖෂධ කර්මාන්තපුර ඉදිකිරීම සදහා කළුතර, හොරණ සහ කුරුණෑගල ඉඩම් ලබාගැනිමට අපි සැළසුම් කර තිඛෙනවා.

සෑම ඖෂධයක්ම හිඟයකින් තොරව ලබාදීමට රජය බලාපොරොත්තු වෙනවා.”

අමුද්‍රව්‍ය දේශීය නිෂ්පාදනය කිරීමට :

ඖෂධ නිෂ්පාදනය කිරීම සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය දේශීය නිෂ්පාදනය කිරීමට ද සැළසුම් කර ඇති බව මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර මහතා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සහ ජපාන ජයිකා ව්‍යාපෘතියේ නිලධාරින් ද එක්ව සිටියහ.
http://sinhala.srilankamirror.com